පොලිස්පති අනතුරේ..
Posted on September 17th, 2018

lanka C news

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ඝාතනය කිරීමේ තැත සම්බන්ධයෙන්,  පොලිස්පති පූජිත ජයසුන්දර සහ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යන මහත්වරුන්ට එරෙහිව පැමිණිල්ලක් ගොනු කිරීම සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාව පැමිණිමෙන් අනතුරුව පක්ෂයේ ප්‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක සහ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද යන මහත්වරුන් මාධ්‍ය වෙත මෙසේ අදහස් දැක්වීය. මෙම අවස්ථාව සඳහා පක්ෂයේ ප්‍රධාන ලේකම් උපුල් විජේසේකර මහතාද සහභාගි විය.

පිවිතුරු හෙළ උරුමය නියෝජ්‍ය නායක මධු මාධව අරවින්ද මහතා අදහස් දක්වමින්

පොලිස්පති ගැන රට්ටු කියන කතා මධු මාධව මාධ්‍යයට කියයි

අපට ප්‍රශ්න කිරීමට සිදුවන්නේ කථානායකවරයාගෙන්. මොකද පොලිස් කොමිසමට පොලීසිය හරියට ආම්බාම්  කරගන්න බැරිනම් පොලිස්පතිවරයාව ආම්බාම් කරන්න බැරිනම් ඊළඟට කථානායකතුමන්ව දැනුවත් කරන්න අවශ්‍යයි. ඉන් අනතුරුව අධිකරණ ක්‍රියාවලියකට යා යුතුයි. අපට ආරංචියි කථානායකතුමන් පොලිස් කොමිෂන්එකත්  එක්ක සාකච්ඡාවක් පැවැත්වූ බව.

පොලිස්පති අනතුරේ..

අපි අහනවා කතානායකතුමාට මොන ප්‍රතිපාදන ද තිබෙන්නේ තමන්ගේ නිලය  තුළ අර අයියයි මල්ලි ගහගත්තහම පුතේ ඇයි අයියට කීකරු නැත්තේ වගේ කතා අහන්න. එතුමන් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළයුතුයි. එවැන්නක් නොකර එතුමන් විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ගයන් මම හිතන්නේ කතානායක බලතල ඉක්මවා යෑමක් විදිහටයි. පොලිස් කොමිෂන් එකට තියෙන්නේ කතානායකතුමාට දන්වලා අධිකරණ ක්‍රියාවලියකට යන්න. කතානායකතුමාට තියෙන්නේ එය පාර්ලිමේන්තුවට දැනුම්දීම මිසක් එය පිළිබඳ ඔවුන් සමග සාකච්ඡා කරන්නට බලයක් ඒ නිළය තුළ නැහැ.

දෙවන කාරණාව තමයි අප දන්නවා ලංකාවේ බොහෝ කාලයක් තිස්සේ ඉතා විෂ සහිත මත්ද්‍රව්‍යයන් වන අයිස් කොකේන් කේරල ගංජා වැනි මත්ද්‍රව්‍යයන් රාශියක් දිගින් දිගටම පොලිස් අත්අඩංගුවේ දී නැති වෙනවා. එය ලංකාවම දන්න  ඇත්තක්. එතකොට මේ මත්ද්‍රව්‍ය දිගින් දිගටම පාවිච්චි කරන අයගේ ස්නායු දුර්වල වෙලා තනියම හිනා වෙනවා. අඬනවා කෑගහනවා විතරක් නෙවෙයි නවත්තන්නැතුව කතා කරනවා. පොලිස්පතිතුමාව දැක්කහම පොලීසිය අත්අඩංගුවට ගන්නා මේ ඉතා භයානක මත්ද්‍රව්‍ය  පොලිස්පතිතුමා පාවිච්චි කරනවාද කියා රටේ ජනතාව අපෙන් ප්‍රශ්න කරනවා. මේ අස්වාභාවික හැසිරීම නිසා නැතිවන කුඩු ගංජා පොලිස්පතිතුමා පාවිච්චි කරනවා දැයි අපි නොවෙයි රටේ මිනිස්සු අහනවා.

ඒ නිසා පූජිත ජයසුන්දර මැතිතුමනි පොලිස්පතිතුමා අනතුරේ කියලා අපි මතක් කරනවා.

පිවිතුරු හෙළ උරුමය ප්‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක මහතා අදහස් දක්වමින්

පොලිස්පති සිය තනතුරේ වගකීම් නියමිත පරිදි ඉටු කර නැහැ

අප අද ජාතික පොලිස් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ගොනුකළා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ඝාතනය කිරීමේ තැත සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සහ ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කරන ඇල්මැරුණු ස්වභාවය සම්බන්ධයෙන්.

විශේෂයෙන් මෙවැනි සාපරාධී ක්‍රියාවක්, දණ්ඩ නීති සංග්‍රහයේ 114 සහ 115 වගන්තීන් යටතේ වන රාජ්‍ය විරෝධී වරදක්. ඒසම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින්නේ ශ්‍රී ලංකා පොලීසියේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන නාලක ද සිල්වා මහතායි. එතුමා සක්‍රීය පොලිස් සේවයේ නියුක්ත ව සිටිය දී එතුමන්ට මෙවැනි චෝදනාවක් එල්ල වී තිබෙනවා. එතුමන්ව අත්අඩංගුවට ගැනීමක් අද මේ වනතුරුත් සිදු වී නැහැ. සක්‍රීය පොලිස් සේවයේ නියුක්තව සිටින නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් සාක්ෂිකරුවන්ට බලපෑම් කරන්න විමර්ශන කටයුතුවලට අතපොවන්නට හැකියාව තිබෙනවා. එබැවින් මෙවැනි දරුණු චෝදනාවක් හමුවේ පොලීසිය විසින් කටයුතු කරනු ලබන ආකාරය පිළිබඳ විවේචනය තමයි අපි ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරනු ලැබුවේ.

විශේෂයෙන්ම තමන්ගේ ධුරයේ රාජකාරි කටයුතු නිසි පරිදි ඉටු නොකිරීම සම්බන්ධයෙන් පොලිස්පති පූජිත ජයසුන්දර ද අද වගඋත්තරකරුවෙක් වෙනවා. ඒ නිසා පොලිස්පති පූජිත ජයසුන්දර මහතා තම ධූරයේ කර්තව්‍යයන් නියමිත පරිදි ඉටු නොකිරීම සහ පැහැර හැරීම සම්බන්ධයෙන් 2002 අංක 5 දරන නිලධාරීන් ඉවත් කිරීමේ කාර්ය පටිපාටි පනත යටතේ නිර්දේශයක් කරන්න කියන ඉල්ලීම කොමිසමේ සභාපති වරයා වෙත ඉදිරිපත් කළා.

මේ රටේ ප්‍රධානතම පුරවැසියා මේ රටේ රාජ්‍ය නායකයා වන ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ තැතක් ඒවාගේම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ තැතක් ශ්‍රී ලංකා පොලීසිය ඉතාමත්ම  ලුහුඩු ආකාරයෙන් කල්පනාවට ගැනීම පිළිබඳව සහ විමර්ශන කටයුතු ඉබිගමනින් සිද්ධ වීම පිළිබඳව පුරවැසියන් විදිහට අපට විශාල ගැටලුවක් තිබෙනවා. රටේ ප්‍රධානතම පුරවැසියා වන රාජ්‍ය නායකයාටත් පොලිසිය දක්වන්නේ මෙවැනි සැලකිල්ලක් නම් ජනතාව කෙරෙහි පවතින්නේ කුමන තත්ත්වයක් ද යන යෝධ ප්‍රශ්නාර්ථය අපිට තියෙනවා.  ඒ නිසා මේ සම්බන්ධයෙන් සක්‍රීයව මැදිහත් වෙන්න කියන ඉල්ලීම තමයි ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් අප ඉල්ලා සිටින්නේ.

– අරවින්ද අතුකෝරල

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress