ගරු විපක්ෂ නායකතුමා විසින් පාර්ලිමේන්තුවේදී කරන ලද විශේෂ ප්‍රකාශය
Posted on February 8th, 2019

 

හින්ද රාජපක්ෂ

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක

-2019.02.08

ගත වූ තිස් අවුරුදු  යුධ සමයේ දී  ත්‍රස්තවාදීන් හා යුධ වදිමින් දේශය රැක ගැනීමේ උදාරතර කාර්යය සඳහා ශ්‍රී ලංකා පොලීසිය ඉමහත් කැපවීමෙන් කටයුතු කළ බවත්, එකි කාලසීමාව තුළ  ත්‍රස්තවාදී ප්‍රහාර හේතුවෙන් ආබාධිත වූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාත්මකව ඉතා විශාල පිරිසක් බවත්, මෙම ගරු සභාවේ අවධානයට යොමු කරන අතර,  යුද්ධය නිම වී වසර 10 ක් ඉක්මයන මේ මොහොත වන තුරුත් ආබාධිත පොලිස් රණවිරුවන්ගේ නොවිසදුනු ප්‍රශ්න කිහිපයක් පිළිබඳව මෙම ගරු සභාවේ අවධානය යොමු කරමි.

  1. ආබාධිත පොලිස් නිලධාරීන් සඳහා අනුමත කර ඇති උසස්වීම් ලබා නොදීම.

ආබාධිත පොලිස් නිලධාරීන් සඳහා උසස්වීම් ලබාදීම කැබිනට් මණ්ඩලය අනුමත කොට ගරු ජනාධිපතිතුමා විසින් ද මෙම උසස්වීම් ලබාදීම නිර්දේශ කර ඇත.  එමෙන්ම ජාතික පොලිස් කොමිෂන් සභාව මගින් ද මෙම උසස්වීම ආබාධිත පොලිස් රණවිරුවන් වෙත ලබා දීම නිර්දේශ කර වසර 1 ½ ක් ගත වන තුරුත් එය ලබාදීමට ආණ්ඩුව කටයුතු කර නොමැත.

  1. සේවා කාලය වසර 10 ට අඩු විශ්‍රාමික නිලධාරීන් සදහා විශ්‍රාම වැටුප ලබාදීම.

සේවා කාලය වසර 10 ට අඩු යුද්ධයේ දී ආබාධිත වූ පොලිස් නිලධාරීන් 150 දෙනෙකු සඳහා විශ්‍රාම වැටුප ලබාදීම කැබිනට් අනුමැතිය 2014 දී ලබාදෙන ලදී.  ඒ අනුව ගෙවීම් කිරීමට විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 8/2015 නිකුත් කර ඇත.  සේවා කාලය වසර 10ක් සපිරෙන දිනට වූ වැටුප පදනම් කරගෙන විශ්‍රාම වැටුප ලබාදීම වෙනුවට සේවා කාලය වසර 10 ක් සේ සලකා විශ්‍රාම ගැන්වූ දිනට ලැබූ මූලික වැටුප පදනම් කරගෙන විශ්‍රාම වැටුප් ගෙවීමට කටයුතු කිරීම ආබාධිත පොලිස් රණවිරුවන්ට කරනු ලබන බලවත් අසාධාරණයකි. 

  1. දීමනාවල හිඟ මුදල් ගෙවීම ප්‍රමාද කිරීම.

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 21/88 පරිදි විශ්‍රාම ගැන්වූ ආබාධිත පොලිස් නිලධාරීන් සඳහා වැටුප් හා දීමනා ගෙවීමට නීතිමය ප්‍රතිපාදන සැලසී ඇති නමුත්, වැටුප පමණක් ගෙවීම කිසිසේත් අනුමත කළ නොහැක.  දීමනා ලබාගැනීම සඳහා රණවිරුවන් කරන ලද අරගලවල ප්‍රතිඵලයක් ලෙස දීමනා ගෙවීම් ආරම්භ කළ ද හිඟ දීමනාවන් ගෙවීම සඳහා වැඩ පිළිවෙලක් හෝ අයවැය මගින් මුදල් වෙන් කර ගැනීමක් හෝ මෙතෙක් සිදු කර නොමැත. 

  1. දුබලතා විශ්‍රාම වැටුප ගෙවීම නවතා දැමීම.

 විශ්‍රාම වැටුපට අමතරව දුබලතාවයට පත් වූ රණවිරුවන්ට දුබලතා විශ්‍රාම වැටුපක් ගෙවීමට කටයුතු කරන අතර, මේ වන විට ආබාධිත පොලිස් නිලධාරීන් කොටසකට මෙම දීමනාව ගෙවීම සිදු නොවේ.  මේ පිළිබඳව 2017 වසරේ දී ගරු ජනාධිපතිතුමා නීතිය හා සාමය අමාත්‍යාංශයට අවැසි කටයුතු සිදුකරන ලෙස ලිඛිතව දන්වා ඇති නමුත් එයද ක්‍රියාත්මක වී නොමැත.

  1. ආබාධිත විශ්‍රාමික පොලිස් රණවිරුවන් වයස අවු. 55 ට පෙර මිය යන අවස්ථාවලදී ඔහු ලබමින් සිටි වැටුප් සහ දීමනා යැපෙන්නන් සඳහා ලබාදීම.

යුද්ධයේදී ආබාධිත වී විශ්‍රාම ගන්වා සිටින පොලිස් රණවිරුවන් එම ආබාධිත හේතුන් මත විවිධ රෝගාබාධ වැලදී අනතුරුවලට ලක්ව මියයෑමෙන්  පසු ඔවුනට ගෙවන ලද වැටුප් සහ දීමනා ගෙවීම නවතා දමා ඔවුන්ගේ යැපෙන්නන් සහ දරුවන් දැඩි ආර්ථික අපහසුතාවයට ලක් කොට ඇත.   යුද්ධයේදී යම් නිලධාරියකු මියගියේ නම් ඔහුගේ කලත්‍රයාට වයස අවු 55 දක්වා ඔහු ලැබූ වැටුප හා දීමනා ලැබීමට නීතිමය හිමිකම ඇති නමුත් ආබාධිතයන්ට ලක්ව යම් කාලයක් විවිධ රෝගාබාධ සමඟ දුක් විදිමින් සිට මියගිය පසු වැටුප් සහ දීමනා කාලත්‍රයාට නොගෙවීම කිසිදු යුක්ති සහගත ක්‍රියාවක් නොවන බව ද මෙම ගරු සභාවේ අවධානයට යොමු කරමි.

  1. අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමයේ දායකත්වය ලබාගැනීම.

ආබාධිත රණවිරුවන් සඳහා කිසිදු රක්ෂණ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක නොවන හෙයින්, රාජ්‍ය සේවකයින් සඳහා ස්ථාපිත කර ඇති අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමයේ දායකත්වය ලබාදීම ඔවුන්ගේ සෞඛ්‍ය ප්‍රශ්න සඳහා යම්  විසදුමක් වන බව අවධාරනය කරමි.  මේ සම්බන්ධව නියමිත අනුමැතිය ලැබෙන්නේ නම් අග්‍රහාර අරමුදල එය ක්‍රියාත්මක කිරීමට එකඟ බවද සඳහන් කරමි.

ආබාධිත පොලිස් රණවිරුවන් මුහුණ පා ඇති ගැටළු කිහිපයක් පමණක් ඉහත සඳහන් කර ඇති අතර මේ පිළිබඳ අවධානය යොමු කොට ඔවුන් සඳහා අනුමත කර ඇති උසස්වීම් වහා ලබාදෙන ලෙසත්,  සේවා කාලය වසර 10 ට අඩු නිලධාරීන්ට හිමි විශ්‍රාම වැටුප 2014 කැබිනට් අනුමැතිය පරිදි ගෙවීමට කටයුතු කරන ලෙසත්, චක්‍රලේඛ 21/88 පරිදි විශ්‍රාම ගැන්වූ නිලධාරීන්ගේ හිඟ දීමනා 2019 අයවැය මගින් මුදල් වෙන්කරවා වහා ගෙවීමට කටයුතු කරන ලෙසත්, දුබලතා විශ්‍රාම වැටුප් ගෙවීම නතර කර ඇති නිලධාරීන්ට එම මුදල් ගෙවීම නැවත අරඹන ලෙසත්, අවුරුදු 55 ට පෙර මිය යන රණවිරුවන්ට හිමි වැටුප් හා දීමනා ඔවුන්ගේ යැපෙන්නන්ට ගෙවීමට කටයුතු සලසන ලෙසත්, අග්‍රහාර රක්ෂණ ක්‍රමය ආබාධිත රණවිරුවන් සඳහා ද ලබාදීමට කටයුතු කරන ලෙසත්, මෙම ගරු සභාව යෝජනා කර සිටී.

ඉහත කරුණුවලට අමතරව උසස්වීම් ලැබූ පොලිස් පරීක්ෂක නිලධාරීන් පිරිසකට  සිදුවු අසාධාරණයක් පිළිබඳවද සභාවේ අවධානය යොමු කරමි. එනම්, උප පොලිස් පරීක්ෂක තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුර දක්වා උසස් කිරීමේ සම්මුඛ පරීක්ෂණයට පෙනී සිට උසස්වීම් ලැබූ ලකුණු 65 ට වැඩි නිලධාරීන් සඳහා 2007.09.25 දින සිට වැටුප් ගණනය කර ගෙවීමට පරීක්ෂණ මණ්ඩලය කටයුතු කර ඇත. ලකුණු 65 වඩා අඩුවෙන් ලැබූ නිලධාරීන්ට සිදු වූ අසාධාරණය සම්බන්ධ අධිකරණයට යාමෙන් පසු ඉතා අඩු ලකුණු සංඛ්‍යාවක් ලබා ගත් නිලධාරීන්ටද 2007.09.25 දින සිට වැටුප් ගණනය කර ගෙවන ලෙස නියෝගයක් ලබාගැනීමට ඔවුන්ට හැකිවිය.  ඒ අනුව අධිකරණයේ පිහිට පැතීමට නොහැකි වූ නිලධාරීන් සඳහා විශාල අසාධාරණයක් සිදුව ඇති බැවින් ලබාගත් ලකුණු පිළිබඳව නොසලකා සියලු දෙනාට                2007.09.25 දින සිට ගණනය කර වැටුප් ගෙවන ලෙසද මෙම ගරු  සභාවට යෝජනා කරමි.

මහින්ද රාජපක්ෂ

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක

One Response to “ගරු විපක්ෂ නායකතුමා විසින් පාර්ලිමේන්තුවේදී කරන ලද විශේෂ ප්‍රකාශය”

  1. Hiranthe Says:

    Now we can hear you talk!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress