අපේ රණවිරුවන්ට යුද අපරාධ චෝදනා නගද්දී අපේ රජයේ නියෝජිතයන් මුනිවත රකිනවා
Posted on September 26th, 2018

ඉෂාරා සිල්වා උපුටාගැණීම  මව්බිම

ලංකාවේ රණවිරුවන් යුද අපරාධකරුවන් බවට විදේශ රටවල් හා රාජ්‍ය නොවන සංවිධාන පරසක්වළ ගසන විට මානව හිමිකම් පිළිබඳ කවුන්සිලයේ 39 වැනි සැසිවාරය සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා රජය නියෝජනය කරන නිලධාරීන් මුනිවත රකිමින් සිටීම කනගාටුවට කරුණක් බව මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න පවසයි.

ආණ්ඩුව සිදුකරන මෙම අසාධාරණ ක්‍රියාව පිළිබඳ රණවිරුවන් කෝපයෙන් මෙන්ම කම්පාවෙන් පසුවන බවද ඔහු සඳහන් කළේය.

ඊයේ (25දා) පුංචි බොරැල්ල, වජිරාශ්‍රමයේ පැවැති මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය.

මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න
අද සුවිශේෂී දවසක්. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශයක් කිරීමට නියමිතයි. ඔහු රටින් පිටවන විටම ජනමාධ්‍ය කැඳවලා විශේෂ පැහැදිලි කිරීමක් කළා. “මම ඇමෙරිකාවට යනවා. මහා මණ්ඩලය අමතලා මම විශේෂ ප්‍රකාශයක් කරනවා. ඒ තමයි ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ලංකාව විසින් ඇමෙරිකාව සමඟ සම නියෝජකත්වයෙන් ගත් තීරණ සම්බන්ධයෙන් සංශෝධන ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව.

ඒ පිළිබඳ ලිපියක් එක්සත් ජාතීන්ගේ ලේකම්වරයාට ලබාදීමටත් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රධානියාටත් ලබාදෙන බව” මෙය අපට හොඳ ප්‍රවෘත්තියක්.

නමුත් පසුගිය 10 වැනිදා සිට 28 දක්වා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 39 වැනි සැසිවාරය පැවැත්වෙනවා. අපට මාධ්‍ය මඟින් පෙනෙනවා අද්මිරාල් සරත් වීරසේකර, මහාචාර්ය චන්න ජයසුමන, මහාචාර්ය නාලක ගොඩහේවා යන මහත්වරු කමිටු සාකච්ඡාවල ලංකාවේ රණවිරුවන් යුද අපරාධ නොකළ බවට කරුණු දක්වනවා. හැබැයි අපි දකින්නේ නැහැ අපේ රට නියෝජනය කරමින් ජිනීවා ගිය කිසිකෙනකු රට වෙනුවෙන් කරුණු දක්වනවා.

අපි යුද්ධයට ගිහිල්ලා තුවාල ලබලා කැපකිරීම් කළ නිලධාරීන් හැටියට අපි කල්පනා කළා මේ අවනඩුව ජනතාවට කියන්න. 2015 ඔක්තෝබර් මාසයේ එවකට විදේශ ඇමැති මංගල සමරවීර ජිනීවා මානව හිමිකම් පිළිබඳ කවුන්සිලයට ගිහිල්ලා ඇමෙරිකාවත් සමග යෝජනාවකට අස්සන් කළා. එය ලෝක ඉතිහාසයේ, ඉතිහාසගත වෙනවා. යම් කිසි රටකට විරුද්ධව යුද අපරාධ චෝදනා විදේශ සංවිධානවලින් සහ විදේශ රටවල්වලින් නැඟෙනවිට එම රට විසින්ම මානව හිමිකම් කවුන්සිලයට ගිහිල්ලා අපි යුධ අපරාධ කළා කියලා පිළිගන්න අපිම ඇමෙරිකාවත් එක්ක යෝජනා කරනවා මේ වගේ යාන්ත්‍රණයක් ඕන බව. ලෝකේ පළමුවෙනි රට මේ වගේ දෙයක් කළ.

එම යෝජනාවට කියන්නේ 30/1 කියලා. මෙහි කියනවා එවකට මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රධානියා සෙයිද් අල් හුසේන් මාසයකට දෙකකට පෙර වාර්තාවක් ඉදිරිපත් කරමින් කියනවා 2011දී එවකට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම් බෑන් කී මූන් විසින් ඔහුට උපදෙස් ලබාදුන් බව කමිටුවක් පත් කිරීමට. එය ප්‍රසිද්ධ දරුස්මාන් කමිටුව ලෙස.

මේ වාර්තාවේ සඳහන් වෙනවා යුද්ධයේ අවසන් භාගයේදී දෙමළ ජනතාව 40,000ක් අපේ අතින් මියගිය බව. දෙවැනි චෝදනාව අපි ස්ත්‍රීන් දූෂණය කළ බව. තෙවැනි චෝදනාව තමයි යුද්ධයේ අවසන් භාගයේදී දෙමළ ජනතාවට අපි ආහාර හා බෙහෙත් ලබා නොදුන් බව. මේක මානව අපරාධයක්. ඊට අමතරව තවත් චෝදනා රාශියක් තිබෙනවා. සෙයිද් අල් හුසේන් කුමරු කියනවා මේ වාර්තාව පිළිගන්න බව.

ඒ අනුව අපි කරන්න බලාපොරොත්තු වන දේවල් කියලා මංගල එකඟ වෙනවා යෝජනා කිහිපයකට. ඉන් එකක් තමයි දෙමුහුන් අධිකරණය, විදේශ විනිසුරුවරුන්, අපරාධ පරීක්ෂණ කරන නිලධාරීන්, නීතිඥයන් ගෙනල්ලා දෙමුහුන් යාන්ත්‍රණයක් ඇති කිරීම. දැනටමත් අතුරුදන් වූවන්ගේ කාර්යාලය ඇතුළු විවිධ ක්‍රියාවන් සිදුකරනවා.

අපේ රණවිරුවන් යුද අපරාධකරුවන් කියලා හිටපු විදේශ ඇමැති මංගල සමරවීර පිළිගන්නවා.

ශ්‍රී ලංකා හමුදාවේ සේවය කළ රණවිරුවන් යුද අපරාධකරුවන් නොවන බවට සාක්ෂි බටහිරින්ම ලබාගන්න පුළුවන්. බි්‍රතාන්‍ය සාමි මණ්ඩලයේ නේස්බි සාමිවරයා මේ පිළිබඳව කරුණු දක්වලා තිබෙනවා.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress