ඔක්තෝබර් 26 බල පෙරළියේ කරළියට නොපැමිණි රජ රහස්
Posted on November 4th, 2018

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු  උපුටාගැණීම  මව්බිම

මෙරට දේශපාලන ක්‍ෂේත්‍රයේ විශාලතම පෙරළිකාර දේශපාලන විසඳුම පසුගිය 26 වැනි සිකුරාදා සවස 6.41ට කොළඹ, ගාලු මුව‍ෙදාර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවිය. එතෙක් මේ රටේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් සිටි රනිල් වික්‍රමසිංහ ඉවත් කර මෙරට 22 වැනි අග්‍රාමාත්‍යවරයා වශයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් තීන්දු කිරීම මෙම දේශපාලන පෙරළියයි.

මෙම දේශපාලන පෙරළියත් සමඟ මෙරට දේශපාලන ක්‍ෂේත්‍රය මෙන්ම ආණ්ඩුව උඩුයටිකුරු වී නව දේශපාලන ප්‍රවණතාවක් සහ නව ආණ්ඩුවක් මේ වන විට බිහි වී ඇත.

26 වැනිදා සවස සිදුවූ මෙම පෙරළිකාර දේශපාලන තීන්දුවෙන් පසුවත් ටික වේලාවක් යනතුරු මේ රටේ බොහෝ දෙනකු තුළ පැවැති ප්‍රශ්නයක් විය.

මෛත්‍රි – මහින්ද සමඟි වුණේ කොහොමද?’ එම ප්‍රශ්නයයි.

එක්සත් ජාතික පක්‍ෂයේ අහිතකර ප්‍රතිපත්තිවලින් රට බේරාගැනීම සහ තමාව ඝාතනය කිරීමට කුමන්ත්‍රණ කළ පිරිස්වලින් අෑත්වීම සඳහා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා තීරණයක් ගැනීමත් සමඟම අග්‍රාමාත්‍ය ධුරය මහින්ද රාජපක්‍ෂට ලබාදෙන්නේ ඊට අවශ්‍ය කරනු ලබන දේශපාලන වාතාවරණය ඒ වන විට නිර්මාණය වී තිබූ බැවිනි.

එසේ නම් මෛත්‍රි – මහින්ද රටේ පෙරළිකාර දේශපාලන වෙනසක් සඳහා සමඟි වුණේ කොහොමද?

ඊට අවශ්‍ය පසුබිම හා මූලික කටයුතු සකස් වුණේ කොහොමද? මෙම කාරණා දැනගැනීමට බොහෝ දෙනකු සිටින්නේ නොඉවසිල්ලෙනි.

මෛත්‍රි – මහින්ද සමඟි කිරීම සඳහා වන මූලික පසුබිම සකස් වෙන්නේ එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව හේතු කොටගෙනය.

මෙම විශ්වාසභංග යෝජනාව පරාජයට පත්කිරීමට රනිල් සමත් වුවද එමඟින් මතු වූ රනිල් විරෝධී, ජාතික ආණ්ඩු විරෝධී, එජාප විරෝධී බීජ අංකුර විනාශ කිරීමට රනිල් එතරම් උනන්දුවක් දක්වන්නේ නැත.

එම අංකුර කුඩා පැළ බවට පත්වී මහ වෘක්‍ෂ බවට පත්වී මෙරට දේශපාලනය උඩු යටිකුරු කරමින් ඔක්තෝබර් 26 වැනිදා සවස 6.30ට එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන්නේය.

මහින්ද රාජපක්‍ෂ නව අග්‍රාමාත්‍යවරයා බවට පත්කිරීමට පාර කැපෙන්නේ මෙම තීරණය හේතුවෙනි.

ඊට අමතරව මෛත්‍රි – මහින්ද සමඟි කිරීමේ මෙහෙයුමද මෙම දේශපාලන පෙරළිය සඳහා ප්‍රධාන කාරණයයි.

මෛත්‍රි – මහින්ද සමඟි කිරීම සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීමේ යෝජනාවට අදාළ කරුණු මාස 6ක් තිස්සේ පියවරෙන් පියවර එකිනෙකට සමගාමීව ක්‍රමානුකූලව සිදුවිය.

පසුගිය අප්‍රේල් මාසයේදී රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණු විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ඡන්දය ලබාදීමෙන් අනතුරුව එතෙක් වෙලා ජාතික ආණ්ඩුවේ මැති ඇමැතිකම් දැරූ පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වී විපක්‍ෂයෙන් අසුන් ගත්හ.

එස්.බී. දිසානායක, ජෝන් සෙනෙවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, ඩිලාන් පෙරේරා, තිලංග සුමතිපාල, ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා, ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන, දයාසිරි ජයසේකර, සුමේධා ජී. ජයසේන, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, තාරානාත් බස්නායක, අනුරාධ ජයරත්න, චන්දිම වීරක්කොඩි, සුසන්ත පුංචි නිලමේ, ටී.බී. ඒකනායක යන මන්ත්‍රිවරුන් 16 දෙනා ජාතික ආණ්ඩුවෙන් ඉවත් වී පාර්ලිමේන්තුව තුළ විපක්‍ෂයෙන් අසුන් ගැනීම නිසා ඔවුන් හැඳින්වූයේ 16 කණ්ඩායම හැටියටය.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා විශ්වාසභංග යෝජනාවෙන් පරාජය කර ඉවත් කිරීමට නොහැකි වුවද 16 කණ්ඩායම නිතරම කතිකා කරගත්තේ මෛත්‍රි – මහින්ද සමඟි කිරීම වෙනුවෙන් යම් වැඩපිළිවෙළක් දියත් කළ යුතු බවයි.

මෛත්‍රි – මහින්ද සමඟිවීම තුළ රටේ අනාගතයට බොහෝ සුබදායක වාතාවරණයක් සැකසෙන බවත් ඒ වෙනුවෙන් කැපවීමටත් ඒකාබද්ධ විපක්‍ෂයේ 16 කණ්ඩායම තීරණයක් ගත්තේ පුංචි බොරැල්ලේ පිහිටි තිලංග සුමතිපාලගේ නිවසේදීය. එම තීරණය ගනු ලැබුවේ සිංහල, හින්දු අලුත් අවුරුද්දෙන් පසුව අප්‍රේල් මස අග දිනයකදීය.

ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන අවස්ථාවේදී 16 කණ්ඩායම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට කියා සිටියේ මෛත්‍රි – මහින්ද සමඟි කිරීම වෙනුවෙන් දිගටම මෙම කණ්ඩායම පෙනී සිටින බවයි.

පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලක්‍ෂ 50කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නා විට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ලක්‍ෂ 15කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන තිබෙන බවත් දෙගොල්ලන්ම එකතු වූ විට එම ඡන්ද ප්‍රමාණය ලක්‍ෂ 65කට ආසන්න වෙන බවත් මේ නිසා රටේ අති බහුතරයක් පොදු මහජනතාව සිටින්නේ එක්සත් ජාතික පක්‍ෂයට එරෙහි කඳවුරේ බව 16 දෙනාගේ කණ්ඩායම විසින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට පෙන්වා දෙන ලදී.

මෛත්‍රි – මහින්ද සමඟිය පිළිබඳව 16 දෙනාගේ කණ්ඩායමට දැඩි වුවමනාව තිබුණත් මෙම කාර්යය නිශ්චිත වශයෙන් කරගෙන යෑමට කණ්ඩායම් කිහිපයකට භාර කළ යුතු බව 16 දෙනාගේ කණ්ඩායම එක් අවස්ථාවකදී තීරණය කළහ. එම තීරණය ගනු ලැබුවේ පුංචි බොරැල්ලේ තිලංග සුමතිපාලගේ නිවෙසේදීය.

සිවුදෙනෙක් එම කණ්ඩායමට නම් කළහ.

එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා, තිලංග සුමතිපාල, ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා එම සිවුදෙනාය.

මෙම සිවුදෙනාට මෛත්‍රි – මහින්ද සමඟි කිරීමේ කාර්යය සිදුකිරීමට 16 කණ්ඩායමේ අනුමැතිය හිමිවූ අතර විටින් විට එහි ප්‍රගතිය සම්බන්ධයෙන් මෙම සිවුදෙනා විසින් 16 කණ්ඩායම දැනුවත් කිරීමටද තීරණය කරන ලදී.

එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා, ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා, තිලංග සුමතිපාල යන සිවුදෙනා පමණක් තිලංගගේ පුංචි බොරැල්ලේ පිහිටි නිවෙසේ සහ එස්.බී.ගේ බත්තරමුල්ලේ පාලම් තුන මංසන්ධිය අසල පිහිටි නිවෙසේ විටින් විට රැස්වී මෛත්‍රි – මහින්ද සමඟි කිරීමේ මෙහෙයුම ගැන සාකච්ඡා කළහ. රාත්‍රියේ පටන් ගත් මෙම සමහර සාකච්ඡා අවසන් වූයේ එළිවෙන පාන්දරය.

ඔවුන් විසින් එය කොටස් 4කට බෙදා එක් එක් කොටස එම සිවුදෙනාට පැවරීමට කටයුතු කෙරිණි.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සහ එම පවුලේ අය සහ සමීපතමයන් සමඟ සාකච්ඡා කිරීමේ වගකීම පැවරුණේ තිලංග සුමතිපාලටය.

ලක්‍ෂ්මන් වසන්ත පෙරේරාට පැවරුණේ මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා ඇතුළු පවුලේ සාමාජිකයන් ඇතුළු සමීපතමයන් සමඟ කතාබහ කිරීමේ වගකීමයි.

ජාතික ආණ්ඩුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉවත්වීමට අදාළ කරුණු හා එම නීතිමය තත්ත්වයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ වගකීම පැවැරුණේ එස්.බී. දිසානායකටය.

මෛත්‍රි – මහින්ද සමඟිය සමඟ ඇතිවන නව දේශපාලන සන්ධානයට අනෙකුත් දේශපාලන පක්‍ෂ ඇතුළු සුළු දේශපාලන පක්‍ෂවල සහයෝගය ලබාගැනීමේ වගකීම පැවැරුණේ ඩිලාන් පෙරේරාටය.

මේ සමඟ අප්‍රේල් මාසය උදාවිය. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා එංගලන්තයේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලය රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම සඳහා එංගලන්තය බලා පිටත්ව ගියේය.

ජනාධිපතිවරයා ලන්ඩන් ගොස් දිනකට පමණ පසුව 16 කණ්ඩායමේ තිදෙනෙක් අප්‍රේල් 04 වැනිදා ලන්ඩන් නුවර බලා ගියහ.

ඩිලාන් පෙරේරා, චන්දිම වීරක්කොඩි, ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා එම තිදෙනාය. මෙම ගමන සඳහා යෝජනා කරමින් අවශ්‍ය කටයුතු සංවිධානය කළේ ලක්‍ෂ්මන් වසන්ත පෙරේරාය.

ලන්ඩන් නුවරදී තමාව හමුවීමට පැමිණි මෙම තිදෙනා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ඉතා සුහදව පිළිගන්නා ලදී.

උඹලා තුන්දෙනා මොකද මං හම්බ වෙන්න මෙහෙට ආවේ? යනුවෙන් සිනහමුසු මුහුණින් යුතුව ඉතා සුහදව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා කතාව ආරම්භ කළේය.

‘සර් එක්ක නිදහසේ ටිකක් කතා කරන්න ඕන නිසායි අපි මෙහාට ආවේ’ ඩිලාන් පෙරේරා පිළිතුරු ලබාදුන්නේය.

‘ඇයි අපේ රටේදී කතා කරන්න බැරිද?’ යනුවෙන් ජනාධිපතිවරයා පෙරළා ප්‍රශ්න කළේය.

ලංකාවේදී කතා කරන්න බැරි දේවල් තමයි සර් මෙහේ කතා කරගන්න ආවේ. ලංකාවේදී කතා කරලා අපි එකක් සවුත්තු කර ගත්තා. ඒ තමයි විශ්වාසභංගය. ඒ නිසා ආපසු එහෙම නොවෙන්න තමයි මේ පාර කතා කරගන්න ඕන. මේ රට බේරාගන්න අපට වුවමනාවක් තියෙනවා. සර්ටත් ඒ වුවමනාව තියෙන බව අපි දන්නවා’ යනුවෙන් ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා කීවේය.

එතැනින් ඇරැඹුණු කතාබහ ඩිලාන් පෙරේරා, චන්දිම වීරක්කොඩ, ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා, මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සමඟ පැය 3කට ආසන්න වේලාවක් සාකච්ඡා කළහ.

එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිපත්තිය දිගටම ක්‍රියාත්මක වුවහොත් රට විනාශය කරා ගමන් කරන බවත් ඒ වෙනුවට මෛත්‍රි – මහින්ද අතර සමඟියක් ඇති වුවහොත් රට යහමඟකට ගෙන යෑමට අවශ්‍ය පදනම සකස් වෙන බව මේ සාම දූතයන් තිදෙනා දීර්ඝ වශයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයාට පෙන්වා දුන්හ.

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා අගමැති ධුරයට පත්කිරීම සම්බන්ධයෙන් කිසිදු අදහසක් මෙහිදී සාකච්ඡා නොවීය. මෙහිදී සාකච්ඡා කෙරුණු තොරතුරු මෛත්‍රි – මහින්ද අතර යම් සමඟියක් ඇති කිරීම සඳහා යම් ප්‍රවේශයක් ගැනීම සම්බන්ධයෙන් පමණි. නමුත් මෙහිදී නිශ්චිත යමක් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශ නොවුණි. නමුත් පක්‍ෂයේ සමඟිය වෙනුවෙන් මේ ආකාරයෙන් පෙනී සිටීම ගැන මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සිටියේ සුබදායි ස්ථාවරයකය.

ඉන් දින දෙකකට පසුව ඔවුන් තිදෙනා යළි මෙරටට පැමිණි අතර එම සාකච්ඡා කළ කරුණු දැනුම්දීම සඳහා ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා විජේරාම මාවතේ පිහිටි නිල නිවෙසට ගොස් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා මුණ ගැසුණේය.

‘පක්‍ෂයේ සමඟිය වෙනුවෙන් මෙවැනි සාකච්ඡාවක් ආරම්භ කිරීම හොඳයි. මෛත්‍රිපාල සිරිසේන මහතා පක්‍ෂයේ මහ ලේකම් විදියට වැඩ කොටසක් කළා. මං ඒක දන්නවා. ඇති වී තිබෙන තත්ත්වය අනුව අපි දෙදෙනා අතර ඉක්මනින්ම සමඟියක් ඇති වේවි කියලා කියන්න බැහැ. නමුත් අපි බලමු’ යනුවෙන් යම් බලාපොරොත්තු සහගත පිළිතුරක් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාගෙන් ලැබුණේය.

යම් සමඟියක් වෙනුවෙන් යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව මේ වන විට මෛත්‍රිත්, මහින්දත් දැන සිටි අතර මේ සම්බන්ධයෙන් 16 දෙනාගේ කණ්ඩායම දැනුවත් කිරීමට හතර දෙනාගේ කණ්ඩායම විසින් කටයුතු කරන ලදී.

ඒ වන විට දයාසිරි ජයසේකර 16 දෙනාගේ කණ්ඩායමේ නොසිටියද ඔහු මෛත්‍රි – මහින්ද සමඟි කිරීම වෙනුවෙන් එම ස්ථාවරයේම සිටියේය. මේ නිසා සාකච්ඡාවල ප්‍රගතිය ගැන ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා විසින් විටින් විට දයාසිරි ජයසේකරව දැනුවත් කරන ලදී.

මෙම සිවුදෙනාගෙන් එස්.බී. දිසානායක ජේ‍යෂ්ඨ වන නිසාත් ඔහු මෛත්‍රි – මහින්ද කාලයක් තිස්සේ මිතුරන් මෙන් ඇසුරු කරන නිසාත් මෛත්‍රි – මහින්ද සමඟ විටින් විට මෙම සමඟිය ගැන කතා කිරීමේ වගකීමක්ද එස්.බී. දිසානායකටම පවරා තිබිණි.

මෙම කටයුත්ත සඳහා ඍජුව සම්බන්ධ නොවූවද ජාතික ආණ්ඩුවේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මැති ඇමැතිවරුන් කිහිප දෙනකුගේ සහයෝගයද යම් යම් ආකාරයෙන් හිමිව තිබිණි.

16 දෙනාගේ කණ්ඩායම මේ සමඟිය ගැන සාකච්ඡා කිරීමට දින දෙක තුනක්වත් පුංචි බොරැල්ලේ පිහිටි තිලංග සුමතිපාලගේ නිවෙසට රැස්වූහ. බොහෝ දේවල් සාකච්ඡා කිරීමෙන් අනතුරුව බොහෝ දිනවල මෙම සාකච්ඡා අවසන් වන්නේ රාත්‍රි ආහාරයද ලබාගැනීමෙන් අනතුරුවය.

මෙසේ සිදුවන සාකච්ඡාවල කිසිදු තොරතුරක් පිට නොකිරීමට දයාසිරි ජයසේකර ඇතුළු 16 කණ්ඩායම වගබලා ගත්හ. අඩුම තරමින් මෙම තොරතුරු කිසිවක් තම තමන්ගේ පවුල්වල සාමාජිකයන් සමඟවත් සාකච්ඡා නොකිරීමට ඔවුහු පරිස්සම් වූහ.

දුරකථනයෙන් නම් මේවා ගැන කිසිවක් සාකච්ඡා නොවුණ අතර හමුවී පමණක් මේ ගැන තොරතුරු කතා කිරීමට 16 කණ්ඩායම වගබලා ගත්තේ දැඩි පරිස්සමටය.

මෛත්‍රි – මහින්ද අතර සුහදතාව ගොඩනැංවීම සඳහා වන සිද්ධි කිහිපයකට ලක්‍ෂ්මන් වසන්ත පෙරේරාට මුහුණදීමට සිදුවිය.

දිනක් විජේරාම මාවතේ පිහිටි නිල නිවෙසේදී මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා සමඟ යම් කාරණයක් ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා සාකච්ඡා කරමින් සිටියේය.

එතන සිටි කිසිවකු ‘මෛත්‍රි’ යනුවෙන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ගැන යමක් සඳහන් කරන බවක් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාට ඇසුණේය.

එම ආමන්ත්‍රණයට මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාට තරමක් කේන්ති ගියේය.

‘රටක නායකයකුට නම කියලා කතා කරන්න එපා. යම් යම් මතවාද තියෙන්න පුළුවන්. ඒ මොනව වුණත් ඒ අපේ රටේ ජනාධිපතිතුමා. ඔයා අපිටත් කතා කරන්නේ ඔය වගේ තමයි’ යනුවෙන් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කෙළේය.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් කරන ලද යම් ප්‍රකාශයක් ගැන මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා දැනුවත් කිරීමට ගොස් ජනාධිපතිතුමාට ‘මෛත්‍රි’ පමණක් යනුවෙන් කරන ලද ආමන්ත්‍රණයට මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා විසින් එසේ දෝෂාරෝපණය එල්ල කරන ලදී.

මෙම සිද්ධිය පිළිබඳව ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා විසින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා දැනුවත් කරන ලදී.

ඉන් පසුවද මෛත්‍රි – මහින්ද සමඟියට අදාළ තවත් සාකච්ඡා වට කිහිපයක්ම මෙම සිවුදෙනාගේ සහභාගිත්වයෙන් පුංචි බොරැල්ලේ පිහිටි තිලංග සුමතිපාලගේ නිවෙසේත්, බත්තරමුල්ලේ පිහිටි එස්.බී. දිසානායකගේ නිවෙසේත් පැවැත්විණි.

මෙම සාකච්ඡාවලට සහභාගි වීම සඳහා ඇතැම් අවස්ථාවලදී එස්.බී. හඟුරන්කෙත සිටත්, ලක්‍ෂ්මන් වසන්ත මාතලේ සිටත්, ඩිලාන් බදුල්ලේ සිටත් පැමිණියහ.
විරසකයකට පත්වී සිටින නායකයන් දෙදෙනකු සමඟ කිරීම එතරම් පහසු නොවන නිසා මෙම ක්‍රියාවලියේදී මතුවීමට හැකි අභියෝග සහ ඒවාට ලබාදිය යුතු විසඳුම් සම්බන්ධයෙන්ද මෙම සිවුදෙනා දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.

මෙසේ ක්‍රම ක්‍රමයෙන් දින ගෙවී ගිය අතර ජූලි මාසයේ එක්තරා දිනයකදී සිවුදෙනාගේ කණ්ඩායම විසින් අලුත් යෝජනාවක් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාටත් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාටත් ඉදිරිපත් කරන ලදී.

‘සර්ලා පොඩ්ඩක් හමුවෙලා කතා කළොත් හොඳ නැද්ද?’ යනුවෙන් තිලංග සුමතිපාල විසින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට යෝජනා කරන ලදී.

මෙම යෝජනාවම මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන ලද්දේ ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා විසිනි.

එම හමුවට තමාගේ අකැමැත්තක් නොමැති බව මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කෙළේය.

‘අපේ පක්‍ෂයේ හිටපු මහ ලේකම්. අපි එකට වැඩ කරලා තියෙනවා. මටත් හමුවීම ප්‍රශ්නයක් නොවේ’ යන ප්‍රතිචාරය මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබිණි.

ඊට දින කිහිපයකට පසුව කොළඹ එක්තරා නිවෙසක රාත්‍රි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාත් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාත් හමුවූහ. ඔවුන් දෙදෙනා හැර එම අවස්ථාවේ සිටි එකම එක පුද්ගලයා වන්නේ හතර දෙනාගෙන් එක් අයකු පමණි.

‘ඔබතුමා රටට ආදරය කරපු නායකයෙක්. නමුත් ඔබතුමා යම් අසරණ තත්ත්වයකට පත්වෙලා කියලා පේනවා. රට පිරිහෙමින් පවතිනවා. ඒක නවත්වන්න වැඩපිළිවෙළක් සකස් කරන්න’ යනුවෙන් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා මෙහිදී මෛත්‍රිපාල ජනාධිපතිවරයාට ප්‍රකාශ කෙළේය.

‘ඒක මම පිළිගන්නවා. රටේ ප්‍රශ්න විසඳන්නේ නැහැ කියලා ජනතාවගෙන් නිතරම චෝදනා එල්ල වෙනවා. ඇතුළේ තත්ත්වය මට එතරම් අල්ලන්නේ නැහැ. මාත් ඉන්නේ යම් පීඩනයකින්’ යනුවෙන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාද පිළිතුරු දුන්නේය.

පැයකට ආසන්න වේලාවක් මෙම සාකච්ඡාව සිදුවිය.

නායකයන් දෙදෙනාම සාකච්ඡා කරමින් රාත්‍රි ආහාරයද ගැනීම විශේෂත්වයකි.

දීර්ඝ ගමනකට පළමු හමුවේදී යම් මුලපිරීමක් සිදුවූ බව සඳහන් කරමින් එම ස්ථානයේ සිටි සගයා අනෙක් 15 දෙනාටම මෙම හමුව ගැන දැනුම් දුන් අතර එම සතුට වෙනුවෙන් සාදයක්ද සංවිධානය කරන ලදී. නායකයන් දෙදෙනා පමණක් මුහුණට මුහුණ හමුවී වසර ගණනාවකට පසුව සිදුකෙරුණු මෙම සාකච්ඡාවේදී සතුට භුක්ති විඳීම වෙනුවෙන් 16 දෙනාගේ කණ්ඩායම වෙනුවෙන් රාත්‍රි භෝජන සංග්‍රහයක් සමඟ සාදය සූදානම් කළේ තිලංග සුමතිපාලගේ පුංචි බොරැල්ලේ පිහිටි නිවෙසේදීය.

ඉන් මාසයකට පසුව එනම් අගෝස්තු මාසයේ දිනක මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගෙන් ඇමැතුමක් ලක්‍ෂ්මන් වසන්ත පෙරේරාගේ ජංගම දුරකථනයට ලැබෙන්නේය.

‘මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමා අද කොහෙද ඉන්නේ’ යනුවෙන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විමසුවේය.

‘මං බලලා කියන්නම් සර්’ යනුවෙන් ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා ප්‍රතිචාර දැක්වීය.

ඉන් පසු ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා දුරකථන ඇමැතුමක් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාට ලබා දුන්නේය.

මේ බව දැනුම්දුන් පසුව මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කෙළේ තමා අද දින කොළඹ ඉන්නා බවයි.

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා කොළඹ සිටින බව ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා විසින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට නැවත දැනුම් දෙන ලදී.

‘අද සවස කොහොමද දන්නේ නැහැ නේද?’ යනුවෙන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා පැවැසුවේ අද සවස හමුවීමට වේලාවක් තිබෙනවාද යන පැනයද ඉදිරිපත් කරමිනි.

එම පණිවිඩය ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා විසින් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාට දැනුම් දුන් අතර අද සවස හමුවීමට ගැටලුවක් නොමැති බව මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා ප්‍රතිචාර දක්වා තිබිණි.

ඉන් පසුව එදින රාත්‍රියේදීත් කොළඹ නගරයේ යම්කිසි ස්ථානයකදී නායකයෝ දෙදෙනාම හමුවූහ.

ජාතික ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය ගැටුම් ගැන මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් මෙහිදී පැහැදිලි කරන ලදී.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටෙව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සාමාජිකයන්ට විකල්පයක් නොමැති නිසා බවත් රට වෙනුවෙන් එක්ව ගමනක් යනවා නම් ඒකට තමාගේ විරුද්ධත්වයක් නොමැති බවත් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

රාජ්‍ය දේපළ විකිණීමට තිබෙන සැලසුම්, රණවිරුවන් සිරගත කිරීම වැනි දේවල්ද මෙහිදී සාකච්ඡා වූ අතර මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ මෙවැනි සිද්ධි ජනාධිපතිවරයාගේ දේශපාලනයට එතරම් හිතකර නොමැති බවයි.

තමන් ඒ ගැන දන්නා බවත් ඒ ගැන අවදියෙන් සිටින බවත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් මෙහිදී ප්‍රකාශ කරන ලදී.

පැය දෙකක් පමණ මෙම සාකච්ඡාව සිදුවූ අතර නායකයන් දෙදෙනා වෙන්ව ගියේ රාත්‍රි ආහාරය ගැනීමෙන්ද අනතුරුවය.

ඉන් ටික දවසකට පසුව නායකයන් දෙදෙනා අතර තෙවැනි හමුව පැවැත්වුණේ එස්.බී. දිසානායකගේ නිවසේදීය.

එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා හා ලක්ෂ්මන් වසන්ත පෙරේරා යන මන්ත්‍රිවරු පමණක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

ඉතා සුහදව දීර්ඝ වේලාවක් මෙම සාකච්ඡාව සිදුවූ අතර රාත්‍රි භෝජන සංග්‍රහයක්ද සංවිධාන කර තිබිණි.

එස්.බී. දිසානායක විසින් නායකයන් දෙදෙනාටම රටේ පවතින දේශපාලන තත්ත්වය සහ රටේ අනාගතය පිළිබඳ දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කරන ලදී.

පළමු වරට එස්.බී. දිසානායකගේ නිවසේ හමුව පිළිබඳව මාධ්‍ය මඟින් විශාල ප්‍රසිද්ධියක් ලබාදී තිබුණු අතර මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ඒ පිළිබඳ සිටියේ එතරම් කැමැත්තකින් නොවේ.

ඉන් පසු දිනක ලක්ෂ්මන් වසන්ත පෙරේරා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා හමුවීමට නිවසට ගිය අතර එස්.බී. දිසානායකගේ නිවසේ සිදුවූ හමුව ඇතැම් මාධ්‍යවල වාර්තා වූ ක්‍රියාවලියට ජනාධිපතිවරයා තම දැඩි අප්‍රසාදය පළකර සිටියේය.
මේ ගැන කිසිම දෙයක් මං කතා කරන්න කැමැති නැහැ යනුවෙන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා දැඩි ලෙස ප්‍රකාශ කළේය.

පොල්ලෙන් ගැහුවා වැනි එම පිළිතුරෙන් පසුව කරබාගෙනම ලක්ෂ්මන් වසන්ත පෙරේරා ජනාධිපති නිල නිවසින් පිටත් විය.

එම සිද්ධිය මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාටද සැලකිරීමට ලක්ෂ්මන් වසන්ත පෙරේරා පියවර ගත්තේය.

මෛත්‍රි – මහින්ද සමඟි කිරීමේ ක්‍රියාවලියට කොමාවක් වැටී ඇති බවත් එයට නැවතීමේ තිත තැබීමට නම් ඉඩනොදිය යුතු බව හතර දෙනාගේ කණ්ඩායම තීරණය කළහ.

එස්.බී. දිසානායකගේ නිවසේ හමුව ඇතැම් පුවත්පත්වල පළවීම සම්බන්ධයෙන් බොහෝ දෝෂාරෝපණවලට මුහුණදීමට එස්.බී. දිසානායකට සිදුවිය. නමුත් එම තොරතුරු ඇතැම් මාධ්‍යවලට ලබාදුන්නේ එස්.බී. දිසානායක නොව එතැන සිටි වෙනත් බාහිර පුද්ගලයකු බව සියලු දෙනාටම අවබෝධ විය.

මේ දෝෂාරෝපණ සමඟ යම් කලකිරීමකට පත්වූ එස්.බී. දිසානායක අනෙක් සගයන් තිදෙනාට ප්‍රකාශ කළේ “මං ෆෝන් ඕෆ් කරගන්නවා. උඹලා ඕන මඟුලක් කරගනිල්ලා” යැයි කියමිනි.

“මෙච්චර දුරක් ඇවිල්ලා මේක අත්හරින්න බැහැ” යනුවෙන් තිලංග සුමතිපාලත්, ඩිලාන් පෙරේරත් දිගින් දිගටම ප්‍රකාශ කළහ.

‘මහින්දට අගමැතිකම දෙන්න සාකච්ඡා කළා’ කියලා ඇතැම් පුවත්පත් වාර්තා කර තිබීම ගැන මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සිය නොසතුට ප්‍රකාශ කර තිබිණි.

“නායකයන් දෙදෙනා අතර හොඳ හිතට ප්‍රශ්නයක් වෙලා නැහැ. මේ වෙලා තියෙන්නේ සාකච්ඡාව පත්තරවලට වැරදි විදියට ලීක්වෙලා තිබීමයි” යනුවෙන් ලක්ෂ්මන් වසන්ත පෙරේරා අනෙක් සගයන් තිදෙනාට ප්‍රකාශ කළේය.

“මං කොහොමත් හෙට ජනාධිපතිතුමාට කතා කරනවා” ලක්ෂ්මන් වසන්ත පෙරේරා ප්‍රකාශ කළේය.

“සර් කොහොමද තත්ත්වය. පොඩ්ඩක් හමුවෙන්න පුළුවන්ද?” යනුවෙන් ලක්ෂ්මන් වසන්ත පෙරේරා විසින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලබාදෙන ලදී.
“ඇයි? මොකද?” ජනාධිපතිවරයා විමසුවේය.

“සර්… අර කරගෙන ආපු සාකච්ඡාව ගැන කතා කරගන්න” යනුවෙන් ලක්ෂ්මන් වසන්ත පෙරේරා පැවසුවේය.

“එනවකෝ ගෙදරට” යනුවෙන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසට ගියේය.

“මොකක්ද? මේ අගමැතිකමක් දෙනවා කියලා පත්තරවල ගිහිල්ලා තියෙන්නේ යනුවෙන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ එතරම් හිත හොඳකින් නම් නොවේ.

ඉතා රහසේ පටන් ගත් මෛත්‍රි – මහින්ද සාකච්ඡා පුවත්පත් මඟින් අනාවරණය වීම මඟින් සමඟි වෑයම අතරමඟ බිඳ වැටෙන වාතාවරණයක් උදාවීම ගැන ඊට මැදිහත් වූවන් පසුවූයේ දැඩි කම්පාවෙනි.

මේ වාතාවරණය මැද සමඟි වෑයම කඩාකප්පල්වීමට කිසිසේත් ඉඩ නොතැබිය යුතු බව වටහාගත් තුන්වැනි පාර්ශ්වයක් ඒ සඳහා මැදිහත් වන්නට තීරණය කළේය.

ඔහු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාටත්, හිටපු ජනාධිපතිවරයාටත් වෙන වෙනම කතා කරමින් යළි සාම වෑයම පණ ගැන්වෙන තත්ත්වයක් උදාකර ගන්නට සමත් විය.

එහි ප්‍රතිඵලය වූයේ නුදුරු දිනෙකම එම තුන්වැනි පාර්ශ්වයේ නිවහනේදී මෛත්‍රි – මහින්ද – බැසිල් හමුවකට ඉඩකඩ විවර වීමය. එහිදී ඔවුන් තිදෙනා පවතින දේශපාලන වාතාවරණය ගැනත් රටේ අනාගතය වෙනුවෙන් ගත යුතුව තිබෙන පියවර ගැනත් බොහෝ දේ කතා කළහ. ඒ අනුව සාම වෑයම නැවතත් හරි පීල්ලට ගෙන එන්නට තුන්වැනි පාර්ශ්වය ගත් උත්සාහය සාර්ථක විය.

එම සාකච්ඡාවේ සාර්ථකත්වය තහවුරු කෙරෙන සංඥාවක් පසු දිනයේදීම නිකුත් විය. එම සංඥාව වූයේ මෛත්‍රි – මහින්ද – බැසිල් හමුව සිදු වූ තුන්වැනි පාර්ශ්වයේ නිවසේදීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතර තීරණාත්මක හමුවක් සිදුවීමය. එහිදීද ජනාධිපතිවරයාත් හිටපු ආරක්‍ෂක ලේකම්වරයාත් රටේ දේශපාලන වාතාවරණය ගැන බොහෝ දේ සාකච්ඡා කළහ. එම හමුව සාර්ථකව නිමාවීමත් සමඟ සාම වෑයමේ අරුණලු උදාවෙමින් පවතින බවට තහවුරු වන්නට පටන් ගෙන තිබිණි.

මේ කාලය ඇතුළත මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පිළිබඳව මහත් ඕනෑකමකින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා අධ්‍යයනය කළ අතර දේශපාලනයටත් එහා ගිය සමීප මිත්‍රත්වයක් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගෙන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා දුටුවේය.

ඒ සමඟම දැඩි විශ්වාසයක්ද මහින්ද රාජපක්ෂ කෙරෙහි මෛත්‍රිපාල සිරිසේන තුළ ඇතිවී තිබිණි.

ඉන් පසුව දිනෙක ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා හමුවීමට ගියේය.

එහිදී ලක්ෂ්මන් වසන්ත පෙරේරා තම ජංගම දුරකථනයෙන් ඇමතුමක් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට ලබාදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට දුරකථනය ලබාදුන්නේය.

නායකයන් දෙදෙනා අතර කෙටි දුරකථන සංවාදයක් සිදුවිය. සියල්ල මෙසේ සුබවාදීව සිදුවෙද්දී ඔක්තෝබර් 25 වැනිදාට තමා හමුවන ලෙස මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් එස්.බී. දිසානායක, තිලංග සුමතිපාල, ඩිලාන් පෙරේරා හා ලක්ෂ්මන් වසන්ත පෙරේරාට පණිවුඩ ලැබිණි.

ඒ වන විට එස්.බී. දිසානායක සිටියේ නුවරඑළියේය.

හවස 3.00ට පමණ එස්.බී. නොමැතිව අනෙක් තිදෙනා ජනාධිපතිවරයා හමුවීමට ජනාධිපති නිල නිවසට පැමිණියහ.

“මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා කොහෙද ඉන්නේ” ජනාධිපතිවරයා විමසුවේය.

ඒ අවස්ථාවේදී ලක්ෂ්මන් වසන්ත පෙරේරා දුරකථන ඇමතුමක් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ලබාදුන් අතර ඔහු එම අවස්ථාවේදී සිටියේ හික්කඩුව ප්‍රදේශයේ උත්සවයකට සහභාගි වෙමිනි.

ලක්ෂ්මන් වසන්ත පෙරේරා විසින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා දුරකථනයට සම්බන්ධ කරගැනීමෙන් අනතුරුව එම දුරකථනය මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට ලබාදුන්නේය.

“මං යම් කිසි වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා. එවිට යම් වගකීමක් ඔබතුමාට ගන්න වේවි” මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා දුරකථනයෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ප්‍රකාශ කළේය.
මේ ගැන කිසිවකුටත් ප්‍රකාශ නොකිරීමට සියලුම දෙනා වගබලා ගත්හ.

මේ අතර මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ලක්ෂ්මන් වසන්ත පෙරේරා, එස්.බී. දිසානායක, තිලංග සුමතිපාල, ඩිලාන් පෙරේරා ඇතුළු සීමිත කිහිපදෙනකුට ප්‍රකාශ කළේ ඔක්තෝබර් 26 වැනිදා සවස 6.00ට පමණ ජනාධිපති ලේකම් කාර්යාලයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයන් ඇතුළු සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට රැස්වීමක් පැවැත්වෙන බවයි.

26 වැනිදා සවස යම් අමතර වෙනසක් සිදුවන බව එස්.බී. මෙන්ම තිලංග, ලක්ෂ්මන්, ඩිලාන් ද දැන සිටියහ.

මේ අතරේ අනෙක් තිදෙනාට අවශ්‍ය වී තිබුණේ නුවරඑළියේ සිටින එස්.බී.ට ලණුවක් දීමටය.

ඒ බව ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට දැනුම් දුන්නේය.

ඒ සමඟම එස්.බී.ට දුරකථන ඇමතුමක් ලබාදුන් මහින්ද ප්‍රකාශ කළේ හෙට සිදුවන වැඩේ ගැන තමාට ෂුවර් එකක් නැති නිසා වැඩේට නොයන බවයි.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයෙන් එස්.බී.ට හීන්දාඩිය දැම්මේය. ඔහු වහාම ලක්ෂ්මන් වසන්ත පෙරේරාට කතා කරමින් කිව්වේ හෙට සිදුවන වැඩේ ගැන මහින්ද රාජපක්ෂ මහතාට විශ්වාසයක් ඇතිකළ යුතු බවයි.

කොළඹට පැමිණෙනතුරු එස්.බී. දිසානායක තමාට දුන්නු ලණුව ගැන දැනගෙන සිටියේ නැත.

එස්.බී. සිටියේ නුවරඑළියේ ඥාතියකුගේ මංගල උත්සවයකට සහභාගි වෙලාය.

“අනේ ලකී.. මං වෙඩින් එකක ඉන්නේ. කොහොම හරි ඔයා ගිහිල්ලා මහින්ද මහත්තයා කැමති කරගන්න” යනුවෙන් එස්.බී. දිසානායක ප්‍රකාශ කළේය.
“මොන වෙඩින්ද? මේකත් වෙඩින් එකක් තමයි ඔයා ඉක්මනට එන්න” ලක්ෂ්මන් වසන්ත පෙරේරා ප්‍රකාශ කළේය.

මංගල උත්සවයේ කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව එස්.බී. කොළඹ පැමිණියේ දැඩි කුතුහලයකිනි.

සවස 6.00ට පමණ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලුම දෙනා ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියහ.
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අතර කෙටි සාකච්ඡාවක් එහි ඇතුළු කාමරයක පැවැත්විණි.

ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ සිටි බොහෝ දෙනකු උනන්දුවෙන් පසුවූයේ මේ සිදුවීමට යන දේ පිළිබඳව යම් කුතුහලයකිනි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පිරිස අසුන්ගෙන සිටින විට ජෝන් සෙනෙවිරත්න ඇමැතිවරයා මහත් කුතුහලයකින් විමසුවේ මේ මොකක්ද වෙන්නේ කියායි.

“මහින්ද රාජපක්ෂ මහත්තයා දැන් අගමැති ධුරයේ දිවුරුම් දෙන්න යන්නේ” හතර දෙනාගෙන් කෙනකු ප්‍රකාශ කළේය.

“අනේ පලයං යන්න ඔය ඇත්තමද?” ජෝන් සෙනෙවිරත්න විමසුවේ තරමක විස්මයෙනි.

එස්.බී. දිසානායක පැමිණ සිටියේ ටී. ෂර්ට් එකක් ඇඳගෙනය. ඊට හේතුවක් තිබිණි. ඔහු නුවරඑළියේ සිට කෙළින්ම පැමිණ තිබුණේ ජනාධිපති ලේකම් කාර්යාලයටය. බත්තරමුල්ලේ නිවසට ගොස් ඇඳුම් මාරුකරගෙන එන්නට ඔහුට කාලයක් තිබුණේ නැත.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී එස්.බී.ට ඩිලාන් පෙරේරා ප්‍රකාශ කළේ තව සුළු වේලාවකින් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයේ දිවුරුම් දෙන බවයි. එස්.බී.ගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ එවිටය.

ඉන්පසුව ඔක්තෝබර් මස 26 වැනිදා සවස 6.41ට පමණ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ මෙරට 22 වැනි අගමැතිවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය.

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

One Response to “ඔක්තෝබර් 26 බල පෙරළියේ කරළියට නොපැමිණි රජ රහස්”

  1. Lionel Says:

    If succeed (depend on the outcome of what will happen in the parliament on 14th), this regime change will give an opportunity for MPs who betrayed people’s will in August 2015 to wash their hands and enter the parliament again in the next general election. If MR waited for the right time, people could have teach a good lesson for those ugly politicians? No point of going through the same cycle again and again, like what was happening in the last 70 years since the independence in Sri Lanka.
    Regimes can be changed overnight, but there is no point if the leaders don’t have a long term plan in their hands to develop the country.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress