දැන් ආණ්ඩුව විසුරුවන්න ඕනෑ -හිටපු සෞඛ්‍ය හා පෝෂණ ඇමැති රාජිත සේනාරත්න
Posted on November 4th, 2018

ප්‍රගීත් සම්පත් කරුණාතිලක  උපුටාගැණීම  මව්බිම

ඇමැතිතුමා මොකද වුණේ? බලාපොරොත්තු නැති මොහොතක ආණ්ඩුවෙන් එළෙව්වේ ඇයි?

කවුරුත් නොසිතූ මොහොතක ජනාධිපතිතුමා මේ වැඩේ කළේ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අය කියන්නෙත් ඒ අය දන්නේ නැහැ ශ්‍රී ලනිපය ආණ්ඩුවෙන් ඉවත් වෙලා අගමැති විදියට මහින්ද රාජපක්‍ෂ පත් කරනකම්. පොහොට්ටුවේ අයත් දන්නේ නැහැ. මේක සිදු වෙනකම් හරියට මොකක්ද වෙන්නේ කියලා.

කවුරුත් දන්නේ නැති වුණාට වැඩේ වෙලානේ?

ඒකයි දැන් තියෙන ප්‍රශ්නය. කඩිමුඩියේ ව්‍යවස්ථාවට පටහැනිව අගමැති කෙනෙක් පත් කළාට මොකද දැන් බහුතරය හොයන්න බැරිව දඟලනවා. ඒකයි ඇත්ත.

ජනාධිපතිතුමා මේ විදියට එජාප අගමැති ඉවත් කරලා මහින්ද පත්කර ගැනීමට පෙර නීති විශාරදයන්ගෙන් විමසුවා කියනවා. එහෙම නම් කොහොමද කියන්නේ ව්‍යවස්ථා විරෝධියි කියලා?

නීතිපතිවරයෙක් එහෙම කරන්න කියා දුන්නනම් ආයෙ නීතියෙන් මතය විමසන්න ඕන වෙන්නේ නෑනේ. ලෝකයේ කිසිම රජයක් මහින්ද රාජපක්‍ෂ අගමැති කියලා පිළිගන්නේ නැහැ. ව්‍යවස්ථාව අනුව අගමැති පත්කරන්නේ කොහොමද කියලා පැහැදිලිව තියෙනවා. එතැනදී අගමැති පත්කරන්න ඕන ප්‍රතිපාදන තියෙනවා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිට බැªහැ අගමැතිවරු අයින් කරන්න. ඒක සිදු වෙන්නේ පාර්ලිමේන්තුව හරහා.

ඔබ කෙසේ කීවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මතය වන්නේ ව්‍යවස්ථාවට අනුව අගමැති පත්කළ බවයි. එය නීත්‍යනුකූල බවයි?

19 ව්‍යවස්ථාවට අනුව 42 වගන්තියේ පැහැදිලිව තියෙනවා, කොහොමද අගමැති කෙනෙක් අයින් කරන්නේ කියා. ඒ කොහේවත් නැහැ ජනාධිපතිට අගමැති අයින් කරන්න පුළුවන් කියා. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව එහෙම බලතල ජනාධිපතිට තිබුණා. නමුත් 19 වැනි සංශෝධනයේ එහෙම නැහැ.

ඔබ කියන්නේ ජනාධිපතිවරයා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන දැනුවත් නෑ කියාද?

පැහැදිලිවම.

නමුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නීති විශාරදයන් පෙන්නා දෙන්නේ මේ පත්කිරීම හරියි කියා. ඔබ වෙන කතාවක් කියනවා. ජනතාවට ඕන අගමැති අර්බුදයට හරි විසඳුමක්?

ඒක නිසා තමයි අපි කියන්නේ පාර්ලිමේන්තුව කැඳවන්න කියලා. අගමැතිකම ගත්තට බහුතරය නැහැ. පාර්ලිමේන්තුව කැඳවලා තමයි බහුතරය පෙන්වන්න ඕන. ඒකට මේ අය බයයි. පාර්ලිමේන්තුව කල් දාලා එළියේ ඉඳන් නීති තර්ක ගේනවා. බහුතර බලය නැත්නම් අපි විපක්‍ෂයට යනවා. නමුත් අපට බහුතරය තියෙනවා. අපි කියන්නේ පාර්ලිමේන්තුව කැඳවන්න එතකොට ඔය නීති තර්කවලට උත්තර ලැබෙයි.

බහුතරය එජාපයට තියෙනවාද?

ඔව්.

නමුත් අපි දවසින් දවස දකින්නේ එජාප මන්ත්‍රිවරු ගිහින් ඇමැතිකම් ගන්නවා. එතකොට කොහොමද බහුතරය පෙන්වන්නේ?

මෙහෙ අයව විවිධ වරදාන දීලා ගත්තාට ආණ්ඩුවෙන් කැඩිලා අපට කොටසක් එනවා. ඒ එන ගාණ අපෙන් යන අයට වඩා විශාල සංඛ්‍යාවක් එහෙන් එකතුවෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

බලාපොරොත්තුවක් විතරද?

බලන්නකො ඉස්සරහට මොකද වෙන්නේ කියලා.

පාර්ලිමේන්තුව ලබන 16ට පෙර කැඳවිය යුතුයි කියා ආරංචියි. කථානායකට පාර්ලිමේන්තුව කැඳවන්න බැරිද? 19 වැනි සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව කල්දාන්න බැහැ කියනවා. මොකක්ද ඇත්ත?

පාර්ලිමේන්තුව කැඳවන්න බලතල තියෙන්නේ කථානායකවරයාට. පාර්ලිමේන්තුවක් කල් තැබීම හෝ විවෘත කිරීම ගැන ජනාධිපතිට තනි තීන්දුවක් ගන්න බැහැ. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව පාර්ලිමේන්තුව කැඳවන්න, කල්දාන්න කථානායකවරයා එක්ක, අගමැතිවරයා එක්ක කතා කරලයි කළ යුත්තේ. එදා ව්‍යවස්ථාවට අනුවත් කථානායකවරයා එක්ක කතා කරලයි පාර්ලිමේන්තුව ගැන තීරණ ගන්න ඕනෑ

. 19 වැනි සංශෝධනයේ වගන්ති ගැන නොසලකා තමයි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සැසිවාරය කල් දැම්මේ. අගමැතිවරයාගෙන් හෝ කථානායකවරයාගෙන් නොවිමසා පාර්ලිමේන්තුව කල් තැබීමත් ව්‍යවස්ථා විරෝධියි. මේ නිසා කථානායකවරයාට බලය තියෙනවා ඉදිරි දින කිහිපයේදී පාර්ලිමේන්තුව කැඳවන්න. පාර්ලිමේන්තුව නියෝජනය කරන අපේ මන්ත්‍රිවරු, අනෙකුත් පක්‍ෂවලා මන්ත්‍රිවරු, පක්‍ෂ නායකයෝ දැනුවත් කරල ලිපියක් දීලා තියෙනවා කථානායකට පාර්ලිමේන්තුව කැඳවන්න කියලා.

ඒ කියන්නේ කථානායකවරයාට සම්පූර්ණ බලය තියෙනවා කියන එකද?

ඔව්, කථානායකවරයාට සම්පූර්ණ බලය තියෙනවා. මොකද මේක නීතිමය වශයෙන් පාර්ලිමේන්තුව කල් තැබීමක් නොවෙයි.

2015 බලයට ආවේ ජනාධිපති සතු විධායක බලය අඩු කරන්න. පාර්ලිමේන්තුවට වග කියන්න. නමුත් ව්‍යවස්ථා සංශෝධන කළත් ජනතාව බලාපොරොත්තු වූ කාරණා ඉටුවෙලා නැහැ. ඒකට එජාපයත් වගකියන්න ඕනෑ?

අපි සංශෝධන ගෙනත් අවශ්‍ය පසුබිම දැම්මා. 20 වැනි සංශෝධනය ගේන්න හැදුවා. නමුත් ඒකට සහායක් ලැබුණේ නැහැ. ඒ වෙනුවට ලැබුණේ කකුලෙන් ඇදීමක් විතරයි. ජනාධිපතිවරයා බලයට ආවේ ඒකාධිපති ව්‍යවස්ථාව අහෝසි කරනවා, විධායක බලය සම්පූර්ණයෙන්ම අයින් කරනවා කියා. එතුමා සෝභිත හාමුදුරුවන්ගේ දේහය ඉදිරිපිටත් ඔය කතාව කිව්වා. එහෙම කියපු කෙනෙක් බලය පාවිච්චි කළ විදිය සදාචාර විරෝධියි. රනිල් වික්‍රමසිංහ අගමැතිකමෙන් අයින් කරන්න ඕන නම් ජනාධිපතිතුමාට ව්‍යවස්ථාවට අනුව නීතියට අනුව කරන්න ඕන තරම් ඉඩකඩ තිබුණා. නමුත් කළේ වෙනත් දෙයක්.

ජනාධිපතිවරයා, හිටපු ආරක්‍ෂක ලේකම් සහ හිටපු ජනාධිපති ඝාතන සැලැසුමක් පසුගියදා දැනගන්න ලැබුණා. නාමල් කුමාරගේ ප්‍රකාශ සමඟ පොලිසිය ජනාධිපති ඝාතනයේ තොරතුරු සොයාගෙන තිබුණා. මේ නිසා නේද අගමැති අර්බුද ඇතිවුණේ?

කවුද ඔය නාමල් කුමාර කියන්නේ?

නිර්ධන පන්තියේ ඉන්න නන්නත්තාර වෙච්ච මිනිහෙක්. ලුන්පන්ලා වගේ. මේ කතාව කියන්නේ කවුද පොලිස් ඔත්තුකාරයෙක්. සල්ලිවලට පොලිසියට ඔත්තු දීලා තමන්ගේම මිනිස්සු පාවා දීලා සල්ලි හම්බ කළ මිනිහෙක්. ඔය ගැන හඬපට එකසිය විසිහතරක් තිබෙනවා. නාලක සිල්වා සහ පොලිස් ඔත්තුකරුවා අතර ඒ හඬපට එකසිය විසි හතරෙන් එකසිය විසි තුනක් රස පරීක්‍ෂක විසින් නිවැරැදියි කියා හඳුනාගෙන තියෙනවා. ඒ හඬපට එකසිය විසිහතරම ගත්තත් ඒ එක හඬපටයකවත් ඝාතන සැලසුමක් ගැන කතා කරන්නේ නැහැ. ඒ එක තැනකවත් නාමල් කුමාර කියන කතාව නැහැ.

එක තැනක තියෙනවා අපි අගමැතිතුමාව උස්සලා තියන්න ඕන කියලා. ඒකේ කවුරුත් ඝාතන කිරීමක් ගැන නැහැ. නාලක ද සිල්වාගේ අභිලාෂය වෙලා තිබ්බේ පොලිස්පති වෙන්න. ඒක නිසා ඒ වෙනුවෙන් කියපු දෙයක්. එහෙම නැතිව එම හඬපටවල ඝාතන සැලැස්මක් නැහැ.

නීතිපතිවරයාගෙන් කථානායකවරයා ඊමේල් පණිවුඩයක් යොමුකරලා විමසා තිබුණා අගමැති පත් කිරීම නීත්‍යනුකූලද කියා. එහිදී වැඩබලන නීතිපතිවරයා එවූ ඊමෙල් පණිවුඩයට මහින්ද සමරසිංහ මහතා මාධ්‍ය හමුවේ කියා තිබුණේ වැඩබලන නීතිපතිත් කියා තිබුණේ මේ පත්වීම නීතියට අනුව සිදුවුණා කියායි. මහින්ද සමරසිංහ කියා සිටියේ. එහෙම නම් දැන් විපක්‍ෂයට යන එක නේද කළ යුත්තේ?

නැහැ! ඒ කතාව වැරැදියි. මේ ගැන නීතිපතිවරයා ජනාධිපතිවරයාට කියනවා තීන්දුවක් ගැනීමට පෙර ජනාධිපතිවරයා නීතිපතිවරයාගෙන් විමසා බැලිය යුතුයි කියා. නීතිපති කියන්නේ අපෙන් අහන්නේ නැතිව කරලා ඉවර වෙලා එසේ නීතිය කොහොමද කියලා අහනකොට ඒකට උත්තර දෙන්නේ කොහොමද කියා නීතිපතිවරයා නියම නීතිය පෙන්නුවොත් ඒක ජනාධිපතිවරයාට විරුද්ධව යනවා. එතකොට කොහොමද අපි ඒක පෙන්වන්නේ කියා. ඒ නිසා නීතිපතිවරයා කියනවා 41 වගන්තියට යොමු කරන්න කියා.

41 වගන්තියට අනුව ප්‍රශ්නයට උත්තරේ පාර්ලිමේන්තුව විසුරුවන එකද?

ඔව් එහෙම තමා නීතිපතිවරයා පෙන්නා දී තිබෙන්නේ. 41 වගන්තිය හරහා කියන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හරින ක්‍රමයයි. ඒකට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මේ ප්‍රතිපාදනය කියවා බලන්න කියායි නීතිපති දන්වලා එව්වේ. ඒක කියෙව්වාම ඕන අයකුට තේරෙනවා මොකද්ද කියලා. නීතිපති දැන් මේ ප්‍රශ්නයට උත්තරයක් දෙන්නේ නැහැ. දීලා වැඩක් නැති නිසා.

නීතිපති ස්වාධීන නම් ඇත්ත කියන එක නේද වටින්නේ?

ඇත්ත. දැන් නීතිපතිට එහෙම කියන්න බැරි වෙලා. ඔහු රජයේ සේවකයෙක්. නීතිපතිවරයා දෙන තීන්දුව මත යම්හෙයකින් මේ කාරණව උසාවියට ගියොත් ඔහුට වෙන ස්ථාවරයකට යන්න බැහැ. ආණ්ඩුව වැරැද්දක් කළෙත් ඒ වැරැද්ද ආරක්ෂා කිරීමට තමයි ඔහු ඉන්නේ නීතිපතිවරයා විදියට. කථානායකවරයාට හරි තීන්දුවක් නීතිපති දෙන්නේ නැත්තේ ඒකයි. මොකද එම තීන්දුව උසාවියේ දෙන නීති තර්කත් එක්ක ගැටෙන්න පුළුවන්.

පාර්ලිමේන්තුව කල් දීලා ව්‍යවස්ථා විරෝධීව අගමැති පත් කළා නම් ඇයි නීති මාර්ගයට යොමු වෙන්නේ නැත්තේ? උසාවි ගියොත් එජාපය පරදින බයට නේද එහෙම වෙන්නේ. ජනතාව අතර මතය එහෙමයි තියෙන්නේ?

හොඳම නීතිය තියෙන්නේ පාර්ලිමේන්තුවේ. නීතිය පාර්ලිමේන්තුවේ තියෙන්නේ ව්‍යවස්ථා දායකය සහ අධිකරණ ක්‍රියාමාර්ගයයි දෙකම. ඒ නිසා පාර්ලිමේන්තුව තමයි උඩින්ම ඉන්නේ. පාර්ලිමේන්තුව තමයි නීති සම්පාදනය කරන්නේ. ඒ නිසා පාර්ලිමේන්තුව තමයි මේ නීතිය ගැන කතා කරන්න තියෙන හොඳම තැන. ඒක නිසා තමයි අපි කියන්නේ පාර්ලිමේන්තුව කැඳවන්න කියලා.

ඔබ හා ජනාධිපතිවරයා අතර ලොකු විශ්වාසයක් තිබ්බා. ඔබෙන් තොරතුරු විමසලා තමයි සමහර තීන්දු ගන්නේ. මේ තීන්දුව ගැන ඔබට කිව්වෙත් නැද්ද?

එතුමා මගෙන් තොරතුරු විමසූ කාල පරිච්ඡේදයක් තිබුණා. ඒ කාලයේදී ජනාධිපතිතුමා ගත් තීන්දු තීරණවලට මුළු ලංකාවේම ජන ප්‍රසාදයක් ලැබුණා. විදේශයේ ජනප්‍රසාදය ලැබුණා. පසුගිය කාලය වන විට ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා විදියට ක්‍රියා කළා. ඔහු ළං කර ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය. ඒවත් එක්කයි ජනාධිපතිතුමා වැඩ කළේ. මේ නිසා ජනාධිපතිතුමාගේ ප්‍රතිරූපය කඩා වැටුණා. එතැන හිටපු කිසි කෙනකුට යහපාලනය ගැන අවබෝධයක් නැහැ. යහපාලනයට සම්බන්ධ වූ අය එතැන නැහැ. එතැන ඉන්න සමහර දඩ්බර අයගේ මතයට තීන්දු තීරණ ගන්න ගියාම අවසානයේ සිදුවන්නේ මේකයි. එතුමාට ඒ තැන ඉඳගෙන බැහැ මගෙත් එක්ක කතා කරලා තීන්දුවක් ගන්න.

2019 ජනාධිපති අපේක්ෂකත්වය ගැන ජනාධිපතිවරයා බලාපොරොත්තු වන නිසාද මෙහෙම වුණේ? දේශපාලන කරළියේ ඒ ගැනත් කතා වෙනවා.

එහෙම අවබෝධයක් හරි එවැනි බලාපොරොත්තුවන් හරි තිබුණේ නැහැ. අපි දෙගොල්ලෝ එකතු වෙලා තරග කරනවා නම් හොඳ අපේක්ෂකයෙක් එනවා නම් මම ලෑස්තියි එයාට සහාය දෙන්න කිව්වා. නමුත් ජනාධිපතිවරයාව ශ්‍රී ලනිපයේ අය වැරැදි පාරට ඇදලා ගත්තා. එදා මුළු ලෝකයම මෛත්‍රිට ගරු කළා. ජී-7 රැස්වීමට ජනාධිපතිවරයා සහභාගි වුණා. ජී-7 කියන්නේ ලෝකයේ ඉන්න ප්‍රධානම නායකයෝ රැස්වෙන සමුළුව. මේ නායකයෝ ටික ජනාධිපතිවරයාගේ පුටුව ළඟට ඇවිත් කතා කළා.

නමුත් අද මුළු ලෝකයම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ගත්ත තීරණය හෙළා දකිනවා. බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුව පවා කියන්නේ තවමත් අගමැති විදියට පිළිගන්නේ රනිල් වික්‍රමසිංහ මහතා කියලයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ ක්‍රියාමාර්ගය හෙළා දකිනවා. අද වන විට ජනාධිපතිතුමා ගත් තීරණය පිළිගන්න රටක් නැහැ. නව අගමැතිවරයා පිළිගන්න එක රටක් නැහැ. නව කැබිනට් එක පිළිගන්නේ නැහැ. මේ අය බලය ගන්න මේ රටේ බලපරාක්‍රමය පාවිච්චි කළාට ඒක හරියන්නේ නැහැ.

පාර්ලිමේන්තුව කැඳවලා බලය පෙන්නපු පසු අය-වැය ඉදිරිපත් කරලා එය පරාජය කර ආණ්ඩුව විසුරුවා හැරීමට සූදානමක් පවතින බව ආරංචියි. ඒක ඇත්තද?

මේ වෙලාවේ ආණ්ඩුව විසුරුවන එකයි වැදගත්. තීන්දුවකට එන්න බැරි නම් බලෙන් ආණ්ඩු කරන්න දෙන්න බැහැ. ඒ නිසා හැමෝගේම එකඟතාව මත ජන්දයකට යන්නයි ඕන. අද වන විට මුළු එජාප පාක්ෂිකයන්ම එජාපය වටා එක්වෙලා ඉවරයි. ඔවුන් පත්කළ ජනාධිපතිවරයා ඔවුන්ට ද්‍රෝහි වුණා කියලා එජාපය වටා හැමෝම එකතු වෙනවා. මේ නිසා ශ්‍රී ලනිපය තමන්ගේ ඡන්දත් දැන් නැති කරගෙන. එජාප පාක්ෂිකයා කවදාවත් නැතිව එජාපය වටා එක්වෙනවා. මෛත්‍රිපාල සිරිසේන මහත්තයා එජාපයට කළ විශාලම සේවාව තමයි ඔය කළේ.

බහුතරය පෙන්නා අලුත් අගමැති බලය ගත්තොත් එජාපයට විපක්ෂ නායකකමත් නැතිවෙන තැනට පත්වෙනවා කියලා මත ප්‍රකාශ වෙනවා? මොකක්ද ඒ ගැන කියන්නේ?

එයාට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්න බැහැ. බහුතරය තිබ්බා නම් මේ අය කලින්ම පාර්ලිමේන්තුව විසුරුවලා.

රනිල් වික්‍රමසිංහ මහතා බහුතරය පෙන්නුවොත් අගමැති ඔහුද?

අනිවාර්යෙන්ම.

බහුතරය පෙන්නුවත් අගමැතිකම දෙන්නේ නැහැ කියාල විජයදාස රාජපක්ෂ ඇමැතිතුමා කියනවා. එතකොට මොකද වෙන්නේ?

දුන්නේ නැත්නම් ඒක ඒ වෙලාවට බලාගමු. ව්‍යවස්ථාවට පිටින් කාටවත් වැඩ කරන්න බෑනේ. ඔවුන්ට කරන්න පුළුවන් එකම දේ තමයි කරලා තියෙන්නේ. පාර්ලිමේන්තු සැසිවාරය කල් දාලා එතැනින් එහාට කරන්න කිසි දෙයක් නැහැ.

ජාතික ආණ්ඩුවක් හදන්න නැවත කතා කළා සාර්ථක වෙයිද?

ගොඩාක් අය එකඟයි. වැඩේ සාර්ථක කර ගන්න පුළුවන්.

ගොඩක් අය හිටියා නම් ශ්‍රී ලනිපයට වෙනම ආරාධනයක් ඇයි?

ශ්‍රී ලනිපයේ ගොඩක් අය ඉන්නවා එකට වැඩ කරන්න. අපි ඔවුන්ට විවෘත ආරාධනාවක් කළේ ඒකයි.

ජාතික ආණ්ඩු හදලා බලය ගිලිහිලා තවත් ලැජ්ජා නැතිව ජාතික ආණ්ඩු හදන්න කතා කරන්නේ ඇයි?

අපි නෙවෙයි ජාතික ආණ්ඩුවෙන් ඉවත් වුණේ ශ්‍රී ලනිපය. ඉතින් ඒ අයට අපි නැවත විවෘත ආරාධනාවක් කළා. පසුගිය ජාතික ආණ්ඩුවේ වුණු වැරැදි තේරුම් අරගෙන ක්‍රමවේදයකටයි සැලසුමකටයි වැඩ කරන්න ආරාධනා කරන්නේ.

අගමැති හටනේ අන්තිමට මොකක් වෙයිද? කවුද දිනන්නේ කියා බලන්න වෙන්නේ කාටද?

අපි වැඩ කළේ ව්‍යවස්ථාවක් යටතේ. ඒ ව්‍යවස්ථාව අනුවයි අපි සටන ගෙන යන්නේ. ඒ සටන අපි දිනනවා. මේකට ශ්‍රී ලනිපයේ ගොඩක් අය එකතු වෙනවා. අනික් අය සල්ලි දීලා තනතුරු දීලා ගත්තාට ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. ඒක මුළු ලංකාවම දන්නවා. මේ අය යන්නේ මොකටද කියලා. ඒක නිසා ව්‍යවස්ථා විරෝධීව පත් කළ අගමැති පරාජය කරලා ව්‍යවස්ථාවට අනුව ජනතා කැමැත්ත අනුව පත්වුණු අගමැති ආරක්ෂා කරන්නයි අපි මේ සටන ගෙනියන්නේ. ඒ සටන අපි දිනනවා.

ප්‍රගීත් සම්පත් කරුණාතිලක

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress