රැකියා විරහිත උපාධිධාරීන් සියළුදෙනා සුදුසු රැකියාවන්හි පිහිටු වීමට රජය ක්ෂණික පියවර ගත යුතුය
Posted on February 6th, 2019

2019.02.06 වන දින ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් පාර්ලිමේන්තුවේදී ස්ථාවර  නියෝග 27/2 යටතේ අසන ලද ප්‍රශ්ණය

අප නිදහස ලබා වසර 71 ක් සම්පූර්ණ වී ඇත. අප දරුවන් භුක්ති විදින නිදහස් අධ්‍යාපනයටද ඊට සමාන වයසකි. එහෙත් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල තුළින් අධ්‍යාපනය ලබා බුද්ධිමතුන් ලෙස සහතික දරමින් රැකියා විරහිතව සිටින ඉහළම සංඛ්‍යාව ඉතිහාසයේ කවර කාලයකටත් වඩා අද වාර්තා වී තිබීම කණගාටුවට කරුණකි. ගණනින් එය 57,000 කට අධිකය.  ඉහළ පන්ති සාමාර්ථ සහිත දරුවන් මේ අතර දහස් ගණනකි.

වසරින් වසර ඉහල යන රැකියා විරහිත උපාධාධාරීන්ගේ ප්‍රතිශතය වත්මන් ආණ්ඩුවේ නොහැකියාව පෙන්වන තවත් ප්‍රබල දර්ශකයක් බවට මේ වන විට පත්ව ඇත.

රැකියා දස ලක්ෂයක් පිළිබඳව මැතිවරණ වේදිකා තුළ ආකර්ෂණීය පොරොන්දු දුන් දේශපාලන පක්ෂයක්,  ආණ්ඩු බලය හොබවද්දී හැට දහසකට ආසන්න ජාතියේ බුද්ධිමත් දරුවන් රැකියා විරහිතව පසුවීම ඛේදවාචකයකි. 

සියලු උපාධිධාරීන්ට රැකියා ලබා දෙන බව පවසමින්, පනස් දහසකට ආසන්න උපාධිධාරීන් සම්මුඛ  පරීක්ෂණවලට කැදවීමට ඉකුත් වසරේ කටයුතු කළද ඉන් රැකියා ලබාදී ඇත්තේ පන්දහස් එකසීයක් (5100) පමණක්  බව ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛණ දක්වයි.

වසර 35 ඉක්මවීම සහ බාහිර උපාධිය ලබාගැනීම නුසුදුසුකම් ලෙස දක්වමින් බුද්ධිමත් තරුණ ප්‍රජාව තුළ බෙදීමක් ඇති කිරීම හා  එමඟින් බුද්ධිමතුන් රැසකට  අසාධරණයක් සිදු කිරීමට රජය කටයුතු කිරිම කිසිසේත් අනුමත කළ නොහැක.

එකවර 48,000 ක් වූ උපාධිධාරී දරුවන් රාජ්‍ය සේවයට එක් කර ගනිමින් 2012 වසරේදී එවකට රජය අනුගමනය කරනු ලැබූ ක්‍රමවේද  ආදර්ශයට ගෙන කිසිදු වර්ග කිරීමකින් තොරව රැකියා විරහිත උපාධිධාරීන් සියළුදෙනා සුදුසු රැකියාවන්හි පිහිටු වීමට රජය ක්ෂණික පියවර ගත යුතු බව මෙම ගරු සභාවට දන්වා සිටිමි.  

 

මහින්ද රාජපක්‍ෂ       

විපක්‍ෂ නායක

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress