තානාපති සේවය නමැති අන්තර්ජාතික වාතය
Posted on November 18th, 2018

උපුටා ගැන්ම දිවයින

ඇමරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් හැමදාමත් කියන පරිදි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් නූතන ලෝකයට වැඩක් නැත. අප ඔහුගේ අදහසට එකඟ වන්නේ පහත පදනම මතය; එක්සත් ජාතීන්ගේ සංවිධානය අවුරුද්දකට වරක් ඇමරිකාවේදී රැස්වෙයි. මේ රැස්වීම සඳහාත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැවැත්ම සඳහාත් අවුරුද්දකට ඩොලර් බිලියන ගණනාවක් සාමාජික ගාස්තු වශයෙන් වැය කරන්නට සාමාජික රටවලට සිදුවෙයි. එහෙත් එසේ වැය කරන සල්ලි ඒ ඒ රටවල් සන්තකයේ තිබිණි නම් හදිසියකදී ඒ රටේ ජනතාවට ඒ සල්ලිවලින් කිසියම් ප‍්‍රයෝජනයක් අත්වෙයි. ගංවතුරකදී රටේ ළමයින්ට බිස්කට් බෙදා දීමට හැකි වෙයි. වාර්ෂිකව රැකියා අවස්ථා දහසක් සඳහා මූලධනය ඇති කිරීමට පුළුවන් වෙයි. අවුරුද්දකට අලූත් රෝහල් දෙකක් හෝ වැඩි ගණනක් ඇති කිරීමටත් තිබෙන රෝහල් දහසක් පමණ සුපිරි මට්ටමින් නඩත්තු කිරීමටත් අවස්ථාව ඇති වෙයි.
 
 එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහිවීම යනු ජාත්‍යන්තර වාදයේ ප‍්‍රතිඵලයයි. මෙයට කියන අලූත් නම ගෝලීයකරණය වේ. එයින් අදහස් වන්නේ බෝල සෑදීම වැනි දෙයක් නොවේ. ලෝක ව්‍යාපී වැනි අදහසකි. ලෝකය ගෝලීයකරණය වීමේ පළමු පියවර වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය නොවේ. තානාපති සේවයයි. වසර දහස් ගණනක් පැරණි තානාපති සේවය අද වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය තරමටම නිශ්ප‍්‍රයෝජන ව්‍යාපාරයක් බවට පත් වී තිබේ. මේ දිනවල පාර්ලිමේන්තු සැසිවාර නැරඹීමට එන තානාපති නිලධාරීන් ප‍්‍රමාණය දෙස බැලීමෙන් ඒ බව තහවුරු වෙයි. විදේශ බලවේග අද මේ රටට ඇඟිලි ගැසීම සඳහා යොදා ගන්නේ මෙහි තිබෙන ස්වකීය තානාපති කාර්යාලයන් ය. පසුගිය 15 වැනිදා පාර්ලිමේන්තුවේ හටගත් කළහකාරී තත්ත්වයෙන් පසු මෙරට ජර්මන් තානාපති යර්න් රොඞ් මැතිතුමා ට්විටර් පණිවුඩයක් ඔස්සේ මෙවැනි සඳහනක් කළේය. ‘‘අද දවස ශී‍්‍ර ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට නරක දවසකි. කථානායකවරයා දෙසට විවිධ දේ එල්ල කිරීම සහ පාර්ලිමේන්තුවේ ඡුන්ද විමසීමක් පැවැත්වීමට බාධා කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොවේ.’’
 
 එහිදී වැදගත් කාරණයක් කිව යුතුය. ශී‍්‍ර ලංකාව සිය ප‍්‍රජාතන්ත‍්‍රවාදය පවත්වාගෙන යන්නේ ජර්මන් ජනරජය සමග අත්සන් කළ සහයෝගිතා ගිවිසුමක් මත නොවේ. අපේ පාර්ලිමේන්තුවේ හටගත් සිද්ධියට වඩා දුක හිතෙන සිදුවීම් ජර්මනියේ සිදුවී ඇත. ජර්මන් පුත‍්‍රයකු වූ හිට්ලර් නිසා ජර්මනියේ පාර්ලිමේන්තුවත් ලෝකයේ රටවල් ගණනාවකම පාර්ලිමේන්තු ගොඩනැඟිලිත් විනාශයට පත් විය. ජර්මන් තානාපති ට්විටර් නිවේදන නිකුත් කරන්නේ තානාපතිවරයකු සතු අයිතිවාසිකම් සහ යුතුකම් ගැන අවබෝධයක් නැතිවය. අනෙක, අපේ පාර්ලිමේන්තුවේ අර්බුදය රටේ අභ්‍යන්තර ප‍්‍රශ්නයකි. කථානායකට පහරදීම ඉතාම නින්දිත නරක වැඩක් වුවද කථානායක පහර කන්නේ තමන්ට නොගැලපෙන වැඩ කිරීමට යෑම නිසාය. ඔහු කෑවේ ඔහු විසින්ම වපුරන ලද පරිප්පුය. අපේ රටට එන තරමක් එන්නේ ජර්මන් තානාපති වැනි ලෙඞ්ඩුය. බි‍්‍රතාන්‍යය, ඇමරිකාව, ඉන්දියාව ඇතුළු රටවල් රැසක්ම තානාපති ව්‍යාපාරය හරහා ලංකාවට ඇඟිලි ගසති. මෛතී‍්‍රට, මහින්දට හා රනිල්ට තානාපතිවරු විවිධ වධ දෙති. ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව විසුරුවන ලද්දේ ඉකුත් සිකුරාදාය. එනම් නොවැම්බර් 9 වැනිදා ය. එතුමා පාර්ලිමේන්තුව විසුරුවන බවට එම සතිය මුලදීම ආරංචියක් පැතිර ගියේය. ඒ සැනින් ජනාධිපතිතුමා හමුවූ ඇමරිකන් තානාපතිවරිය පාර්ලිමේන්තුව විසුරුවීමෙන් වළකින ලෙස ජනාධිපතිතුමාට බලපෑම් කරන්නට පටන් ගත්තේය. රනිල් වික‍්‍රමසිංහ බලයෙන් පහකර මහින්ද රාජපක්‍ෂ අගමැති තනතුරට පත් කළ සැණින් චීන තානාපති මහින්ද රාජපක්‍ෂ ජීවත් වන විජේරාම පාරේ නිවසට දිව ගියේය. මෙය ලංකාවේ දේශපාලනය සංක‍්‍රාන්ති සමයක තිබෙන කාලයකි. එවැනි විටෙක දැඩි අර්බුද මැද පත් කළ අගමැතිගේ ගෙට රිංගීමෙන් තානාපතිලා වැලකිය යුතුය. 
 
 ඇතැම් රටවල ආණ්ඩු පෙරළෙන්නේ තානාපති කාර්යාල හරහාය. එවැනි පෙරළිවලට අවශ්‍ය මුදල් තානාපති කාර්යාල හරහා පොම්ප කරනු ලැබේ. පසුගියදා අපේ රටේ පාර්ලිමේන්තුවේ සිදුවූ කළහ උපදවන ඇතැම් තීරණ දෙස බලා සිටි තානාපතිවරු අත්පුඩි ගසනු දක්නා ලදී. මෙයින් කියැවෙන්නේ ඔවුන් කිසි ලෙසකත් ස්වාධීන නොවන බවත් ශී‍්‍ර ලංකාවේ අභ්‍යන්තර අර්බුද ඉදිරියෙහි සතුටු වන කාලකණ්ණින් බවත්ය.
 
 කිසිම රටක් තව රටකට වාතයක් විය යුතු නැත. කිසිම රටක් තව රටක දේශපාලනයට මැදිහත් විය යුතු නැත. මාධ්‍යවේදී ජමාල් කෂෝගී ඝාතනය කරන ලද්දේ තුර්කියේ සවුදි අරාබි තානාපති කාර්යාලය තුළදී බව අප මතක තබාගත යුතුය. ඉන්පසු ඔහුගේ සිරුර කැබලි කර බී‍්‍රෆ් කේස්වල පැක් කරන ලද්දේ ද එම තානාපති කාර්යාලය තුළදීම බවද අප අමතක නොකළ යුතුය.

2 Responses to “තානාපති සේවය නමැති අන්තර්ජාතික වාතය”

  1. Ancient Sinhalaya Says:

    Ambassador business is in fact a ‘spy mission’. That has been the main objective of these mission. If it isn’t, why
    then a host country has no jurisdiction over the premises. Today in this connected world, we don’t need spy
    centres since we can contact most corners of the world within a few minutes with phones, satellites etc. We should all do away with these spy missions, whose only business is sticking their noses in a country’s internal affairs.

  2. Ancient Sinhalaya Says:

    Ambassador business is in fact a ‘spy mission’. That has been the main objective of these missions. If it isn’t, why
    then a host country has no jurisdiction over the premises. Today in this connected world, we don’t need spy
    centres since we can contact most corners of the world within a few minutes with phones, satellites etc. We should all do away with these spy missions, whose only business is sticking their noses in a country’s internal affairs.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress