ශ්‍රී ලංකාව තුල යුක්රේන මොඩලයේ බල හුවමාරුවක් ගෙන ඒමට විදෙස් ඔත්තු සේවා විසින් ක්‍රියා කරනු ඇත්ද?
Posted on November 17th, 2018

 

KEERTHI GODAYAYA

බලවත් රටවල් විසින් තමුන්ට රිසි පරිදි රටවල් සූරා කෑම සඳහා අවශ්‍ය පාලකයින් තුන්වන ලෝකයේ  විවිධ රටවල් සඳහා පත් කර ගැනීමත් ඔවුන් ලවා තම යුධෝපායත්මක, දේශපාලන හා ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරවා ගැනීමත් දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇතිවන ගෝලීය දේශපාලන සංස්කෘතියේ ප්‍රධානතම ලක්ෂණයක් බව අවිවාදයෙන් පිළිගතයුතු කරුණකි.

තමන්ට රිසි නොවන  දේශපාලන නායකයින් කෙලින්ම ඝාතනය කිරීමට අමතරව, යුධ හමුදා කුමන්ත්‍රණ, ජනතා නියෝජිතයින් අල්ලසින් මිලට ගැනීම්, වර්ණ විප්ලව, ලිබියානු මොඩලය, සිරියානු මොඩලය හා යුක්රේන මොඩලය වශයෙන් නේකවිධ ක්‍රමවේද රාශියක් තුන්වන ලෝකයේ ආණ්ඩු පෙරලීමටත්, බලවත් ජාතීන්ට  ගැති ආණ්ඩු එමරටවල පිහිටුවීමටත් බටහිර බලවත් රටවල් විසින් අත්හදා බලා ක්‍රියාවට යොදවා ඇත. ශ්‍රී ලංකාව තුල මෙම කාර්යය ඉන්දියාව ලවා කරවා ගැනීමට බටහිර බලවතුන් ක්‍රියාත්මක වනු ඇත්ද?

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන අර්බුධය හමුවේ ඉහතකී මොඩල වලින් ක්‍රියාත්මක කිරීමේ ශක්‍යතාවය ඇති මොඩල කීයක් බටහිර රටවල් හා අසල්වැසි ඉන්දියාව සතුව පවතීද? මීට පිළිතුරු සෙවීමට පෙර ශ්‍රී ලංකාවේ දැනට පවතින අර්බුදයේ පසුබිම තේරුම් ගැනීමට උත්සාහ කරමු.

තත්කාලීන ව්‍යවස්ථාම අර්බුධය තව දුරටත් තීව්‍ර වන්නේ කථා නායක තුමා විසින් ව්‍යවස්ථාපිත නීති හෝ ස්ථාවර නොයෝග නොතකා නීතිය සියතට ගැනීම තුලය. අධිකරණයේ තීන්දුව එනතෙක් ඉවසීමෙන් කටයුතු කලානම් මෙය වලක්වා ගත හැකිව පැවතිනි. කතා නායක තුමාගේ හැසිරීම වගකීමෙන් තොර යැයි අපට කිව හැක්කේ මක් නිසාද?

උදාහරණයක් ලෙස ගතහොත්, කිසියම් ගොඩනැගිල්ලක් ඉඳි  කරනවිට ඊට එරෙහි යම් පාර්ශවයක් අධිකරණයෙන් තහනම් නියෝගයක් ලබා ගතහොත් සිදුවන්නේ එම ගොඩනැගිල්ල තවදුරටත් ඉඳිකිරීම නඩු තීන්දුව දෙනතෙක් අත්හිටුවීම විනා එම තහනම් නියෝගය වැරදි ලෙස අර්ථකථනය කොට හැදෙමින් පවතී ගොඩනැගිල්ල බිමට සමතලා කිරීමට බලපත්‍රයක් ලෙස යොදාගැනීම නොවේ. ශ්‍රේෂ්ටාධිකරණය පවසා ඇත්තේ ආණ්ඩුව විසුරුවීම නීත්යානුකුලද නැද්ද යන්න තීරණය වන තෙක් පාර්ලිමේන්තුව විසිරවීමේ නියෝගය බල පවත්වන්නේ නැති බව පමණි. අධිකරණයේ අවධානයට ලක් වන්නේ පාර්ලිමේන්තුව විසුරුවීම පිළිබඳව පමණි. එසේ නැතිව රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැති ධුරය හෝ ඔහුගේ කැබිනට්ටුව පිළිබඳව නොවේ. එයින් බල රහිත වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව ස්වයන්ක්‍රීයව  නැවත බලයට පත් වන්නේ නැත. මන්දයත්, නව ආණ්ඩුවක් ජනාධිපති තුමා විසින් පත්කොට තිබෙන නිසාවෙනි.

මෙවැනි අර්බුධකාරී මොහොතක වගකීමක් සහිත කතා නායක වරයෙකුගේ වගකීම විය යුත්තේ අධිකරණ තීන්දුව එනතෙක් පාර්ලිමේන්තුව රැස් නොකොට මේ ක්‍රියාදාමයට අවශ්‍ය කාලය ලභාදීමයි. වත්මන් කතා නායක වරයා පාර්ලිමේන්තුව නැවත කැඳවන විට, එම කැඳවීම තුලින් මෙවන් ගැටුම්කාරී තත්වයක් ඇති වන බව දැනසිටියේම නැත්තද? ස්බවින්ම ඔහු එය දැනසිටි බව අපගේ වැටහීමයි. ඔහු එය දන සිටියා පමණක් නොව, එහි අශෝභන, අශික්ෂිත ප්‍රතිපල නැරඹීමට බටහිර තානාපති වරුනට හා එක්සත් ජාතීන්ගේ සංවිධානයටද ඔහු ආරාධනා කර තිබුනේය. එපමණක් නොව, බටහිර තානාපති නිලධාරීන් අත්පොලසන් දෙමින් ප්‍රතික්‍රියා දක්වන වීඩියෝ පට ජනමාධ්‍ය සතුව ඇතැයිද ප්‍රකාශ විය. එයින් හැංගී යන්නේ, අප කතානායක තුමා මේ රඟපෑ ජංජාලය එතුමා රඟපා තිබෙන්නේ බටහිර තානාපතිවරුන් නමැති ගැලරිය සඳහා බව නොවේද?

ව්‍යවස්තාවට අනුව විධායක බලය හිමි ජනාධිපති තුමාත් සහ පාර්ලිමේන්තුවේ ප්‍රධානියා වන කතානායක තුමාත් අතර නිර්මාණය වී ඇති බල අරගලය අතිශය බිහිසුණු ලේ වැගිරීමක් දක්වා වර්ධනය කිරීම UNP හා JVP නායකත්වයේ හා ඊට අනුබල දෙන විදේශීය බලවේග වල අවශ්‍යතාව බව ඉතා පැහැදිලිය.

ලබන 7 වැනි දින අධිකරණය විසින් දෙනු ලබන තීන්දුව කුමක් වුවද, වත්මන් ජනාධිපති සහ පැවතී UNP රජය සමග සාම්‍යයක් ඇති වෙතයි අපේක්ෂා කල නොහැක. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපති සතුව බලතල ඇති බව අධිකරණය තීරණය කළහොත් තත්වය යහපත් වෙතැයි අපේක්ෂා කල හැකි වුවද, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයක් ඔහු සතුව නැතැයි  අධිකරණය විසින් තීන්දු කළහොත් තත්වය වඩාත් බරපතල වීමේ සියලු නිමිති පහල වී තිබේ. දැන් අපි බලමු මෙවන් SCENARIO වක් තුල ක්‍රියාත්මක විය හැකි අනෙකුත් බලවේග හා ප්‍රවණතා මොනවාද කියා.

දේශ පාලන නායකයින් ඝාතනය

මෙම ක්‍රමවේදය පිලිබඳ ඇති අවධානම අතිශය විශාලය. රටේ ආණ්ඩු පක්ෂයේ හෝ විපක්ෂයේ දේශපාලන නායකයන් ඝාතන හරහා නිර්මාණයවන සිවිල් නොසන්සුන්තා තුලින් විදේශ හමුදා රට තුලට ගෙනවිත් විශාල ප්‍රමාණයේ ජන්ඝාතනයකට මුල පුරවා ගැනීම මේ තුලින් සිදු විය හැක. මේ සඳහා අවශ්‍ය නීතිමය ආවරණයකට අවශ්‍ය වන ආරාධනය මේ වන විටත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විදේශ රටවල තානාපති වරුන් වෙත යවා ඇති බව දිනේෂ් ගුනවර්දන මැති තුමා විසින් හෙළි කොට තිබිණි.

යුධ හමුදා කුමන්ත්‍රණයකට මග පැදීම

ශ්‍රී ලංකාවේ වාසනාවට අප සතුව තිබෙන්නේ බටහිරට ඕන ඕන තාලයට නැටවියහැකි යුධ හමුදාවක් නොවේ. ඊලාම් යුද්ධයට පෙර අපසතුව තිබුනේ එවන් යුධ හමුදාවක් වුවද, දැන් තිබෙන්නේ ඉතාමත්ම විනය ගරුක යුධ හමුදාවක් බව බහුතරයකගේ වැටහීමයි. එත් රටෙහි අස්ථාවරත්වය දිගටම පැවතුනහොත් වෙනත් විකල්පයක් නැති බැවින් හමුදාව බලය අත්පත් කරගැනීමට ඇති ඉඩකඩ සියයට සියයක් බැහැරකළ හැකි නොවේ. 

ජනතා නියෝජිතයින් මිලට ගැනීම

මෙම ක්‍රමවේදය මේ වන විටත් ක්‍රියාත්මක වෙන බව විවිධ පාර්ශව වලින් ප්‍රකාශ විය. වැඩිම ලන්සුවට විකිනෙන ජනතා නියෝජිතයින්ගෙන් අඩුවක් නැති ශ්‍රී ලංකා දේශපාලන පොරපිටියේ වැඩිම ලන්සුව ඉදිරිපත් කිරීමේ මුල්‍යමය හැකියාව ඇත්තේ බටහිර රටවල් නියෝජනය වන පාර්ශවයටය. එබැවින් විදේශයන්ගෙන් ගලා එන ඩොලර් මිලියන ගනනින් රට තුල සංසරණය වන බව ජනමාධ්‍යට වාර්තා වී පැවතිනි.  

ලිබියානු හා සිරියානු මොඩලය

ලිබියානු මොඩලය හෝ සිරියානු මොඩලය ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක කෙරෙනු ඇතැයි සිතිය නොහැක්කේ එවන් මැදිහත්වීමකට අවශ්‍ය සාධක ශ්‍රී ලංකාවේ සැපිරී නොමැති නිසාවෙනි. අද වන විට ලිබියාවේ හෝ සිරියාවේ මෙන් බටහිර ජනමාධ්‍යය විසින් නිර්මාණය කරන ලද ඒකාධිපති පාලකයෙකු හෝ එවන් පාලකයෙකුට එරෙහිව සටන් කල හැකි සන්නද්ධ කණ්ඩායම් නොමැත. බටහිරට හෝ ඉන්දියාවට ආයුධ සැපයිය හැක්කේ එවන් සන්නද්ධ කණ්ඩායම් සිටීනම් පමණි. පසුගිය රාජපක්ෂ රජයට පින්සිදුවන්නට, වාසනාවකට එවන් සන්නද්ධ කණ්ඩායම් ශ්‍රී ලංකාව තුල නොමැත. එහෙත් යුක්රේනියානු මොඩලය ඊට වඩා වෙනස්ය. යුක්රේනියානු මොඩලයට අවශ්‍ය වාස්තවික තත්වය ශ්‍රී ලංකාව තුල නිර්මාණය වී තිබේද?

වර්ණ විප්ලව (COLOR REVOLUTIONS) හා යුක්රේනියානු මොඩලය

සැබවින්ම යුක්රේනියානු මොඩලයට අවශ්‍ය වාස්තවික තත්වය ශ්‍රී ලංකාව තුල නිර්මාණය වී තිබේ. මෙම ප්‍රවණතාවයට බොහෝ ඉඩකඩ හා අවශ්‍ය පසුබිම UNP දේශපාලකයින් විසින් නිර්මාණය කරදී තිබේ. පවත්නා අර්බුධය තුල ඇති අවධානම වන්නේ, බලවත් විදෙස්  ඔත්තු සේවා විසින් යුක්රේන මොඩලයේ බල හුවමාරුවක් ඇති කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරාවිද යන සැකය යි.

ලිප්ටන් වට රවුමේ පැවති ජන රැලියේදී UNP දේශපාලකයින්ගේ ප්‍රකාශ වලින් හෙළි වුයේ ඔවුන් තම පාක්ෂිකයින් වීදි බැස්වීමට වුවද සුදානමින් සිටින බවය. කෙසේ වුවද, එක්සත් ජාතික පක්ෂයට හෝ ජනතා විමුක්ති පෙරමුණට බහුතර ජන බලයක් නොමැති බව පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් හෙළිවිය. එසේ බෙදී ඇති ජන බලයේ බහුතර ජන බලය ඇත්තේ මොන පාර්ශවය වෙත දැයි උරගා බැලීමට සුදුසුම ආකාරය වන්නේ මහා මැති වාරණයක් වුවත්, විරුද්ධ පක්ෂය ඊට එකඟ වන බවක් පෙනෙන්නට නොමැත. ඊට හේතුව වන්නේ, ජවිපෙ හා එජාප දේශපාලකයන් තමුන් මැතිවරණයකින් පරාජය වන බව හොඳින් දන්නා නිසාය.

දැන් ඔවුන් සතුව ඇති එකම දේශපාලන උපාය වී ඇත්තේ ගිලිහුණු දේශපාලන බලය, නැතහොත් ආණ්ඩු බලය විදෙශීය මැදිහත් වීමකින් නැවත තමන් සන්තක කර ගැනීමය. ජවිපෙ මෙය නොදන්නෙහිද? නැත ඔවුන් මෙය මුග්ධ එජාප පාක්ෂිකයනට වඩා හොඳින් දනිති. ඔවුන්ද මැතිවරණයකින් ඔවුනට නැතිවී යාහැකි පාර්ලිමේන්තු ආසන රක ගැනීමට බලාපොරොත්තු වන්නේ විදේශ ඇත පෙවීමක් මගිනි. වාමාංශික පක්ෂයක් යයි කියාගන්නා මෙම බත් බලයන්ගේ කුජීතු දේශපාලන කුණු කම මෙයින් මොනවට පැහැදිලි වේ. 

මෙම විදේශ මැදිහත්වීමේ සෙනාරිය SCENARIO ක්‍රියාත්මක විය හැක්කේ කෙසේද, ඊට අවශ්‍ය වාස්තවික මූල සාධක මොනවාද?

  1. පළමුව සිවිල් නොසන්සුන්තාවක් රටතුල නිර්මාණය විය යුතුය.
  2. එහිදී ජීවිත් හානි, ලේ වැගිරීම් සිදුවිය යුතුය.
  3. 3. මත භේදයට තුඩු දී ඇති අගමැති වරයාව බටහිර ජාතීන් විසින් නිත්‍යානුකුල අගමැති වරයා ලෙස පිළිගන්නා බැවින්, මෙම ව්‍යසනය වැළැක්වීම සඳහා ඔහුගෙන් හමුදා මැදිහත් වීමකට බටහිර රටවල් වෙත ආරාධනයක් ලැබී ඇත්නම් වඩාත් උචිතය.
  4. රට තුල නීතිය හා සාමය ක්‍රියාත්මක නොවන බව හැගී යා යුතුය
  5. පවත්නා රජයේ පැවැත්ම, නීත්‍යානුකුල බව ජාත්‍යන්තර බලවතුන් විසින් පිලි නොගන්නේ නම්, R2P (Right to Protect) මැදිහත්වීමක් පහසු වන අතර තත්වය වඩාත් භයානක විය හැක.
  6. රට තුල පවත්නා හමුදාවන්ට විදේශ හමුදා මැදිහත් වීමක් සිදු වුවහොත් පෙරලා සටන්කිරීමට අවශ්‍ය ආඥා සහ ආයුධ බලය නොමැතිව හෝ දුර්වල වී තිබුණහොත් එසේම ආක්‍රමණික හමුදාවලට දැඩි හානි සිදු නොවනු ඇති බවට විශ්වාසයක් පැවතුනහොත් එවන් මැදිහත්වීමකට ධයිර්යය සපයනු ඇත .

විදේශ හමුදා මැදිහත්වීමකට අවශ්‍ය කරනු ලබන පූර්ව කොන්දේසි එජාපය හා ජවිපෙ විසින් සපුරා ඇද්දැයි දැන් සලකා බලමු. 

  1. එජාප නායකත්වය හා ජවිපෙ ය විසින් අනිවාර්යයෙන්ම සිවිල් නොසන්සුන්තාවක් නිර්මාණය කරනු ඇති බවට ඇති ශක්‍යතාව අති බහුලය.
  2. මෙම සිවිල් නොසන්සුන්තාවයෙදී විශාල වශයෙන් ජීවිත හානි සහ දේපල හානි සිදු කරනු ඇත්තේය. එසේ සිදු කරන ලෙස මේ වන විටත් බටහිර හා ඉන්දියානු ඔත්තු සේවා අංශ වෙතින් ඒවායේ දේශීය නියෝජිතයිනට උපදෙස් දී ඇතුවාට සැකයක් නොමැත. ආරක්ෂක ඇමති සහ අණදෙන නිලධාරී ලෙස ජනාධිපති සිරිසේන මහතා මෙම නොසන්සුන්තාව මැඩ පැවැත්වීමට යාමේදී, රජයේ ආරක්ෂක අංශ වල ක්‍රියාකාරිත්වයට පරිබාහිරව, යුක්රේණයේ ස්නිපර් තුවක්කු කරුවන් යොදා විශාල වශයෙන් පොලිස් නිලධාරීන් හා විරෝධතා කරුවන් ඇතුළු ජන ඝාතනයක් සිදු කළාසේ, එවැනි ජන ඝාතනයක් කිරීම සඳහා අවශ්‍ය ඝාතකයින් මේ වන විටත් සුදානම් කර නොතිබුණහොත් එය අතිශය පුදුමයට කරුණක් වනු ඇත්තේය.

මෙලෙස රජයේ ආරක්ෂක අංශ වලට පරිබාහිරව විවිධ ඝාතක කණ්ඩායම් බටහිර න්‍යායපත්‍රයට අනුව විශාල ජන ඝාතනයක් ක්‍රියාත්මක කරනු ඇත. එසේ කරන්නේ මක් නිසාද යත්, මෙම සිවිල් නොසන්සුන්තාව විශාල ජන ඝාතනයක් ලෙස ලෝකයට හුවා දැක්වීමට බටහිර රටවලට අවශ්‍ය බැවිනි.  ඔවුනට සිය හමුදා එවීමට අවශ්‍ය දේශපාලන පසුබිම සාධාරනී කරණය කරගත හැකි වන්නේ එවිට පමණි. UNP ය කවදත් සිටියේ රටට ජාතියට ද්‍රෝහී වන න්‍යාය පත්රයකය. එහෙත් ජවිපෙය එවන් න්‍යාය පත්‍රයක සිටින බව ජනතාව දැනගත්තේ මෙවරය. අද ඔවුන් පෙනී සිටින්නේ ශ්‍රී ලංකාව යටත් විජිතයක් කරගැනීමේ බටහිර න්‍යාය පත්‍රය වෙනුවෙනි. ඔවුන්ගේ දේශපාලන සගයන් වන්නේ ඔවුන්ගේ සාමාජිකයින් දහස් ගණනින් ඝාතනය කල එජාපය හා ප්‍රා” සංවිධානයේ රාජිත සේනාරත්නය. ඔවුන්ගේ දේශපාලන උපදේශකයන් වී තිබෙන්නේ මහා ධර්ශනවාදී රනිල් වික්‍රමසිංහ උතුමාණන් වහන්සේ හා බටහිර තානාපති වරුන්ය. මෙය ජවිපෙය නොදැන ගත ක්රියාමාර්ගයක්ද? නැත එය ඔවුන් හොඳින් දන දන ගත ක්‍රියා මාර්ගයකි.

  1. බටහිර ජාතීන් විසින් නිත්‍යානුකුල අගමැති වරයා ලෙස පිළිගනු ලබන්නේ හිටපු අගමැති වික්‍රමසිංහ මහතාව බැවින්, හමුදා මැදිහත් වීමකට ඔහුගෙන් බටහිර රටවල් වෙත ආරාධනයක් ලැබී ඇත්නම් බටහිර ජාතීන්ගේ හමුදා මැදිහත්වීමට අවශ්‍ය නීත්‍යානුකුල ආවරණයක් ලැබෙන්නේය. මේ වන විටත් රනිල් වික්‍රමසිංහ මහතා විසින් එවැනි ආරාධනයක් යවා ඇති බවට පුවත් පල විය.

මෙය විශේෂ මෙන්ම අත්‍යාවශය නීතිමය ලියවිල්ලකි. එය මේ වනවිටත් රනිල් වික්‍රමසිංහ මහතා විසින් තානාපති වරුනට හා UN එකට යවා තිබේ.

  1. ස්වාධීන නොවන, පක්ෂග්‍රාහී කතානායක වරයාගේ ක්‍රියාකලාපය නිසා අද පාර්ලිමේන්තුව තුල උද්ගතව ඇති තත්වය රට තුල නීතිය සාමය ක්‍රියාත්මක නොවන බවට හොඳම සාධකයකි. නමුත් මෙය විදේශ මැදිහත්වීමකට ප්‍රමාණවත් නොවේ. මෙය මහා ලේ වැගිරීමක් දක්වා වර්ධනය විය යුතුය,
  2. පවත්නා රජය නීත්‍යානුකුල නොවන බව ජාත්‍යන්තරයට දැන්වීමට අවශ්‍ය පියවර කතානායක වරයා විසින් ගනු ලැබිණි. ඔහු රාජපක්ෂ මහතාගේ තනතුරත් එම කැබිනට්ටුවත් තමන් පිලි නොගන්නා බව විදේශ තානාපති වරුන් අභිමුව ප්‍රකාශ කල අතර, ඉතාම බරපතල ලෙස පාර්ලිමේන්තු සම්ප්‍රධායන් හා ස්ථාවර නියෝග උල්ලංඝනය කරමින් විශ්වාස භංග යෝජනාවක් සම්මත කර ගන්නා ලදී. විදේශ හමුදා මැදිහත් වීමකදී මෙම කරුණ අතිශය වැදගත් කරුණක් බව සැලකිය යුතුය.
  3. රට තුල පවත්නා හමුදාවන්ට මෙවන් විදේශීය ආක්‍රමණයක් වලකා ලිය හැකිද? ඔවුන්ට අවම වශයෙන් සතියක් හෝ දෙකක් එවන් සටනක් පවත්වා ගෙනයා හැකිද? ඔවුන්ගේ ආයුධ ශක්තිය ප්‍රමාණවත්ද? වික්‍රමසිංහ පාර්ශවයේ සිටින හිටපු හමුදාපතිට පක්ෂපාතී කොටස් කොපමණද? යන කරුණු අප නොදන්නා සාධකයන්ය. අප දන්නා කරුණු වන්නේ හමුදාවන්ගේ ආයුධ ශක්තිය හීන කිරීමේ කුමන්ත්‍රණක කොටසක් ලෙස ඔවුන්ගේ අවි ගබඩා විනාශ කල බව ය. ඔවුන්ගේ ඔත්තු සේවා අංශ දුරවල කොට විනාශ කල බවය. ඔවුන්ගේ සංග්‍රාම පරිනත (BATTLE HARDENED) නිලධාරීන් වීශ්රාම ගැන්වූ බවය. වත්මන් හමුදාව 2015 සිටි හමුදාව නොවන බවත් ඔවුන්ගේ චිත්ත ධය්ර්යය හීන කල හැකි සියලු දේ සිදුකල බවත් අපි දනිමු.

අපගේ හමුදාවනට මෙලෙස එන ආක්‍රමණික හමුදාවනට දැරිය නොහැකි තරම් හානි පැමිණවීමේ හැකියාවක් තිබේද? මෙවන් හානි පැමිණවිය හැකි නම්, ආක්‍රමණිකයාගේ රට තුල ඇතිවන ජනතා විරෝධය ශ්‍රී ලංකාවේ වාසියට යොදාගත හැකි වෙනු ඇත. එබැවින් ඔවුනට කල හැක්කේ කුමක්ද යන්න අප සතු අනුමානයක් පමණි.

——————————

දැනට ජාත්‍යන්තර ජනමාද්‍යය තුල ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුධය අර්ථකථනය වී ඇත්තේ ජනාධිපති සිරිසේන මහතා විසින් නීති විරෝධී ලෙස අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා ඉවත්කොට සුළුතරයක් සහිත මහින්ද එරජපක්ෂ මහතාට බලය ලබා දුන් බවකි. මෙය ව්‍යවස්ථා විරෝධීව සිදුකල බව ප්‍රධාන පෙලේ බටහිර හා ජාත්‍යන්තර ජනමාධ්‍ය විසින් වාර්තා කර තිබේ. මේ  පිළිබඳව ඉදිරිපත්කොට ඇති අර්ථ කථනය හා විවරණය (EXPLANTION ) ශ්‍රී ලංකාවට, ජනාධිපති තුමාට හෝ රාජපක්ෂ මහතාට වාසිදායක නැත. මෙවන් විවරණයකින් වික්‍රමසිංහ මහතා හා ඔහුගේ කැබිනට්ටුව විශාල දේශපාලන අසාධාරණයකට ලක්ව අසරණව ඇති බව (VICTIMOLOGY) ලෝකය ඉදිරියේ නිරුපනය කොට ඇත. මේ අනුව විදෙස් හමුදාවක් එන්නේ අසාධාරණයක් සාධාරණය කිරීමටය. මෙම අසාධාරණය සාධාරණ කිරීමට ශ්‍රී ලංකා ජනතාවට හැකි බවත්, එය චන්න්දය මගින් ඔවුනට කල හැකි බවත් ඔවුනට වැදගත් නැත. ඔවුනට වැදගත් වන්නේ රනිල් වික්‍රමසිංහත්, කරු ජයසූරියත්, අනුර දිසානායක, විජිත හේරත් යන අයවලුන් විදේශීය බලවේග වලට අවශ්‍ය සියලු සාධක සපයා දී තිබීමය.

එජාපය හා ජවිපෙ විසින් බටහිර බලවතුනට ඉහත කී සාධක සපයා දී ඇත්නම් ඔවුන් හමුදාමය මැදිහත්වීමක් කිරීමට මැලි නොවනු ඇත. සැබවින්ම එජාපය සහ ජවිපෙ ය විසින් ඉහත කී බොහොමයක් සාධක සපයා දී හමාරය. දැන් ඔවුනට ඉතිරිව ඇත්තේ විශාල ලේ වැගිරීමකට පාර කැපීම පමණි..

KEERTHI GODAYAYA

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress