ජනතා විමුක්ති පෙරමුණ කොයි බටද?
Posted on November 20th, 2018

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි 

අපි ජනතා විමුක්ති පෙරමුණේ මුල් යුගයේ සාමාජිකයින් වෙමු. මේ පොළොවේ නොතිබුන දෙයක් ගොඩනැංවීමට දායකවූ ඒ පරපුරේ සියලුම සහෝදර සයෝදරියන් ඉතා ගෞරවයෙන් සිහිපත් කරමින් මේ ලිපිය ලිවිම ආරම්භ කරනුයේ, මගේ ජිවිත කාලයටම එවන්වූ උත්තරීතර ගුනගරුකවූ මිනිසුන් මට හමුනොවි ඇති බව සිහිපත් කරමිනි. ගැටවර අවධියේ පසුවූ අපි සියලු දෙනාම එකට එකතුවී කල මහා මෙහෙවර සම්බන්ධව මේ රටේ කිසිම අයෙකු කිසිදු ආකාරයෙන් කිසිදු සමීක්ෂණයක් කර එහි යතාර්ථය මේ වන තෙක් හෙළි දරව් කරගෙන නැත. ජිවිතයේ එක වරක් පණක් උරුම වෙන සුන්දරම අවධිය වූ ඒ භද්‍ර යෞවනය මරණය උරුම කරගත් ඉලක්කයක් වෙත පුද කරන්නට අධිෂ්ඨාන කරගත් ඒ තරුණ පරපුර තරම් වටිනා මිනිස් පරපුරක් මේ රටේ ඊට පසුව අද වෙනතුරු බිහිව නැති බව නම් ඉතා පැහැදිලිය.

ජනතා විමුක්ති පෙරමුණ යනු අහිංසක සුන්දර මිනිසුන්ගේ නිර්මාණයක් වූ අතර, එය ගොඩනැංවීමට කල කැපකිරීම් හමුවේ ගොඩ නැගුනේ අවංක අව්‍යාජ ජනතා හිතවාදී මහා බලවේගයකි. අපට මේ මිනිසුන් මුණගැසුනේ අපද මෙවැනි මිනිසුන් සොයමින් සිටින යුගයකදීය. අප මෙවැනි මිනිසුන් සොයමින් සිටියේ අප සිටි සමාජ ක්‍රමය, අප අපේක්ෂා කරන දේ අප කිසිවෙකුටත් ලබා නොදෙන බව ප්‍රත්‍යක්ෂ වූ බැවිනි. සෑම දේශපාලන ධහරාවක් තුලම විවිධවූ අසාධාරණ කම් වලට එකම පිළියම වශයෙන් තමන්ගේම වූ තම අභිලාෂයන් වෙනුවෙන් කැපව කටයුතුකරන දේශපාලන බලවේගයක් අප සියල්ලන්ට අවැසිව තිබුණි. සතයක් අතේ නැති මිනිසුන් මහා දේශපාලන දහරාවක් ගොඩනැංවීමට ආරම්භ කර තිබුණි. මේ දහරාව ගොඩනැංවීමේ ශක්තිය වුයේ ස්වශක්තියයි. ආරම්භයේදී අපිට නායකයෙකු මුණ නොගසිනි. සහෝදරයා නායකයෙක් දෙස බලන්න එපා. බලන්න මේ දේශපාලනය තුල ඇති දර්ශනය. ඔබ මේ දර්ශනය හා එකග නම් අපිත් එක්ක එකතුවන්න. ගැටවර වියේ වූ අප ඒ දර්ශනය අවබෝධ කරගත් අතර යම් දිනයකදී අපි “මව්බිම හෝ මරණය ” අනිවාර්යෙන්ම ජය ගන්නා බව ඉලක්ක කරගෙන අමුතුම ආකාරයේ දේශපාලන ක්‍රියාවලියක් කටයුතු ආරම්භ කළෙමු. අප සියල්ලක්ම අපේ සියලුම පෞද්ගලිකත්වයන් අමතක කළෙමු. භද්‍ර යවුවනයේ උපදින ආදර සිතුවිලි යටපත් කරමින් ගොඩනංවන්නට බලාපොරොත්තුව සිටින ඒ මහා සමාජය ගොඩනැංවීම හැර වෙන අන්කිසිදු දෙයක් අපට උරුම නැති සිතමින් දිවිපරදුවට තබා මහා ව්‍යාපාරයක් ගොඩනැන්වුයෙමු.

ගොඩනැංවීමේ ක්‍රියාවලියේ තිබු ඒ ඇති සුන්දරත්වය ගොඩනැංවූ පසු අප ජිවිත වලට උරුම වුයේ නැත. ගොඩනැංවූ ඒ මහා ව්‍යාපාරය රැකගැනීම මහා අසීරු කර්තව්‍යක් විය. අභ්‍යන්තර හා බාහිර සතුරු උවදුරු මුළුමහත් ව්‍යාපාරයම සසල කරවමින් අනපේක්ෂිත අවස්ථාවකදී අනවශ්‍ය පහරදීමකට ජනතා විමුක්ති පෙරමින මෙහෙයවා ඒ වනවිට ගොඩනංවා තිබු ඒ මහා බල කදවුර දෙදරා හරින ලදී. “මව්බිම නැත්නම් මරණය” අපේක්ෂා කල ඒ අභීත සහෝදර සහෝදරියන් කිසිවෙකුට මව්බිමේ උරුමය හිමි නොවූ අතර,කොටසකට මරණය උරුම විය. තවත් කොටසකට මව්බිමත් මරණයත් දෙකම අහිමි විය. මවුබිමත් මරණයත් උරුම නොවූ පරපුරට මවුබිම දිනා ගැනීමේ සටන අත් හරිය නොහැකි කාර්යක් බවට පත්කර ඇත්තේ එදා මියගිය සහෝදර සහෝදරියන්ගේ ඒ රුධිර දහරාවන් විය. ඒ රුධිරය නිකම්ම නිකම් අමතක කර දැමිය හැකි රුධිරයක් නොව, අපත් සමග එකතුව මේ මහා ව්‍යාපාරය ගොඩනැන්වීමට දායක වූ ඒ මහා සුන්දර මිනිස් පරපුරේ රුධිරයයි. නායකත්ව සිරගතව සිටියදී නොදන්නා බලවේගයක් විසින් නිකුත් කල විදානයකට අනුව කල සටන මහා විනාශයකින් කෙළවරවූ බව ඉතිහාස ගතව ඇත.

අළු මතින් යලි නැගිට ගත ෆීනික්ස් පක්ෂියා සේ නැගී සිටි ඒ මහා බලවේගය යලි මර මරා ටයර් මත දමා පුළුස්සා දමන ලද්දේ 1988/89 යුගයේදීය. විනාශ වුවද යලි යලිත් නැගිටින්නේ, දර්ශනය පවතින විටදීය. එබැවින් 1989 පසුව සතුරන්ට මේ ව්‍යාපාරයේ දර්ශනය මරා දැමීමට අවැසි විය. එදා බලවත්වූ ශිෂ්‍ය ව්‍යාපාරය විශ්ව විද්‍යාල වලට ඇතුළුවන නවක සිසුන්ට මහා රැකවරණයක් දුන් මධ්‍යස්ථානයක් වූ අතර, එම ව්‍යාපාරය නවක සිසුන්ට නවකවදය දෙන වදකාගාරයක් තත්වයට පත් කර දේශපාලන දර්ශනය අමු අමුවේ මරණ තත්වයට පක්ෂයේ අභ්‍යන්තර සතුරන් ප්‍රභලව ආරම්භකර, පක්ෂය තම ඉලක්කයන් නොදන්නා නරුමකරණයකට බාජනය කර ඇත.  මේ වන විට මුළු පක්ෂයම, පක්ෂයේ නිර්මාතෘවරුන්ගේ ඝාතකයන්ට රැකවරණය සපයන සිකුරිටි සමාගමක් බවට පත් කර ඇත. අද අප සහෝදරවරුන් දිවිදී ගොඩනැගු ඒ ජනතා විමුක්ති පෙරමුණ නැති අතර, එදා ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැංවීමට හේතුවූ දර්ශනය මුලික වූ මාතෘ භුමිය සුරැකීමේ වගකීමේ කාර්යය අප සතුව ඇත. ඒ සදහා, වර්තමානයේ මාතෘභූමියේ ප්‍රධාන සතුරෙක්වූ නුතන ජනතා විමුක්ති පෙරමුණේ සෑම ගඩොලක්ම ගලවා ඉවත් කිරීමේ කාර්ය අප සතුව ඇත, අප එක්ව ඒ කර්ත්ව්‍යටද දායකත්වය සපයමු.

“අධිරාජ්‍යවාදයට විනාශය- ජනතා විමුක්ති පෙරමුණටද විනාශය “

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress