ලංකාව දකුණු ආසියාවේ ආර්ථික කේන්ද්‍රස්ථානයක් කළ හැකියි
Posted on February 25th, 2019

 උපුටාගැණීම  මව්බිම

උපාය මාර්ගික වශයෙන් අතිශය වැදගත් ස්ථානයක පිහිටා ඇති ශ්‍රී ලංකාවට දකුණු ආසියානු කලාපය තුළ ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේ අංග සම්පූර්ණ අවස්ථාවක් ඇතැයි ද එමඟින් සමස්ත කලාපයටම ප්‍රතිලාභ හිමි වනු ඇතැයි ද මෑතකදී ඩුබායිහි පැවති වියොන් ගෝලීය සමුළුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ අදහස් පළ කළේ කලාපය පුරා විවිධ රටවලින් එම අවස්ථාවට සහභාගි වූ ප්‍රමුඛ ආරාධිතයකු වශයෙන් සිය දේශනය පවත්වමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඔහු, එක් අතකින් ශ්‍රී ලංකාව යනු ගෝලීය නාවික ගමන් 50%ක් පමණ සිදු වන සමුද්‍රීය මාර්ගයට මුහුණලා ඉන්දියන් සාගරයේ දකුණු දෙසින් පිහිටි රටක් වන අතර, තවත් අතකින් ඉන්දියාව යනු වේගවත්ම ආර්ථික වර්ධන වේගයක් පෙන්වන හා ලොව විශාලතම පරිභෝජන වෙළෙඳ පොළක් සහිත දේශයක් බවත්, ශ්‍රී ලංකාව සතු මෙම වාසි සහගත තත්ත්වයන් නිසි ලෙස උපයෝගී කරගනිමින් සිය කලාපීය සහකාර රටවල් සමඟ ආර්ථික හවුල්කාරිත්වයෙන් බැඳී සිටියහොත් දකුණු ආසියාව සුපිරි බලවතකු බවට පත්කිරීමේ කාර්යභාරයේදී ශක්තිමත් භූමිකාවක නියැළීමේ හැකියාව තම රටට ඇති බවත් පෙන්වා දුන්නේය.

“ඉන්දියාව කියන්නේ අපේ සමීපතම මිතුරෙක් වගේම අසල්වැසියෙක්. අප දෙරට අතර ඵලදායී අනේ‍යාන්‍ය ගිවිසුම් ඇති කරගැනීම මඟින් ඉන්දියාව අත් කරගන්නා ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභවලින් කොටසක් ශ්‍රී ලංකාවටත් නෙළාගන්නට පුළුවන්. මෙමඟින් සෙත සැලසෙන්නේ අප දෙරටේම ජනතාවටයි. ඉන්දියාව කියන්නේ ලෝකයේ වඩාත්ම බලවත් ආර්ථිකයක් ඇති රටක්ය යන සාධකයත්, එහි ශක්තිමත් යොවුන් බළකායක් ඇති බවත්, ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට විශාල වෙළෙඳ පොළක් සැපයීමේ හැකියාව ඊට ඇති බවත් කිසිවකුට නොසලකා හරින්නට බැහැ.

සංවර්ධනය ගැන අප සිතන විට, අප වෙසෙන කලාපයේ ප්‍රතිපත්ති ගැනත් අප කල්පනා කළ යුතුයි. බලයේ සිටින ආණ්ඩුව කුමක් වේවා,දේශයක් විදියට නොබැඳි ප්‍රතිපත්තිය ගැන දැඩිව විශ්වාසය තබන ශ්‍රී ලංකාව අන් රටවල අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමක් හෝ මැදිහත් වීමක් සිදු කරන්නේ නැහැ. මෙම ප්‍රතිපත්තිය නිසා හොඳ මිතුරකු ලෙස කීර්තිනාමයක් දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා.” යනුවෙන් ඔහු පැවසීය.
සිය රට 30 වසරක ත්‍රස්තවාදයට මුහුණ දුන් බවත්, ඒ නිසා දරිද්‍රතාව අත්විඳීමට ජනතාවට සිදුවූ බවත්, යම්කිසි ත්‍රස්තවාදී සංවිධානයක් පැනනැඟීමට මූලික හේතුව නිසි අධ්‍යාපනයක් නොලැබීම හා රැකියා විරහිත භාවය බවත් ඔහු තවදුරටත් පෙන්වා දුන්නේය.

“කලාපයක් ලෙස අපගේ අවධානය යොමු විය යුත්තේ ජනතාව කේන්ද්‍ර කරගත් සංවර්ධනයක් ගැනයි.

භූ දේශපාලනය ගැන වාදවිවාද පසෙක තබා, කලාපීය හැඟීම පෙරදැරිව සිය ආර්ථික සහකරුවන් සමඟ සමෘද්ධිමත් වීමේ ඉඩ ප්‍රස්තාව සියලු රටවලට සලසමු. කලාපය තුළ සමාජ, දේශපාලනික හා ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීම පමණක් නොව, රටක් වශයෙන් අපටම ආවේණික ක්‍රමයන්ට අනුව ප්‍රතිලාභ අත් කරගැනීමටත් කටයුතු කරමු.”

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress