ඊළඟ ඡන්දෙ එනතුරු රනිල් හිටියා නම් රට කෑලි නවයක්
Posted on November 4th, 2018

සංවාදය – අනුරාධා හේරත්  උපුටාගැණීම  මව්බිම

පාර්ලිමේන්තුවේ 113 හදන්න පනින ගෙම්බන් ඇහිඳීම තවම ඉවර නැද්ද?

ජනාධිපතිතුමා ජාතිය අමතමින් රට දරුණු අගාධයක තිබෙන බව ප්‍රකාශ කරලා පක්ෂ පැත්තක තියලා රට හදන්න එකතු වෙන්න කියලා පාර්ලිමේන්තුවේ ඉන්න 225ටම ආරාධනා කළා. බොහෝ රටවල් වගේ නෙවේ අපේ රටේ ඇමැතිවරයෙක් ලෙස පත් කළ හැක්කේ මන්ත්‍රිවරුන් පමණයි.

උදා- ලෙස ඇමෙරිකාවේ නම් ඕනෑම පුරවැසියෙක් ඇමැතිවරයෙක් කරන්න ජනපතිට බලය තියෙනවා. ඒ නිසා මන්ත්‍රිවරුන් 225න් අපි ආණ්ඩුව සකසා ගත යුතුයි. ඒ නිසා අපි විපක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ සහාය ආණ්ඩුවට ලබා ගනිමින් ඉන්නවා. එහි ඇති වරද මොකක්ද?

මහජන නියෝජිතයකුගේ එකඟතාවෙන් බැහැරව මුදලට මන්ත්‍රිවරුන් බිලී බා ගැනීම සාධාරණද?

කිසිසේත්ම නෑ. ඒ චෝදනාව එල්ල වෙන්නේ අපිට නෙමේ. අනෙක් පැත්තටයි. අපි ගාව සල්ලි ඇත්තෙත් නෑ. අපිට උදවු කරන්න එහෙම අයත් නෑ. මහ බැංකුව දෙපාරක් බිඳලා බැඳුම්කර වංචාවක් කළා. දෙපාරක් මේ වංචාවෙන් ප්‍රකෝටි ගණන් මුදල් ඉපැයුවේ එජාපයයි. කොටි සංවිධානයේ සල්ලි යහමින් ලැබෙන්නේ එජාපයටයි. ලෝකයේ ධනවත්ම රටවල්වල, ඇමෙරිකාව සහ යුරෝපය සහාය දෙන්නෙ එජාපෙට. අපිට සහාය දෙන්න කිසිම රටක් ඉන්නවද? නැහැ. අපි එජාපයට කියනවා මේ රටේ ජනතාව පුංචි ඡන්දයේදී 30%කටත් අඩුවෙන් ලබාදී ඔබව ප්‍රතික්ෂේප කළා. ඒ නිසා ජනමතයට ඉඩ දෙන්න. සල්ලිවලින් ජනමතය වහන්න හදන්න එපා.

ඔබලාට බහුතරය තියෙනවා නම් ඇයි පාර්ලිමේන්තුව කල් දැම්මේ?

පාර්ලිමේන්තුව කල් දැම්මේ බහුතරය සම්බන්ධ ප්‍රශ්නයකට නෙවේ. මේ වසරේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ ඉතිරිව තිබුණේ එකම එක අයිතමයක් පමණයි. ඒ තමයි නව වසරේ අය-වැය. පෙර ආණ්ඩුව සංවිධානය කර තිබුණේ නොවැම්බර් 05දා අය _ වැය ඉදිරිපත් කරන්නත් නොවැම්බර් 08දා සිට දෙසැම්බර් 08දා දක්වා එය විවාදයට ලක්කර 08 වැනිදා එය සභා සම්මත කරගන්නත්. එපමණමයි තිබෙන්නෙ. නමුත් මේ ආණ්ඩුව ජනතාව විසින් ප්‍රතික්ෂේප කිරීමට ප්‍රබලම හේතුව මේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය. බදු බර, අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යෑම වගේම ඉන්ධන මිල සූත්‍රය වැනි දේවල් හා ජාතික සම්පත් විදේශීයකරණයට ලක් කිරීම. ඒ නිසා ඒ ආණ්ඩුව ඉදිරිපත් කරන්න ඉන්න අය _ වැයම අපිත් ඉදිරිපත් කරනවා නම් මේ ආණ්ඩු වෙනස අවශ්‍ය වෙන්නෙ නෑ. අපිට ඕනෑ විප්ලවීය අය _ වැයක් ඉදිරිපත් කිරීමට. ඊට යම් කාලයක් ගත වෙනවා. ඒ නිසා තමයි දින 20ක් වැනි කෙටි කාලයකට පාර්ලිමේන්තුව කල් දැම්මේ. එහි බල අරගලයක හේතුවක් නෑ.

ඉතින් ඔබලාට තිබුණනේ මෙහෙම ලහිලහියෙ ආණ්ඩුව වෙනස් නොකර අය වැයෙන්ම ආණ්ඩුව පරද්දලා දාන්න?

අපි පැහැදිලිවම විශ්වාසභංග යෝජනාවක් අප්‍රේල් මාසයෙ ඉදිරිපත් කළේ ආණ්ඩුව ඒ ආකාරයෙන් පරාජය කරන්න. නමුත් අවාසනාවට රටේ ආර්ථික මරමස්ථාන කුණු කොල්ලයට දෙන්න බලාගෙන සිටින ආණ්ඩුවේ ෆෙඩරල් ව්‍යවස්ථාව බලා සිටින බෙදුම්වාදී බලවේග කෝටි ගණන් වැය කරමින් මන්ත්‍රිවරුන් මිලදී ගනිමින් ඒ ජනතා මතය විකෘති කිරීමට කටයුතු කළා. ඒ නිසා අපිට සිදුවුණා ක්ෂණික රහසිගත පියවරකට රට බේරාගන්න යන්න. වෙන විකල්පයක් තිබුණෙ නෑ. මොකද ඊළඟ මැතිවරණය එනතුරු රනිල් සිටියොත් අපේ රට කෑලි 9ක්. ෆෙඩරල් ව්‍යවස්ථාවත් ජනතාවගේ කනින් රිංගා ප්‍රජාතන්ත්‍ර විරෝධීව සම්මත කර තිබේවි. රටේ වටිනා මරමස්ථාන සියල්ල ලෝක බලවතුන්ට විකුණා තිබේවි.

ගංවතුරකටත් පාර්ලිමේන්තුව කැඳවන්න කියලා කෑමොර දෙන ඔබලා රටේ මෙවැනි ව්‍යාකූල තත්ත්වයකදී පාර්ලිමේන්තුව කල්දැමීම සාධාරණ නැහැ නේද?

පාර්ලිමේන්තුව ඇත්තෙන්ම කැඳවීමට සිටියෙ නොවැම්බර් 05දා. දින 11යි කල්දාලා තියෙන්නෙ. හැබැයි 2018 අප්‍රේල් 12 දින 28කට කල් දැම්මා. හැබැයි ඒකට කවුරුත් හඬ නැඟුවේ නෑ. ඒ වගේම ප්‍රේමදාස ජනාධිපතිතුමා 1991දී මාස 2කට ආසන්න කාලයක් පාර්ලිමේන්තුව කල් තැබුවා. ඒ අවස්ථාවෙත් කවුරුවත් ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ කියලා කිව්වේ නෑ.

ලස්සනම වැඩේ තිබෙන්නෙ ව්‍යවස්ථානුකූලව දින 11ක් පාර්ලිමේන්තුව කල් තැබුවම ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ කියලා පාරට බහින, කුරුඳුවත්තෙ නෝනලා ඒ වගේම ජාත්‍යන්තර ප්‍රජාව අවුරුදු 3ක් පුංචි ඡන්දෙ කල්දාද්දි මීක් කියලා හඬක් නැඟුවේ නෑ. පළාත් සභා මැතිවරණය වසරකට වඩා වැඩි කාලයක් කල්දාලා. ඒ ජනතාවගේ අයිතිය උදුරා ගත්ත එක ගැන ප්‍රශ්නයක් නොවුණු මේ බලවේග එජාපයට දින 11ක් පාර්ලිමේන්තුව කල් දැමීම බරපතළ ප්‍රශ්නයක් කර ගැනීමෙන්ම පේනවා ඔවුන් ආදරේ රටටවත් ජනතාවටවත් ප්‍රජාතන්ත්‍රවාදයටවත් නෙවේ ඔවුන්ගේ කොල්ලකෑමේ න්‍යාය පත්‍රයට පමණයි.

ඔබගේ කඳවුර ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දේශපාලන වගේම පෞද්ගලික ලෙසත් විවිධ පන්නයේ අවලාද අපහාස එල්ල කළා. දැන් ඔහු යටතේ හිඳීම හිරිකිතයක් දනවන්නෙ නැද්ද?

කිසිසේත්ම නෑ. මං පෞද්ගලිකව කිසිම දවසක එතුමට අපහාස උපහාස එල්ල කරලා නෑ. එතුමාගේ දේශපාලනය අපි විවේචනය කළා. හැබැයි 2014 නොවැම්බර් මාසෙට පෙර අපි එතුමව විවේචනය කළේ නෑ. අහසෙන් වැටෙන දිය බිඳුවක් මල් පෙත්තක් මත පතිත වුණොත් අපි ඒ දිය බිඳුව උරාබොනවා. හැබැයි ඒ දියබිඳුවම අසූචි ගොඩක් මත පතිත වුණොත් අපි පයින්වත් පාගන්නෙ නෑ. ඒ නිසා ප්‍රශ්නෙ තිබුණෙ දිය බිඳුවේ නෙවේ. දිය බිඳුව තිබුණු ස්ථානය. මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ගැන අපිට විවේචනයක් තිබුණේ ඔහු සිටි ස්ථානය අනුව.

ඔහු ව්‍යවස්ථාවට ගරු කරලා වැරැදි තැනින් හරි තැනට අද ඇවිත් තියෙනවා. තවදුරටත් ඔහු අපි විවේචනය කළ යුතුද?

නමුත් ජනපති මෛත්‍රිට ඔබ කියන ආකාරයේ අසූචි ගොඩෙන් ඉවත්වීමට වසර 3 1/2ක් ගත වුණා නේද?

ඔව් සමහරුන්ට එය ප්‍රශ්නයක්. මේක මතක තියා ගන්න. අපේ ඓතිහාසික වීරයෙක් වන කැප්පෙටිපොළට ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ගේ පැත්තේ සිට දේශප්‍රේමීන්ගේ පැත්තට එන්න වසර 3ක් ගත වුණා. එහෙම කියලා අපි කැප්පෙටිපොළ වීරයෙක් නෙවෙයි කියලා නොසලකා ඉන්නවද?

ඔබට විශ්වාසද ඔබ පාර්ශ්වයේ බහුතර බලය මේ වනවිට පෙන්විය හැකියි කියලා?

මේ රටේ ජනාධිපතිවරයාට අගමැතිවරයා තමන්ගෙ බහුතර බලය පෙන්වා තිබෙන නිසයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 42 (4) වගන්තිය යටතේ මහින්ද රාජපක්ෂ මැතිතුමාව අගමැති ධුරයට පත්කර තිබෙන්නේ.

අපේ රටේ බහුතරයේ ප්‍රශ්නයත් හරි විකාරයක්. 2015 අප්‍රේල් 09දා රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති ධුරයෙ දිවුරුම් දෙනවිට සහාය දෙන්න සිටියේ මන්ත්‍රිවරු 46ක් පමණයි. හැබැයි ඔහු අගමැති ධුරයට එක්වුණු විට ඔබට බහුතරය තිබෙනවාද කියා කිසිම මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළාද?

නෑ. රත්නසිරි වික්‍රමනායක අගමැති ධුරයට පත් වූ විට ඔහුට බහුතරය සිටිනවාද කියා එදා කිසිවෙක් ප්‍රශ්න කළේ නෑ. හැබැයි මේ වනවිටත් 102ක් සිටිනවා යැයි පෙන්වා සිටින මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගෙන් බහුතරය විමසනවා. මෙහි වෙනසක් තියෙනවා නේද? ජනපති බහුතරය තිබේ යැයි විශ්වාස කරන පුද්ගලයා අගමැති ධුරයට පත් කළ පසු නැවත ඔහු බහුතර බලය පෙන්වීමේ අවශ්‍යතාවක් මතු වන්නේ නෑ. එහෙම අවශ්‍යතාවක් ලංකාවේ ව්‍යවස්ථාවේ නෑ. වෙන රටවල තිබෙන නමුත් මහින්ද රාජපක්ෂ මහතාට බහුතරය නැතැයි විපක්ෂය කල්පනා කරනවා නම් ඔවුන් කළ යුත්තේ එතුමාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමයි. අද වනතුරු එවැනි යෝජනාවකට අස්සන් තැබීමවත් ආරම්භ කර නැත්තේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට බහුතරය තිබෙන බව රනිල් වික්‍රමසිංහ මහතා දන්න නිසයි.

පසුගිය ආණ්ඩුව ගත් විනාශකාරි ක්‍රියාවලට ඔබලා දේශද්‍රෝහීන්, පාවාදෙන්නන් බවට ඔවුන් වෙත ප්‍රබල චෝදනා එල්ල කළා. ඒ අය ඔබලා සමඟ එකතු වීමෙන් අර කුණු හේදිලා යන තරම් මොකක්ද වෙන විශ්වකර්මය?

අරාබි කියමනක් තිබෙනවා සිංහයෙක් නායකත්වය දෙන බූරුවන්ගෙ හමුදාවකට බූරුවෙක් නායකත්වය දෙන සිංහයන්ගේ හමුදාවක් පරාජය කළ හැකියි කියලා. වැදගත් වෙන්නෙ සහායකයන්ගේ ප්‍රතිපත්තියක් නොව නායකයාගේ ප්‍රතිපත්තිය. සහායකයන් කරන්නේ නායකයන්ගේ ප්‍රතිපත්තිය අනුගමනය කිරීමයි.

ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ යුගයේදී විනාශකාරි තැනකට ගිය රට ඒ පිරිසත් සමඟම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලනයෙන් ගොඩනැඟිය හැකි බව මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විශ්වාස කරන්නෙ. මහින්ද රාජපක්ෂ මැතිතුමා යටතේ සිටිද්දී රාජිත, චම්පික වැනි පුද්ගලයන් දක්ෂ ඇමැතිවරුන් ලෙස විරුදාවලිය ලැබුවා. හැබැයි ඒ ඇමැතිවරුන්ම රනිල් වික්‍රමසිංහ මහතා යටතේ අසාර්ථක ඇමැතිවරුන් බවට පත් වුණා. එයින් පෙනෙන්නේ වඩා වැදගත් වන්නේ පුද්ගලයා නොව නායකයායි.

තවමත් මෙරට නීත්‍යනුකූල අගමැති රනිල් වික්‍රමසිංහ බවට බි්‍රතාන්‍ය ඇතුළු රටවල් කිහිපයක්ම දන්වා තිබෙනවා. නමුත් ඔබගේ ජනපති මෛත්‍රිම නේද බි්‍රතාන්‍ය මහරැජන මුණ ගැසුණු විට ඇය ගැන මහත් ආස්වාදයකින් කතා කළෙත්?

මුලින්ම අපේ රටේ අගමැතිවරයා කවුද කියන ප්‍රශ්නයක් තිබෙනවා නම්, එය ව්‍යවස්ථානුකූලද කියන ප්‍රශ්නයක් තිබෙනවා නම් රනිල් වික්‍රමසිංහ මහතා යා යුත්තේ ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියට නොව ශේ‍ර්ෂ්ඨාධිකරණය ඉදිරියටයි. මෙතෙක් ශේ‍ර්ෂ්ඨාධිකරණයට නොයෑමෙන් ව්‍යවස්ථානුකූල ප්‍රශ්නයක් නොමැති බව රනිල් වික්‍රමසිංහ මැතිතුමා ලොවට තහවුරු කර තිබෙනවා. ඔහු තමන්ට බහුතරය තිබෙනවා යැයි අවංකව හිතනවා නම් කළ යුත්තේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමයි. එයත් මේ දක්වා නොකර සිටීමෙන් තමන්ට බහුතරය නැති බවත් පිළිගෙන තිබෙනවා.

වඩාත් හොඳම විකල්පය ලෙස උත්තරීතරම අධිකරණය වන්නේ ජනතා අධිකරණයයි. පාර්ලිමේන්තුව විසිරුවා හැර ජනතා අධිකරණයට භාර දෙන්න පුළුවන්. මහින්දයි රනිලුයි කියන දෙන්නගේ අගමැති ධුරයට වඩා සුදුසු කවුදැයි ජනතාවට තීරණය කිරීමට ඉඩ දිය යුතුයි. එය තමයි ප්‍රශස්තම විසඳුම. රනිල් වික්‍රමසිංහ මැතිතුමා එයටත් පැකිළෙන්නේ ජනතාව ඔහු ප්‍රතික්ෂේප කරන බව අත්දැකීමෙන් දන්න නිසයි. එතුමට සහාය දෙන්න ඉන්නෙ ජාත්‍යන්තර ප්‍රජාව පමණමයි. නමුත් ජාතියේ වාසනාවට ඔය කියන ප්‍රජාවට ලංකාවේ කියන එක ඡන්දයක්වත් නෑ. බි්‍රතාන්‍යයට මේ රටේ ස්වාධිපත්‍ය තිබුණා 1948 පෙබරවාරි 08දා දක්වා. ඔවුන්ට ලංකාවට නිදහස දුන් බව අමතක වෙලා අවාසනාවට තවත් විකාර ප්‍රකාශ නිකුත් කරනවා.

ඔබේ පාර්ශ්වය හැර එජාපය ඇතුළු සියලුම පක්ෂවල ඉල්ලීම පාර්ලිමේන්තුව වහාම කැඳවිය යුතු බව. රනිල් වික්‍රමසිංහ මහතාට බහුතරය ගැන විශ්වාසයක් නොමැති නම් පාර්ලිමේන්තුව වහා කැඳවන්න කියලා යෝජනා කරන්නෙ නෑ නේද?

රට ව්‍යාකූල කර රට අස්ථාවර කිරීම පමණමයි එතුමගේ අරමුණ. හරි පාර්ලිමේන්තුව කැඳවූවා කියමුකො. අගමැති ඉවත් වෙලා ඔහුට අගමැති ධුරය ලැබෙනවද? නෑනේ. එතුමා 46ක් එක්ක ගිහිල්ලා පාර්ලිමේන්තුවේ වාඩි වුණාම එතුමට අගමැතිකම අහිමිවීමේ තර්ජන ආවේ නෑ නේද?

එතුමට බහුතරය තිබෙනවා නම් ඔහු කළ යුත්තේ පාර්ලිමේන්තුව කැඳවීමට මොරගසනවා වෙනුවට අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් භාරදීම. අපේ ස්ථාවර නියෝගවලට අනුව අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කියන්නේ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවක්. ඒ නිසා පාර්ලිමේන්තුවෙ අනෙකුත් කරුණු කාරණා සියල්ල පසෙක තබා ප්‍රමුඛතා පදනමින් මෙම විශ්වාසභංග යෝජනාව විවාද කිරීමට දින නියම කරනවා. දැන් භාර දුන්නොත් පාර්ලිමේන්තුව කැඳවන පළමු දිනයේ හෝ දෙවැනි දිනයේම මෙය විවාදයට ගත හැකියි. එය භාර නොදී කරන සටන පුස් වෙඩිල්ලක් විතරයි.

තිබුණ ආණ්ඩුව වට්ටවලා ඔබලා නව ආණ්ඩුවක් පිහිටුවනු ලැබුවා. සුබ වෙයිද ඉතින් ජනතාවට..?

ජනතාව එය සුබ බව තීරණය කරලා ඉවරයි. උතුරු කොනේ සිට දකුණු කොන දක්වා මුළු රටම එක හ¾ඩින් රතිඤ්ඤා පත්තු කළේ ඔවුන්ට ලොකු නිදහසක් ලැබුණු බව ලෝකයට කියන්න. ඒ වගේම සාමාන්‍ය එක්සත් ජාතික පක්ෂයට හිතවත්ය කියන ආයෝජක ප්‍රජාව මේ වෙනසින් මහත් පිබිදීමට ලක්වුණා. ඊට හොඳම උදාහරණය තමයි මහින්ද රාජපක්ෂ මහතා බලයට ආපු පළමු දවසේම ඔක්තෝබර් 29 දා අපේ කොටස් වෙළෙඳපොළ ඒකක 115කින් වැටිලා 2%කින් වර්ධනය වුණා. කොටස් වෙළෙඳපොළ එක දිනයකදී 2%කින් වර්ධනය වෙනවා කියන්නෙ මහා දැවැන්ත ජයග්‍රහණයක්. ඒ නිසා රට ඉදිරියට යන බවට පළමු දිනයේම සුබ නිමිති පෙන්වා හමාරයි.

නමුත් රුපියල කඩා වැටීම ඒ ලෙසම සිදුවෙනවා..?

ඇත්තෙන්ම ඒකට හේතු 2ක් බලපානවා. එක පැත්තකින් රනිල් වික්‍රමසිංහ කියන රටට ඇති වෙලා තිබ්බ ශාපය තවම අවසන්ද කියන විචිකිච්ඡාව ආයෝජකයන්ගේ සහ ජනතාව තුළ ඇති වී තිබෙනවා. ඒකට හේතු වෙලා තිබෙන්නෙ ඔහු තමන්ට අගමැති ධුරය අහිමි වීම පිළිනොගැනීමයි. ව්‍යවස්ථාව ඉතාම පැහැදිලි වුණත් ඔහු ශේ්‍රෂ්ඨාධිකරණයට යන්නෙත් නෑ. විශ්වාසභංගයක් ගේන්නෙත් නෑ. ජනතා අධිකරණයට යන්නෙත් නෑ. හැබැයි අරලියගහ මන්දිරයෙ අරක් ගෙන ඉන්නවා. ඒකෙන් පෙන්නන්නෙ සාමාන්‍යයෙන් රටේ නිල අගමැතිට අමතරව මමයි අගමැති කියන අය ඉන්නවා. ඒ අය සාමාන්‍යයෙන් ඉන්නෙ මානසික රෝහලේ. මානසික රෝහලෙන් බැහැරවත් එවැනි පුද්ගලයෙක් සිටීමයි මේ ප්‍රශ්නයට මූලික හේතුව.

ඔබ පාර්ශ්වය ඉන්ධන මිල පිළිබඳ පසුගිය කාලය තුළ බරපතළ විවේචන ඉදිරිපත් කළා. ඔන්න දැන් අවස්ථාව තිබෙනවා ඔබේ ආණ්ඩුවට ඔබලා කියූ පරිදි තෙල් රුපියල් 95ට දෙන්න. ලෑස්තිද එයට..?

මේ ආණ්ඩුව ජනාධිපතිවරණයේදී පසුගිය ආණ්ඩුව ජනතාවට පොරොන්දුවක් දුන්නා ඉන්ධන මත අය කරන කෝටි 40,000කට අධික බදු ඉවත් කිරීමෙන් ඉන්ධන මිල අඩු කෙරේ කියලා. ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 10 වන ඡේදයේ මෙය සඳහන් වුණා? ඒ අනුව තමයි අපි ආණ්ඩුවට කිව්වේ දුන් පොරොන්දු ඉටු කළොත් රුපියල් 95ට ඉන්ධන දෙන්න පුළුවන් කියලා. අපිටත් කියන්න තිබුණනේ ජනාධිපතිවරණයේදී ඉන්ධන මත තිබෙන සියලු බදු ඉවත් කෙරේ කියලා. අපි එහෙම එකක් කිව්වේ නෑ.

අපි මිල සූත්‍රය ඉවත් කරනවා. අපි ඉන්ධන මිල ස්ථාවර කරනවා. එතකොට ඉන්ධන මිල ඕනෑවට වඩා ඉහළ යද්දි පාඩුව දරාගෙන අපි ස්ථාවර මිලකට ඉන්ධන ලබාදෙනවා. ඒ වගේම ඉන්ධන මිල පහත යනකොට අර කලින් දැරූ පාඩුව කපාගෙන ස්ථාවර මිල පවත්වාගෙන යමින් පාඩුව කපා ගත් පසුවයි මිල අඩු කිරීම සිද්ධ කරන්නෙ. ඒක තමයි අපි එදත් කළ ප්‍රතිපත්තිය. අදත් ඒ ප්‍රතිපත්තිය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරනවා. අපි ආණ්ඩුවට බල කළේ දුන් පොරොන්දු ඉටු කරනු කියලා. මොකද ඉන්ධන සතු සියලු බදු අඩු කෙරේ කියලා කිව්වේ ගරු පා.ච. රණවක ඇමැතිතුමා මිස අපි නෙමේ.

පොලිස්පතිවරයා සම්බන්ධව ඔබලාට ප්‍රබල විවේචනයක් තිබුණා. ඔබලාට අනුව නීතිය නවන තනතුරට සුදුසු නොවන පොලිස්පතිවරයා ධුරයෙන් ඉවත් කරන්න සූදානම්ද?

පොලිස්පතිවරයා ඉවත් කිරීම පාර්ලිමේන්තුවේ කටයුත්තක්. 2001 අංක 5 දරන නිලධාරීන් ඉවත් කිරීමේ කාර්ය පටිපාටිය යටතේ ඔහු ඉවත් කිරීමේ බලය තියෙන්නෙ පාර්ලිමේන්තුවට පමණයි. තවම පාර්ලිමේන්තුව රැස්වෙලා නෑ. ඒ වගේම මේ ආණ්ඩුව තවම බලයට පැමිණියා විතරයි. විස¼දාගත යුතු ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ප්‍රතිපත්තිමය තීන්දු ගණනාවක් තියෙනවා. මේ සියල්ල කිරීමට පෙර අපි ඇමැති මණ්ඩලයක් පත් කරලා පාර්ලිමේන්තුව රැස්වෙලා අය-වැය ඉදිරිපත් කරලා ආණ්ඩුව අත්‍යවශ්‍යයෙන් කළ යුතු කාරණා ටික කරලා අවසන් කළ යුතුයි.

නමුත් මා මෙය ඔබෙන් විමසුවේ පසුගිය කාලය තුළ රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට සිටින ප්‍රධානියාගේ ක්‍රියාකලාපය සමස්ත ජනතාවගේම පවා විවේචනයට බඳුන් වූ නිසයි?

ඔව්. ඒකයි මා කිව්වේ ඒක පාර්ලිමේන්තුවේ යෝජනාව අනුව තීරණය වේවි. පොලිස්පතිතුමා ඉවත් නොකළොත් පොලිස්පතිවරයාගෙන් අයුතු දේ නොගන්නා තරමට කටයුතු කළ යුතුයි. මා මේ කියන්නෙ ඔහු තියා ගතයුතුයි කියලා නෙමේ. නමුත් මේ මොහොතේ ප්‍රමුඛතම කාරණය එය නොවේ. අමාත්‍ය මණ්ඩලය පත්කරලා අය-වැය ඉදිරිපත් කරලා සිටිය යුතුයි. අය-වැය ඉදිරිපත් නොකළොත් ලබන ජනවාරි සිට රාජ්‍ය සේවකයාගේ වැටුප ගෙවන්න වෙන්නෙ නෑ. රජයේ කාර්යාලයක් පවතින්න බෑ. ඒ නිසා අත්‍යවශ්‍ය කාරණා ටික ඉවර කරලා ඊළගට අපේ ප්‍රමුඛතා ලැයිස්තුවට එනවා.

ඔබලාට අනුව පාර්ලිමේන්තුවේ හානි පූර්ණ පනතින් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට වන්දි ගෙවන බවට පැහැදිලි විවේචනයක් ඉදිරිපත් කළා. එම පනතට ඡන්දය දුන් අයත් අද ඔබලා සමඟ? දැන් මොකද කියන්න තියෙන්නේ?

වැදගත් වන්නේ නායකයා. වැදගත් වන්නේ ප්‍රතිපත්තියයි. ඔබ බෝධිසත්වයන් වහන්සේ ගන්න. වසර කීයක් අත්තකිලමතානු යෝගයේ යෙදුණද? දැන් උන්වහන්සේම එය අත්හැරලා මධ්‍යම ප්‍රතිපදාවට එකතු වීම වරදක්ද? මිය යන තුරුම අත්තකිලමතානු යෝගයේ සිටිය යුතුද? ඒ වගේ ජනපතිත් විවෘත ආරාධනාවක් කළේ ඕනෑම කෙනකුට අපේ ප්‍රතිපත්ති පිළිඅරගෙන අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් කියලා. අපිත් එක්ක එකතු වෙන්න අපේ ප්‍රතිපත්ති සමඟ කටයුතු කරන්න මිස ඔවුන්ගේ ප්‍රතිපත්ති අපේ මත බලෙන් පටවන්න නෙවෙයි.

මෙම හානිපූර්ණ පනත අහෝසි කිරීමේ බලාපොරොත්තුවක් තිබෙනවාද?

විශේෂයෙන්ම අපි තවම ආණ්ඩුව ස්ථාවර කර ගැනීමේ කටයුත්තේ යෙදිලා ඉන්නේ. ඒ නිසා ප්‍රතිපත්තිමය කාරණා කිසිවක් මේ වන විට කතා කර නැහැ. නමුත් අපේ ස්ථාවරය තමයි රටට හානිකර බවට අපි පෙන්වා දුන් සියලුම පනත් අකර්මණ්‍ය කරන්න. එහි බලපෑම අවම කරන්න අපි අනිවාර්යෙන්ම කටයුතු කරනවා.

එහෙනම් ඊට අනිවාර්යෙන්ම සිංගප්පූරු ගිවිසුමත් ඇතුළත් ඇති?

මතක තබා ගන්න ගිවිසුම් ගැන අපෙන් බොහෝ දෙනෙක් අහනවා. හම්බන්තොට වරාය ගිවිසුමට මොකද කරන්නේ? සිංගප්පූරු ගිවිසුමට මොකද කරන්නේ? මේවා ද්වි පාර්ශ්වික ගිවිසුම්. ඒවාට ඇතුළු වෙන්න තරම් ලේසි නෑ ඉවත් වෙන්න. ඇතුළු වෙන්නෙ දෙපාර්ශ්වයේම කරුණුවලට එකඟ වී. ඒ අනුව ඒ කරුණු වෙනස් කරන්නත් දෙපාර්ශ්වයම එකතු විය යුතුයි. අපි අනිවාර්යෙන්ම මේවා පිළිබඳ නැවත අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කරමින් රටට අහිතකර කොන්දේසි වෙනස් කරන්න කටයුතු කරනවා.

ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීමට එකඟතාවක් තිබෙන බව කියනවා?

කිසිසේත්ම එවැනි එකඟතාවක් නෑ. එතුමත් එක්ක එකඟතාව තිබෙන්නේ වැටුණ වළෙන් රට ගොඩගැනීමට පමණයි. ජනාධිපතිවරණය පැමිණි විට ඒ අවස්ථාවේ අප අතර සිටින අයගෙන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට වඩාත් ඉදිරියෙන් සිටින පුද්ගලයා ජනපති අපේක්ෂක ලෙස ඉදිරිපත් කරනවා.

ඔබ ඉදිරිපත් කළ ඔබේ පොදු අපේක්ෂකයා වූ ගෝඨාභය රාජපක්ෂ මහතා මේ පෙරළියත් සමඟ යට ගියාද?

ගෝඨාභය මැතිතුමා ජනපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුණේ නෑ. මම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම යෝජනා කරද්දී වාසුදේව මන්ත්‍රිවරයා, චමල් රාජපක්ෂ මැතිතුමාගේ නම ඉදිරිපත් කළා. විමලවීර දිසානායක මන්ත්‍රිතුමා බැසිල් රාජපක්ෂ මැතිතුමාගෙ නම ඉදිරිපත් කළා.

වෙල්ගම මන්ත්‍රිතුමා තමන්ගේ නම යෝජනා කර ගත්තා. තවත් අය දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිතුමාගේ නම කිව්වා. මේ ආකාරයට නම් කිහිපයක් ඉදිරිපත් වුණා.

අවසන් තීරණයක් නෑ. ඒ නම් ගොඩට මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ නමත් දාන්න පුළුවන්. ලබන නොවැම්බර් මැතිවරණය කැඳවන්න නියමිතයි. ඔක්තෝබර් නාම යෝජනා කැඳවීමට නියමිතයි. එවිට මේ නම් පසෙකට ගොස් වෙන නමක් එන්නත් පුළුවන්. මෙතන කෙනෙක් වෙන්නත් පුළුවන්.

පසුගියදා වූ පෙරළිය ඇති කිරීමට මමයි වැඩි දායකත්වයක් දැරුවේ. මමයි වැඩි දායකත්වයක් දැරුවේ කියලා ඔබ හා වීරවංශ මන්ත්‍රිවරයා අතරේ යම් ගැටුමක් තිබෙනවද?

එහෙම කිසිම ගැටුමක් නෑ. විමල් වීරවංශ මන්ත්‍රිතුමා මගේ දේශපාලනයේ ඉන්න සමීපතම මිතුරෙක්. අපි අතරෙ ගැටුම් ඇත්තෙත් නෑ. අනිත් අයට කේළම් කියලා ගැටුම් ඇති කරන්න බැරි තරම් දැඩි අනේ‍යාන්‍ය බැඳීමක් විශ්වාසයක් අපි අතර තියෙනවා. එහෙම ගැටුමක්, සැලසුමක් හදන්න හිතනවා නම් ඒක හීනයක් විතරයි.

නව පාලනයෙන් ඔබලා ජනතාවට දෙන සහන එහෙම නැත්නම් සුබවාදී බලාපොරොත්තු මොනවාද?

දැන්ම ආර්ථිකයේ නැඟීිමක් පෙන්නුම් කරනවා. නව අණ්ඩුව බලයට පත්වූ ගමන්ම මිල සූත්‍රය අහෝසි වී තිබෙනවා. උපායමාර්ග වශයෙන් වැදගත් දේශීය සම්පතක් විදේශිකයන්ට විකුණන්න දෙන්නේ නෑ කියලා අපි සහතික කරනවා. ඒ වගේම ෆෙඩරල් ව්‍යවස්ථාවේ මළගම දැන් සූදානම් කරගත යුතුයි කියලා සුමන්තිරන්, සුරේන්, ජයම්පති තුන්බෑයන්ට අපි දැනුම් දෙනවා. ඉදිරි ජයග්‍රහණ ජනපති පාර්ලිමේන්තුව අමතා කරන කතාවෙන් දැනගත හැකියි.

සංවාදය – අනුරාධා හේරත්

One Response to “ඊළඟ ඡන්දෙ එනතුරු රනිල් හිටියා නම් රට කෑලි නවයක්”

  1. Ananda-USA Says:

    All of this makes CRYSTAL CLEAR that our Constitution is FATALLY FLAWED through the tinkering power hungry LOCAL POLITICIANS and FOREIGN POWERS eager to mold Sri Lanka to their liking irrespective of our wishes as citizens!

    We need a PATRIOTIC CONSTITUTION that

    STRENGHENS the EXECUTIVE PRESIDENCY instead of PRUNING it, by REPEALING 19A and giving the Presidency even additional powers,

    ELIMINATES Term Limits on the Presidency to allow the VOTERS to FREELY ELECT their President as they see FIT,

    ELIMINATES the REDUNDANT POSITION of (Executive) Prime Minister to PREVENT the kinds of INTERNAL WARS BETWEEN EXECUTIVES we witnessed in the last 3 1/2 years,

    RELIES on the SPEAKER to manage and moderate the House Proceedings (as in the US House of Representatives),

    REPEALS 13th Amendment now to PREVENT a SEPARATISM PRONE Federal System of Government emerging in Sri Lanka. and

    DISSOLVES and REPLACES ELECTED Provincial Councils with District Administrations led by District Governors APPOINTED by the National Government. This will ELIMINATE MUCH of the over 8500 tax-supported do-nothing PARASITES of Provincial Governments, and deliver streamlined government tto the people under a national government administration. It will HALT SEPARATISM in its TRACKS and REDUCE the multiple barriers that EXIST NOW to getting anything done in our country.

    FOSTER ONE National Parliament with 225 MPs, and perhaps CREATE a Senate with ONE Senator per DISTRICT to give each DISTRICT equal representation in Parliament irrespective of its population size.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress