රාජ්‍ය නායකයා ඝාතන ගොදුරක් වූ රටක පුරවැසියාගේ ඉරණම ගැන කවර කතාද?
Posted on September 20th, 2018

ඉෂාරා සිල්වා උපුටාගැණීම  මව්බිම

රාජ්‍ය නායකයා ඝාතන ගොදුරක් බවට පත්වූ සමාජයක සාමාන්‍ය පුරවැසියාගේ ඉරණම ගැන කතා කිරීමට දෙයක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම පැවැසීය.

ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සුරක්ෂිත කරන බව ආණ්ඩුව පවසන නමුත් හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ හා මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව මේ ආණ්ඩුව අඩු කළ බැවින් ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකියන්නේ කවුරුන්දැයි ගැටලුවක් මතුවන බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්ෂය බොරැල්ල ආචාර්ය එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ ඊයේ (19දා) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය.

මේ වන විට ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 167 ඉක්මවා තිබෙනවා. රුපියල මේ තරමට බාල්දු වූ යුගයක් අපේ ඉතිහාසයේ මීට පෙර කවදාවක් හමුවෙලා නැහැ. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් මහ බැංකුවට, ගුවන්තොටුපොළට බෝම්බ ප්‍රහාර එල්ල කිරීම නිසා චන්ද්‍රිකා මැතිනියගේ කාලයේ ආර්ථිකය ඍණ වුණා. ඒ කාලයේදීවත් රුපියල මේ තරම් බාල්දු වුණේ නැහැ.

ජනාධිතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන සැලැස්ම පිළිබඳව හෙළිදරව් වී අදට දින අටක් වෙනවා. ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්වේ යැයි සමාජයේ කතාබහ වන වත්මන් ජනාධිපතිවරයා, අගමැතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඉලක්ක කරගනිමින් මෙම ඝාතන ක්‍රමන්ත්‍රණය ක්‍රියාත්මක වෙනවා. ඒ නම් තුනේ දෙන්නෙක් ඝාතනය කරන්න සැලසුම් සකස් වෙනවා. මේ ඝාතන සැලසුමේ මහ මොළකරු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයායි. ඔහු මෙම ඝාතන සැලැස්ම ක්‍රියාත්මක කරන්න පාතාලය සම්බන්ධ කරගන්නවා. ඒ පාතාලය පොලිසිය සමඟ සම්බන්ධ කරන්නේ පොලිස්පතිවරයායි. දැනට හෙළිදරව් වී ඇති ආකාරයට ඔවුන්ගේ මෙම සැලැස්මේ අරමුණ වී තිබෙන්නේ ජනාධිපතිවරයා දේශපාලනික වශයෙන් අවලංගු කරලා අගමැතිවරයාගේ ප්‍රතිරූපය පිම්බීමයි. මේ ගැන සම්පූර්ණයෙන්ම වාර්තා කළේ පෞද්ගලික මාධ්‍යයි. රාජ්‍ය නායකයා ඝාතන කුමන්ත්‍රණය රාජ්‍ය මාධ්‍යයට ප්‍රවෘත්තියක් නොවුණේ ඇයි?

ජේ‍යෂ්ඨ පොලිස්පතිවරුන් රාශියක් සිටියදී පරීක්ෂණ භාර දෙන්නේ කනිෂ්ඨනියෝජ්‍ය පොලිස්පතිවරයෙක්ටයි. මේ ගැන විධිමත් පරීක්ෂණයක් කරන්න තමන්ට භාරදෙන මෙන් ජේ‍යෂ්ඨ පොලිස්පතිවරුන් ඉල්ලීමක් කරනවා.

මේ මොහොත වන විට පොලිසියෙන් ස්නයිපර් ගිනි අවියක් අතුරුදන්ව තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා. රාජ්‍ය නායකයා ගොදුරක් බවට පත් කරගන්න හදන මොහොතකදී සාමාන්‍ය පුරවැසියන්ගේ ඉරණම ගැන කතා කරන්න දෙයක් නැහැ. ජනාධිපතිවරයාත් මේ ගැන දක්වන නිහඬතාව ගැන අපිට සැකයක් තිබෙනවා. තමන් ඝාතනය කරන්න ආපු ත්‍රස්තවාදියාට සමාව දුන්නම ඔබගේ අවිහිංසකකම ගැන සමාජය කතා වුණා. මේ ඝාතන සැලැස්ම ඉදිරියේ ජනාධිපතිවරයාගේ හැසිරීම බලන මිනිස්සු ඔහුට බනිනවා.

මේ ක්‍රමන්ත්‍රණය ආර්ථිකයට පමණක් නෙවෙයි රටේ දේශපාලන ස්ථාවරත්වයට පවා බරපතළ ලෙස බලපානවා. අවුරුදු 152ක් පැරැණි පොලිස් දෙපාර්තමේන්තුවට එල්ල වූ බරපතළම චෝදනාව මෙයයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි පද්ම උදයශාන්ත ගුණසේකර මහතා මෙසේ පැවැසීය.
රෝමය ගිනි ගන්නා විට නීරෝ වීණා වාදනය කළ බව අපි අහලා තියෙනවා. අද අපේ රටම ගිනි ගන්නා විට ජනාධිපතිවරයා සුභාෂිතයේ කවි කියමින් රට වටේ යනවා.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress