අම්මාගේ ඔත්තු සහ පුතාගේ තොත්තු
Posted on November 23rd, 2018

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

එඩිත් එලිසා ෆාන්ස්වත් කියලා කියන්නේ ඇමෙරිකානු ජනපද සංගමය වෙනුවෙන් දකුණු ආසියානු කලාපයේ ඔත්තු බලපු, රහස් හොයපු ලොක්කියක්. මුල් කාලේ දී රුසියානු භාෂාවත් රුසියාව ගැනත් පරතෙරට හදාරලා තිබුණු මේ නෝනා CIA සංවිධානයට තරුණ කාලයේ දී ම සම්බන්ධවුනා. ඇමෙරිකානු ජනපද සංගමයේ විදේශ සේවයට සම්බන්ධ වෙලා රස්සාව කරපු ක්‍රිස්ටෝපර් වෑන් හොලන් කියන මහත්තයාත් එක්ක 1953 අවුරුද්දේ දී එඩිත් නෝනා විවාහ වුනා. හොලන් මහත්තයා 1955 අවුරුද්දේ ඉන්දියාවේ රස්සාවට ආවා. ඒ, නවදිල්ලියේ තිබුණු ඇමෙරිකානු ජනපද සංගම් තානාපති කාර්යාලයේ දේශපාලන නිලධාරියෙක් විදිහට. ඒ එක්කම එඩිත් නෝනාත් ඉන්දියාවට ආවා.

දකුණු ආසියානු කලාපයේ ඔත්තු බලන වැඩේ එඩිත් නෝනාට පැවරුනේ මේ ආගමනයත් එක්කම කියලා හිතන්න පුළුවන්. ආචාර්ය උපාධියක් පවා ලබලා තිබුණත් හොලන් මහත්තයා තානාපති සේවයේ මහ ඉහළ තනතුරු දරපු කෙනෙක් නෙවෙයි. ඒ හින්දා, නෝනාගේ රාජකාරි පහසු කරවන අදහසින් මහත්තයා මේ රස්සාව කළා කියලාත් අපිට හිතන්න පුළුවන්. පාකිස්ථානේ රස්සාව කර කර ඉන්න කාලේ 1959 දී එඩිත් නෝනාට කරච්චියේ දී පුතෙක් ලැබුණා. ඒ පුතා ගැන පස්සේ කියන්නම්.

1969 අවුරුද්ද වෙද්දි දකුණු ආසියානු කලාපය භාර නියෝජ්‍ය සහකාර ලේකම් තනතුරත් හොලන් මහත්තයාට ලැබුණා. හොලන් මහත්තයාට මුවාවෙලා ඔත්තු බලන වැඩේ එඩිත් නෝනා දිගට ම ගජරාමෙට කරගෙන ගියා. 1972 දී හොලන් මහත්තයාට තානාපතිකමක් ලැබුණා. ඒ, අපේ රටට අනුයුක්ත කරපු ඇමෙරිකානු ජනපද සංගම් තානාපති විදිහට. ඉතින්, 1972 ඉඳලා 1976 අවුරුද්ද වෙන කල් ම අපේ රටේ රස්සාව කරන්න උන්නැහේට පුළුවන් වුනා.

මේ කාලේ ඇතුළේ එඩිත් නෝනා කරන්න ඇත්තේ මොනවා ද? සුපුරුදු විදිහට තමන්ගේ රස්සාව කරනවා මිසක් ඒ නෝනා වෙන මොනවා කරන්න ද! ඊට අමතරව තමන් යන යන රටේ භාෂාව, සංස්කෘතිය, ඉතිහාසය වගේ දේවල් ඉගෙනගන්න වැඩෙත් එඩිත් නෝනා කරගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් ඉංග්‍රීසි සහ රුසියානු භාෂා විතරක් නෙවෙයි – ප්‍රංශ, හින්දි, බෙංගාලි, උර්දු, සිංහල භාෂා කතාකරන්නත් එඩිත් නෝනාට පුළුවන් වුනා. මේ හැම හපන්කමක් හින්දා ම තමන්ගේ රස්සාව හොඳින් කරගෙන යන එක එඩිත් නෝනාට අමාරු වැඩක් වුනේ නෑ.

1978 අවුරුද්දේ අප්‍රේල් මාසයේ ඇෆ්ගනිස්ථානයේ විප්ලවයක් සිද්දවුනා ම – ඇමෙරිකානු ජනපද සංගමය තමන්ගේ රාජ්‍ය දෙපාර්තමේන්තුව ඇතුළේ විශේෂ රහස් තොරතුරු සහ විශ්ලේෂණ කාර්යංශයක් පිහිටෙව්වා. මේ කාර්යාංශයට පැවරුනේ ඇෆ්ගනිස්ථානයට අදාළ තොරතුරු විශ්ලේෂණය කරලා තිබුණු වාතාවරණය ගැනත් ඉදිරියේ දී වෙන්න පුළුවන් දේවල් ගැනත් වාර්තා ලබාදෙන වැඩේ. මේ කාර්යාංශයේ වැඩ කරපු ප්‍රධාන ම තොරතුරු විශ්ලේෂිකාව තමයි අපි කියන මේ එඩිත් නෝනා.

ඇෆ්ගනිස්ථාන විප්ලවය පස්සෙන් සෝවියට් දේශය හිටිය හින්දා රුසියාව ගැන දැනුමත් දකුණු ආසියාව ගැන දැනුමත් ලබාගෙන හිටිය එඩිත් නෝනාට සිද්දවෙමින් තිබුණු දේවල් ගැන වගේ ම සිද්ද වෙන්න යන දේවල් ගැනත් හොඳින් ම තේරුම්ගන්න පුළුවන් වුනා. ඉතින් 1979 සිද්දවුනු සෝවියට් ආක්‍රමණය ගැන ටක්කෙට ම අනාවැකි කියපු අය අතර ඉදිරියෙන් ම ඉන්න එඩිත් නෝනාට පුළුවන් වුනා.

මේ හැම දෙයකින් ම අපිට පැහැදිළිවෙන්නේ එඩිත් නෝනා කියලා කියන්නේ මොන වගේ කෙනෙක් ද කියන එකයි. ඉතින් 1989 අවුරුද්ද වෙද්දි දකුණු ආසියානු කලාපය භාර රහස් තොරතුරු සහ පර්යේෂණ කාර්යාංශයේ ප්‍රධානියා බවට පත්වෙන්නත් එඩිත් නෝනාට පුළුවන් වුනා. මීට අමතරව, නිතර නිතර ම විදේශ ප්‍රතිපත්ති සහ රහස් තොරතුරු පිළිබඳ රාජ්‍ය කමිටුවලට සම්බන්ධ වෙලා වැඩකරන්නත් එඩිත් නෝනාට සිද්දවුනා.

මේ හැම වැඩක් ම බොහොම ඉහළින් අගය කෙරුනා. 1992 දී එඩිත් නෝනාට මහ ඉහළ සම්මානයකුත් ලැබුණා. ඒ සම්මානය දුන්නේ CIA සංවිධානයේ අධ්‍යක්‍ෂවරයා විසින්. ඒක ඇමෙරිකානු ජනපද සංගමයේ කෙනෙක්ට ලබන්න පුළුවන් ඉහළ ම මට්ටමේ ජාතික සම්මානයක්. ඒකට අමරතව තවත් සම්මාන මහ ගොඩක් එඩිත් නෝනාට ලැබිලා තියෙනවා. විශිෂ්ඨ සේවාව පිළිබඳ ගෞරව සම්මාන දෙකක්, කුසලතා ගෞරව සම්මාන දෙකක්, වසරේ විශ්ලේෂක සම්මානය වගේ ඒවා ඒ අතර තියෙනවා.

1994 අවුරුද්දේ දී එඩිත් නෝනා විශ්‍රාම ගත්තා. මොකද ඒ වෙද්දි එඩිත් නෝනාගේ වයස අවුරුදු 67 කුත් වෙලානේ. ඒත් ඊට පස්සෙත් විදේශ ප්‍රතිපත්ති සම්පාදන කටයුතුවලට විවිධ මට්ටමින් සම්මාදම් වෙන්න එඩිත් නෝනා කටයුතු කරලා තියෙනවා.

මේ වෙද්දි එඩිත් නෝනාගේ පුතා දේශපාලනයට බැහැලා. ඒ පුතාගේ නම තමයි ක්‍රිස් වෑන් හොලන්. මුලින් ම සම්බන්ධ වුනේ මේරිලන්ත ජනපදයේ දේශපාලන වැඩවලට. ඉතින් ඒ ජනපදයේ නියෝජිත සම්මේලනයටත් සෙනෙට් සභාවටත් තේරි පත්වෙන්න ක්‍රිස් වෑන් පුතාට පුළුවන් වුනා. මේ පුතා ගිය මාසයේ – ඒ කියන්නේ 2018 අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ; සුසාන් කොලින්ස් කියන නෝනාත් එක්ක එකතුවෙලා පනත් කෙටුම්පතක් ඉදිරිපත් කළා. ක්‍රිස් වෑන් නියෝජනය කරන්නේ ඩිමොක්‍රටික් පක්‍ෂය. සුසාන් කොලින්ස් නියෝජනය කරන්නේ රිපබ්ලිකන් පක්‍ෂය. ඉතින් දෙපැත්තේ ඉන්න දෙන්නෙක් එකතුවෙලා එක පනත් කෙටුම්පතක් ඉදිරිපත්කරනවා කියලා කියන්නේ මහ ලොකු වැඩක්. මේ පනත් කෙටුම්පතින් යෝජනා කරලා තියෙන්නේ ඇමෙරිකානු ජනපද සංගමයේ මැතිවරණවලට විදේශීය අත පෙවීම් වළක්වන වැඩපිළිවෙලක්. අනුන්ගේ රටවල්වල ඒවාට ඇඟිලි ගහන එක කොහොමත් හොඳ වැඩක් නෙවෙයිනේ.

මේ පුතා – ඒ කියන්නේ ක්‍රිස් වෑන් හොලන්; ඊයේ (2018 අවුරුද්දේ නොවැම්බර් 22 වැනි දා) අපේ ජනාධිපතිතුමාට ලියුමක් එවලා කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති තනතුරින් ඉවත්කරපු එක ගැන තමන් මහා කම්පාවකට පත්වෙලා ඉන්නවා කියලා ඒ ලියුමෙන් ක්‍රිස් මහත්තයා කියලා. ඒ විතරක් නෙවෙයි. මේ විදිහට ජනාධිපතිතුමා කරපු වැඩ හින්දා ශ්‍රී ලංකාවේ නීතියේ පාලනයත් ප්‍රජාතන්ත්‍රවාදයත් අවදානමකට ලක්වෙලා තියෙනවා කියලාත් එතුමා කියනවා. ඒ හින්දා මේ විදිහට කරපු වැඩ අතහැරලා දාලා, ඉක්මනට ඡන්ද තියන්න යන්නේ නැතුව, පාර්ලිමේන්තුවේ බලයට ගරුකරලා කටයුතු කරන්න යොමුවෙන්න කියලා එතුමා අපේ ජනාධිපතිතුමාට දැනුම්දීලා.

අම්මායි තාත්තායි එක්ක සෑහෙන කාලයක් ශ්‍රී ලංකාවේ ජීවත්වෙච්ච කෙනෙක් හින්දා ක්‍රිස් වෑන් හොලන්ට අපේ රට ගැනයි, අපි ගැනයි, අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැනයි මහා කැක්කුමක් තියෙනවා කියලා අපිට හිතන්න පුළුවන්. එතුමාගේ අම්මා පවා අපේ විස්තර හොය හොයා අපි ගැන වදවෙච්ච කෙනෙක්නේ. ඉතින් එතුමා තුළ ඇතිවෙලා තියෙන මේ කැක්කුමේ බරපතලකම ගැනත් අපිට ඉතාමත් හොඳින් තේරුම්ගන්න පුළුවන්. අපිටවත් අපි ගැන මේ තරම් කැක්කුමක් ඇතිවෙන්නේ නැහැනේ. ඒකට හේතුවෙලා තියෙන්නේ ප්‍රජාත්නත්‍රවාදයේ වටිනාකම් ගැන හරි හමන් අවබෝධයක් අපිට නැතිකමනේ. ඒත් මේ පුතා එහෙම නෑ. අම්මා වගේ ම අපි වෙනුවෙන් මහන්සිවෙනවා. ඉතින් අපේ රටේ අනාගතය අඳුරුවෙයි කියලා අපි බයවෙන්න ඕන නෑ. අම්මා ඔත්තු බැලුවේත් පුතා තොත්තු දෙන්නේත් හොඳ අනාගතයක් අපිට උරුමකරලා දෙන්නනේ.

අනේ වාසනාවන්!

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

2018 නොවැම්බර් 23

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress