ඇමැති පවර්
Posted on February 25th, 2019

මේඝනාද

පුවතක් – රජයේ ප්‍රබල ඇමැතිවරයකුගේ සොහොයුරෙක් මහා පරිමාණ ගම්මිරිස් ජාවාරමක.

“ඉන්දු – ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ලාංකේය ගම්මිරිස් වසරකට ටොන් 2500ක් බදු නොමැතිව ඉන්දියාවට අපනයනය කළ හැකියි. එසේම දකුණු ආසියා නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ 8%ක සහනදායී ආනයනික බද්දක් ඇතිව ගම්මිරිස් ඉන්දියාවට අපනයනය කළ හැකියි. වෙළෙඳ ගිවිසුම්වලට පිටින් ඉන්දියාවට අපනයනය කරන ගම්මිරිස් සඳහා බද්ද 70%ක් වැනි ඉහළ අගයක් ගන්නවා.

ලාංකේය ගම්මිරිස් ගොවියාට ලැබිය යුතු සම්පූර්ණ වාසිය ද මේ ජාවාරම්කරුවන් විසින් සොරාගෙන තිබෙනවා. එසේම මේ ජාවාරම නිසා ඉන්දියානු ගම්මිරිස් වගාකරුවන්ද අපහසුතාවට පත්වී ඇති අතර, මේ ජාවාරමෙන් ඉන්දියානු ගම්මිරිස් ගොවියා ආරක්ෂා කර ගැනීමේ අරමුණෙන් ආනයනික ගම්මිරිස් සඳහා අවම මිලක් පැනවීමට පවා ඉන්දියානු රජය ක්‍රියා කර තිබෙනවා. මේ ජාවාරම නිසා ඉන්දියානු රජය ශ්‍රී ලංකා ගම්මිරිස් ආනයනය සීමා කිරීමට ක්‍රියාමාර්ග ගැනීමට පෙලඹීමට ඉඩ ඇති අතර තත්ත්වයෙන් බාල ගම්මිරිස් ශ්‍රී ලංකාවේ ගම්මිරිස් ලෙස හැඳින්වීම නිසා එය ශ්‍රී ලංකාවේ ගම්මිරිස්වලට ඇති ප්‍රතිරූපයටද හානි සිදුවෙනවා.

මෙම ගම්මිරිස් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ගම්මිරිස් බවට සහතික කරනු ලබන්නේ එම ඇමැතිවරයා යටතේ පැවැති වාණිජ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු විසිනි. මෑතකදී සිදුකළ නව කැබිනට් මණ්ඩල ගැසට් කිරීමේදී එම දෙපාර්තමේන්තුව, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙ¼දාම් අමාත්‍යාංශය යටතට ගැසට් කර ඇති අතර, දේශපාලන රැකවරණ ඇතිව මේ ව්‍යාජ සහතික ලබාගෙන නිලධාරියා තවදුරටත් ව්‍යාජ සහතික නිකුත් කිරීම සිදු කරමින් සිටියි. එසේම දේශපාලන රැකවරණ ඇති එක් රේගු නිලධාරියකුද බහුතරයක් රේගු නිලධාරීන්ගේ විරෝධය නොතකා , මෙම ජාවාරම් සඳහා පහසුකම් සපයමින් සිටිනවා.

මේ කොල්ලකෑමට උදවු කරන්නන් ආරක්ෂා කරමින්, හොරකමට එරෙහි වන නිලධාරීන්ට දඬුවම් කරමින්, ඔවුන්මාරු කර යවා සිය කොල්ලකාරී ක්‍රමය දිගටම පවත්වාගෙන යෑම දූෂිත අමාත්‍යවරුන්ගේ අරමුණ බව පැහැදිලියි. නමුත් වෘත්තිකයන් ලෙස සහ පොදු ජනතාව ලෙස අපට මේ සම්බන්ධයෙන් මුනිවත රැකිය නොහැකියි. රේගු අධ්‍යක්ෂ ජනරාල්වරියගේ ස්ථාන මාරුව අත්හිටුවීම තාවකාලික ජයග්‍රහණයක් පමණයි. මෙරට සුවහසක් පොදු ජනතාවට සාධාරණයක් ඉටුවන්නේ, මේ දූෂිතයන් නීතිය හමුවට පමුණුවා ඔවුන්ට නිසි දඬුවම් ලබාදීමෙන් පමණයි.”

– තොරතුරු තාක්ෂණවේදීන්ගේ සංසදයේ ලේකම් ලසන්ත වික්‍රමසිංහ
පැවැති පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක රැලියකදී ජනපති මෛත්‍රි කීවේ, ගම්මිරිස් ප්‍රතිඅපනයනය මුළුමනින්ම තහනම් කරන බවකි. මේ වන විට ගම්මිරිස් මිල ශීඝ්‍රයෙන් පහළ බැස ඇත. ලක්ෂ 4ක් ගම්මිරිස් ගොවියෝ දැන් සිටින්නේ වහ බෝතලේ අතේ තියාගෙන ය. 2016දී රුපියල් 1200-1300 ට විකිණුනු ගම්මිරිස් දැන් රුපියල් 600ට බැහැලා ය. ප්‍රාථමික කර්මාන්ත ඇමැති බොරු පොරොන්දු දිදී දිගින් දිගටම ගම්මිරිස් ගොවියා රැවැට්ටුවේ ය.

“මෙරට ගම්මිරිස් වගා කරන ගොවීන්ට පසුගිය කාලයේ යන එන මං නැති කළා. අපේ රටේ ගම්මිරිස්වලට ලෝකයේ ඉහළ ඉල්ලුමක් තිබුණා. හොඳම ගම්මිරිස් ලෙස අපේ ගම්මිරිස්වලට විශාල ඉල්ලුමක් සහ සැලකීමක් තිබුණා. නමුත් කිසියම් පිරිසක් හොර ජාවාරම් කරමින් විදේශ රටවලින් ආනයනය කරන බාල ගම්මිරිස්වලට අපේ රටේ ගම්මිරිස් කලවම් කළා. එමඟින් සිදුවුණේ අපේ ගොවීන්ට යනඑන මං නැති වීමයි. මේ සම්බන්ධයෙන් වගකිවයුතු පුද්ගලයන් සොයා බැලීමට අවස්ථා කිහිපයකදී නොහැකි වුණා. ගම්මිරිස් වගාවට යන එන මං නැති කළ මේ අදිසි හස්තය සොයා බැලීමට විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීමට තීරණය කළා. ඒ අනුව මීට වගකිවයුත්තේ කවුරුන් දැයි සොයා බැලීමට අපට පුළුවන් වේවි.

පසුගිය කාලයේ අපේ රටේ ගම්මිරිස් ගොවීන්ට තම නිෂ්පාදන අලෙවි කර ගත නොහැකිව වගාකිරීම අත්හැරියා. අපිට අවශ්‍ය ගම්මිරිස් රටේ නිෂ්පාදනය වෙද්දී පිටරටින් මෙරටට ගම්මිරිස් ආනයනය කළා. ඒ විතරක් නෙවෙයි, දේශීය ගම්මිරිස්වලට විදේශ රටවල ගම්මිරිස් කලවම් කර අපනයනය කිරීමේ ජාවාරමකුත් හෙළිවුණා. නමුත් මේ පිළිබඳව වගකීමක් ගන්න කෙනෙක් හිටියේ නෑ. ඒ නිසා ගම්මිරිස් ජාවාරම පිටුපස සිටින්නේ කවුරුන් දැයි සොයා බැලීමට විමර්ශන කටයුතු රහස් පොලිසියට පැවරීමට තීරණය කළා. රහස් පොලිස් පරීක්ෂණවලින් පසු හෙළිදරව් වේවි. නැවත ඒ ජාවාරම්වලට අපි ඉඩ තියන්නේ නෑ. අපි දැන් කියන්නේ බය නැතිව වගා කරන්න. ඔබේ අස්වනු මිලදී ගන්න රජය මැදිහත් වෙනවා වගේම ගම්මිරිස් පැළත් අපි නොමිලේ ලබා දෙනවා.”

මෙහෙම කියන්නේ මහින්ද අමරවීරය. මේවා කියුම් විතර ය. කෙරුම් නැත. ගම්මිරිස් මෙරට නිෂ්පාදනය වන සුපිරි ගණයේ සුළු බෝගයකි. රසයෙන්, ගුණයෙන්, සුවඳින් ඉහළම තත්ත්වයක ඇති ලංකාවේ ගම්මිරිස්වලට ලෝකයෙන් තියෙන්නේ ඉහළ පිළිගැනීමකි. ලෝක වෙළෙඳපොළේ ගම්මිරිස් ඉල්ලුම මෙට්්‍රක් ටොන් ලක්ෂ 3කි. ලංකාව මෙහි ප්‍රධාන සැපයුම්කරුවෙකි. ගම්මිරිස්වලට හෙනහුරා පාත් වුණේ රජයේ ප්‍රබල ඇමැතිවරයකු ද සම්බන්ධ යැයි කියන ප්‍රතිඅපනයන ක්‍රියාවලියත් සමඟ ය.

ඇමෙරිකාව, ජපානය, ජර්මනිය සහ ඉන්දියාව ලංකාවේ ප්‍රධාන ගැනුම්කරුවෝ වෙති. මේ අතරින් ඉන්දියාව ප්‍රමිතියට වඩා සලකන්නේ මිල ගැන ය. ඉන්දියාව ඉල්ලන්නේ මොන විදියකින් හරි මිල අඩු ගම්මිරිස් ය. ලංකාවේ දළ වශයෙන් ගම්මිරිස් මෙටි්‍රක් ටොන් 20,000ක් පමණ නිෂ්පාදනය වෙයි. මෙය වාර්ෂිකව උච්චාවචනය වෙයි (2015 – 27,000: 2017 – 20,000). මෙරට ගම්මිරිස් නිෂ්පාදනය අඩු යැයි කියා ගම්මිරිස් පිටරටින් ගෙන්වා ප්‍රතිඅපනයනය කිරීම විහිළුවක් ය. ගම්මිරිස් මිල පහත වැටීමට ප්‍රධානතම හේතුව මේ ප්‍රති අපනයනයයි. ප්‍රතිඅපනයනය මුවාවෙන් වියට්නාමයෙන් බාල ගම්මිරිස් ගෙනත් කලවම් කරලා ප්‍රතිඅපනයනය කරන්නේ, රටටවත් ගොවියාටවත් තියෙන ආදරයකට නොවේ ය. ඇමැතිවරුන්ගේ අත කට පුරවා ගන්නට ය.

ලෝකයේ දියුණු රටවල් ලංකාවේ ගම්මිරිස් මිලදී ගන්නේ එහි ගුණාත්මකභාවය නිසා ය. මිල වැඩියෙන්ම ගෙවන්නේ ඒ රටවල් ය. ඒත් ඒකෙන් ගම්මිරිස් ගොවියාගේ අතමිට සරු වෙනවා මිස අපනයනකරුවාට කුට්ටි පිටින් ලාභ උපයන්නට බැරි ය. ඒක නිසා අපනයනකරුවන් කළේ ප්‍රතිඅපනයනය මුවාවෙන් දේශීය ගොවියාට ඇති ඉල්ලුම පහළ බැස්සීම ය. මේවා හෙණ ගහන අපරාධ ය. ගම්මිරිස් ප්‍රති අපනයනය සඳහා අවසර දෙන අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද මෙයට වගකිව යුතු ය. මෙරට වෙළෙ½දපොළේ අස්වැන්න වැඩි වෙන කාලය බලා මොවුහු ඉන්දියාව වැනි රටවලට ගම්මිරිස් ප්‍රතිඅපනයනය කරති. ඒකෙන් වෙන්නේ දේශීය ගම්මිරිස් ගොවියාට බඩේ පාර වදින එක ය.

ගම්මිරිස් විතරක් නොවේ. කරුංකාවලට සිද්ධ වෙන්නෙත් මේකම ය. පාකිස්තානයෙන් ගේන බාල කරුංකා මෙරට නිෂ්පාදන ලෙස සහතික කර සාක් කලාපීය වෙළෙඳ ගිවිසුම් යටතේ ප්‍රතිඅපනයනය කරන්නේ ය. මේවා මහා පරිමාණ ජාවාරම් ය. රටට බිලියන ගණන් බදු මුදල් අහිමි කරන ජාවාරම් ය. මේ හැම ජාවාරමකටම සෙවණ දෙන්නේ ප්‍රබල දේශපාලන බලවේග ය. මේවායින් සාක්කු පිරෙන්නේ ඔවුන්ගේ මිස දුප්පත් අසරණ මහ ජනතාවගේ නොවේ ය. මේවාට එරෙහිව මොරදෙන්නට කිසිවකුත් නැත. වගකිවයුත්තන් නන් ‍ෙදාඩවනවා විතර ය. රේගු අධ්‍යක්ෂ ජනරාල්වරියට හිටපු ගමන් ගහෙන් ගෙඩි එන්න වගේ මාරුවක් හම්බ වුණෙත් මේ ජාවාරම්වලට එරෙහිව නැඟී සිටිය නිසා ය. ගම්මිරිස්-කරුංකා ජාවාරම්වල මහ මොළකරුවන් නීතියේ රැහැනට යටත් කළ යුතුය. ඒත් වෙන්නේ ඒකේ අනික් පැත්ත ය. ජාවාරම්වලට එරෙහිව නැඟී සිටින නිලධාරීන්ට සිදුවෙන්නේ ගෙදර යන්නටය. රේගු අධ්‍යක්ෂවරියගේ මාරුව කල් ගියේ රේගු නිලධාරීන්ගේ සටන නිසා ය. රජයේ අවංක නිලධාරීන්ගේ තනතුරු මාරු කරවන්න තරම්, මේ ජාවාරම්කාර ඇමැතිවරු අද බලවත් වී ඇත. රටට හෙණ ගැහුවත්, මිනිස්සුන්ට හෙණ ගැහුවත්, තමන්ගේ සාක්කුව පිරෙනවා නම් මේ තුට්ටු දෙකේ දේශපාළුවන්ට ඒ ඇති ය.

මේ තුච්ඡ දේශපාලන බලවේගවල හැසිරීමට හොඳ උදාහරණය පසුගියදා සිදුවූ බීඩි කොළ බදු වංචා සිද්ධිය ය. කෝටි හතරකට අධික බදු වංචාවක් සිදු කරමින්, නීති විරෝධීව මෙරටට ගෙන්වූ බීඩි කොළ කන්ටේනරයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නූර්ඩීන් ෆයිසල් අහමඩ් නම් සැකකරු ඇප මත මුදා හැරීමට අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඉකුත් සෙනසුරාදා (16දා) නියෝග කොට තිබිණි.

කෝටි 6ක් වටිනා මෙම කන්ටේනරයේ බීඩි කොළ ටොන් ‍ෙදාළහක් තිබී ඇත. රේගුවට වංචා කර කර නිදහස් කර ගත් මේ කන්ටේනරය පසුපස හඹා ගිය රේගු නිලධාරීන් එය වහාම අත්අඩංගුවට ගත්තේ ය. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් පස් දෙනකු ද අත්අඩංගුවට ගත්තේ ය.

රේගු විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වියට්නාමයෙන් මෙරටට ගම්මිරිස් ගෙන්වා ඉන්දියාවට ප්‍රතිඅපනයනය කිරීමේ ජාවාරමේද ප්‍රධාන සැකකරුවකු බවයි. ඒත් රේගු ආරංචි මාර්ග පැවසුවේ මහෙස්ත්‍රාත්වරු දෙදෙනකුම මේ සඳහා අධිකරණ ක්‍රියාවලියට යොමුවීමට මැළිකමක් දැක්වූ බව ය.

රේගු ආඥා පනතට අනුව රුපියල් ලක්ෂ දහයකට වඩා වැඩි වටිනාකමින් යුත් භාණ්ඩ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා සැකකරුවකුට ඇප ලබාදීමේ බලය පැවරෙනුයේ මහාධිකරණයට ය. සැකකරු මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී රේගු ආඥා පනතේ 127වැනි වගන්ති ප්‍රකාරව සැකකරු විසින් රුපියල් ලක්ෂ දහයකට වඩා බදු වංචාවක් සිදුකොට ඇති නිසා ඇප ලබාදිය නොහැකි බවට රේගු නිලධාරීන් අධිකරණයට කරුණු දක්වා ඇත. රේගු නිලධාරීන් පවැසුවේ රේගු ආඥා පනත පිළිබඳ කරුණු දක්වා සිටියදීත් අධිකරණය විසින් සැකකරුට ඇප ලබාදී ඇත්තේ යම්කිසි අයුරක බලපෑමක් නිසා විය හැකි බව ය. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ප්‍රධාන සැකකරුට මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප නියමව ඇත්තේ එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් තිදෙනකුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර තිබියදී ය.

ආරංචි මාර්ග කියන්නේ ප්‍රධාන සැකකරු මෙරට ප්‍රබල ඇමැතිවරයකුගේ සහෝදරයකුගේ හොඳම මිතුරෙක් බව ය. කතාවේ ඇත්ත නැත්ත අපි දන්නේ නැත. රේගුවට සම්බන්ධ ඇමැතිවරයෙක් සිටියදී, ඔහුටත් පිටින් වෙනත් ඇමැතිවරයකු මැදිහත් වීම පුදුමයක් ය.

කෙසේ නමුත් අදාළ සැකකරු පසුගිය 16 වැනිදා අධිකරණය මඟින් ඇප මත මුදාහැර තිබෙන්නේ ප්‍රමාද දෝෂයකින්බැවින් එම ඇපය අවලංගු කර අදාළ සැකකරු ලබන 25 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය 18 වැනිදා නියෝග කළාය.

මෙරට අධිකරණ පද්ධතියට ඇඟිලි ගැසීමට තරම් මේ පහත් දේශපාලන බලවේග නිර්ලජ්ජිත වී ඇත. ඒක එහෙම වෙද්දී පාතාල ගෝඩ් ෆාදර් මධුෂ් අත්අඩංගුවට පත්වීමෙන් තවත් මැති ඇමැතිවරුන්ගේ නම් කරළියට ආවේ ය. කොකේන් ගහන කැබිනට් ඇමැතිවරු 6ක් ගැනත් හෙළිදරව් වුණේ ය. එහෙම බැලුවාම මේ රටේ කුඩුකාරයෝ, ජාවාරම්කාරයෝ, හොරු, වංචාකාරයෝ, දූෂිතයෝ වැඩි හරියක් ඉන්නේ පාර්ලිමේන්තුවේ ය. වැටත් නියරත් ගොයම් කනවා නම්, කාට කියන්න ද?

මේඝනාද

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress