කථානායක 2020 ජනපති සිහිනයෙන් අන්ධ වෙලා
Posted on November 20th, 2018

නුවන් හෙට්ටිආරච්චි උපුටාගැණීම  මව්බිම

කථානායක කරු ජයසූරිය පොදු අපේක්‍ෂක සිහිනයෙන් අන්ධ වී ඇති බව සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ කැඳවුම්කරු ප්‍රේම්නාත් සී. ‍ෙදාලවත්ත පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ කොළඹ මහජන පුස්තකාලයේදී ඊයේ (19දා) පැවැති මාධ්‍ය හමුවකදීය.
එහිදී ඒ මහතා මෙසේද පැවැසීය.

රටේ ඇතිවෙලා තියෙන ගැටලුකාරී තත්ත්වයට කථානායක වගකිව යුතුයි. මහින්ද රාජපක්‍ෂ නව අගමැති කළ ගැසට් එකට විරුද්ධව උසාවි නොගිය එජාපය පාර්ලිමේන්තුව විසුරුවා හැරිය ගැසට් පත්‍රයට විරුද්ධව උසාවි ගියා. පාර්ශ්වයක් වශයෙන් ඉල්ලා සිටිනවා ජනතාවට මහ මැතිවරණයක් ලබාදිය යුතුයි කියලා. මැතිවරණය කියන්නේ ජනතාවට අයිති දෙයක්. ජනතාව විසින් පත් කරලා එවපු නියෝජිතයෝ කොහොමද ජනතාවට අයිති මහ මැතිවරණයක් අහෝසි කරන්නේ.

එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රිවරු 45 දෙනකුගේ විශ්‍රාම වැටුප අහිමි වෙන එක තමයි මේකට හේතුව. ඉදිරියේදී අත්හිටුවූ ගැසට් පත්‍රය ක්‍රියාත්මක කළාම තේරුම් යයි එජාපය ඇතුළු විපක්‍ෂයට මහ මැතිවරණයක් රටට අවශ්‍ය බව ශේ්‍රෂ්ඨාධිකරණය පවා පිළිගත් බව. කථානායක අධිකරණය අභියෝගයට ලක් කරමින් පාර්ලිමේන්තුව තුළ විවිධ වෙස් ගෙන වැඩ කරනවා. ඔහු ඇඳගෙන ඉන්නේ කොළ පාට. කථානායකවරයෙක්ට එහෙම ඉන්න බැහැ. මේ කථානායක හිතාගෙන ඉන්නේ 2020 ජනාධිපති එයා කියලා. රනිල් වික්‍රමසිංහට ඉදිරිපත් වෙන්න හැකියාවක් නැති නිසා මහ ඡන්දයකදී කරු ජයසූරිය පොදු අපේක්‍ෂකයා කරනවා. ඒ නිසා දැන් කථානායකවරයා අන්ධ වෙලා ඉන්නේ. මේ හේතු නිසායි මැදිහත් පාර්ශ්වයක් විදියට අපි උසාවි ගිහින් විරෝධතා නඩුවක් ගොනුකළේ. උසාවි තීන්දුවට පටහැනිව වැඩ කරනවා.

ඒ කළ සියලුම දේවල් අහෝසි කරන්න කියලා උසාවියෙන් ඉල්ලා සිටිනවා. කථානායකවරයාගේ පක්‍ෂග්‍රාහී පිළිවෙත තමයි පාර්ලිමේන්තුව තුළ කෝලහාලයකට මුල පිරුවේ. දැන් ඒ අයම කියනවා ඉතිහාසයේවත් එහෙම වෙලා නැහැ කියලා. නැත්තේ මොකද ජෝන් කොතලාවල පාර්ලිමේන්තුවේදී පුටුවක් උස්සලා තවත් මන්ත්‍රිවරයකුට පහරදීලා තියෙනවා. ඒ නිසා මේ සිදුවූ සිදුවිම සුළු දෙයක්. අද ඊනියා කණ්ඩායම්වලට අවශ්‍ය දේවල් තමයි රනිල්ලා කරන්නේ. ඒකයි මේ තරම් ජාත්‍යන්තර අතපෙවීම් සිදුවෙන්නේ. අපි එයට ඉඩ තියන්නේ නැහැ. මේ රටේ ව්‍යවස්ථාව ඩයස්පෝරාවලට ඕන විදියට සකස් කරන්න ඉඩ දෙන්නේ නැහැ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress