ගෝටාභයට ඇමරිකාවේ නඩු දාන්න බෑ.. ජනාධිපතිවරණයට ස්ථිරයි..
Posted on April 1st, 2019

අරවින්ද අතුකෝරල

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

එජාපයට මේ දිනවල ගෝඨා භය කියන මරාන්තික රෝගය හැදිලා උණ විකාරයෙන් කියවනවා. මාරාන්තිකයි කිව්වම ඔය රෝගය හැදුනට පස්සේ ආණ්ඩුව මැරෙනවා මැරෙනවා මයි.   රාවණා කුමරු ඉපදුනා කිව්වාම කුවේර රජතුමා වෙව්ලා ගියා වගේ පණ්ඩුකාභය කුමරු ඉපදුනු අවස්ථාවේ මාමාවරු බියෙන් සැලුනා වගේ නාගසේන හිමියන් දුටුවාම මිලින්ද රජ ත්‍රස්ත වුණා වගේ ගෝඨාභය මැතිඳු එන පුවත ඇසූ සැණෙන් එජාපය උණ විකාරයෙන් කියවන්න පටන් අරන්.

මේ අය නිතර කියන කරුණු දෙකක් තිබෙනවා.  ඒ ඇමෙරිකාවේ දී ලසන්ත ඝාතනයට ගෝඨාභය මැතිතුමා චුදිත කරලා නඩු දානවා කියන එක සහ ජනපතිවරණයට වසරකට කලින් ඇමෙරිකානු පුරවැසිකම අත් හැරියේ නැතිනම් ජනපතිවරණයට තරග කරන්න බෑ කියන එක.  අපි දැන් මේ බොරු දෙක ලිහලා බලමු.

ඇත්තටම ලසන්ත ඝාතනය කරපු අයට නඩු දාන්න උවමනාවක් ආණ්ඩුවට තිබුණා නම් පසුගිය වසර හතරේ යස අගේට කරන්න තිබුණා.  අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විපක්ෂ නායක ලෙස සිටිය දී ලසන්ත මැරුවේ කවුද කියලා පාරලිමේන්තුවේ දි කිව්වානෙ.  කිව්ව කෙනා දැන් ඉන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ළඟනෙ.  ඒකනෙ ලසන්ත ඝාතනය ගෝඨාභය මැතිතුමා මත පටවන්න හදන්නේ.  මේ විර්මශනය කවදාවත් අවසන් නොවන්නේ ඇත්ත වැරදිකරු රකිමින් වෙන අය මත වරද පැටවීමට උත්සාහ කරන නිසා.

සර්වලෝක අධිකරණ බලය නැතිනම් universal jurisdiction කියන්නේ එක් රටක දී කරපු අපරාධයකට තවත් රටක දී හෝ ජාත්‍යන්තර අධිකරණයක දී දඬුවම් කිරීමට ඇති හැකියාවටයි.  මේ අධිකරණ බලය යුරෝපීය රටවල් බහුතරයක් පිලිගත්තත් බොහෝ රටවල් පිලිගන්නේ නෑ.  විශේෂයෙන්ම ඇමෙරිකාව සර්වලෝක අධිකරණ බලය භාවිතා කරන්නේ ඉතාමත් සීමිතවයි.  ඒ අනුව පිටරටක සිට ඇමෙරිකාව තුල ත්‍රස්ත ප්‍රහාරයක් වැනි අපරාධයක් කළොත් තානාපති කාරයාලයකට හෝ විදේශයක දී ඇමෙරිකානු නිලධාරියෙකුට අපරාධයක් කළොත් ඒ අය ඇමෙරිකාවට ගෙනැවිත් දඬුවම් කරන්න කටයුතු කර තිබෙනවා.  නමුත් විදේශ රටක දී කරන ලද ඇමෙරිකාවට අදාළ නැති අපරාධ චෝදනාවක් සම්බන්ධයෙන් ඇමෙරිකාව නඩු පවරන්නේ නෑ.  ඒකට එක් හේතුවක් වන්නේ ඇමෙරිකානු හිටපු ජනාධිපතිවරුන්ට එරෙහිව පවා සර්වලෝක අධිකරණ බලය භාවිතා කිරීමට විවිධ සංවිධාන උත්සාහ කර තිබීමයි.

හිටපු ඇමෙරිකානු ජනාධිපති ජෝජ් බුෂ්ට එරෙහිව සර්වලෝක අධිකරණ බලය භාවිතා කලේ ව්‍යවස්ථා අයිතින් පිළිබඳ මධ්‍යස්ථානය විසිනි.  ඇමෙරිකාව විසින් රඳවා ගත් පුද්ගලයින් වද හිංසාවන්ට ලක් කිරීම පිළිබඳ ජනපති බුෂ්ට එරෙහිව ස්විට්ර්සලන්තයේ දී නඩු පැවරීමට මෙම සංවිධානය පියවර ගෙන තිබිණි.  මේ පිළිබඳ දැනගත් ජනපති බුෂ් සිය සංචාරය අවලංගු කලේය.  ඔවුන්ගේ ඊ ළඟ ඉලක්කය වූයේ ජනපති බුෂ්ගේ කැනඩා සංචාරයයි.  එය ද කල් දැමීමට ඔහුට සිදුවිය.

මේ තත්වය යටතේ ලසන්ත ඝාතනය ගෝඨාභය මැතිතුමා මත පටවා ඔහුට ඇමෙරිකාවේ දී නඩු පවරන්න කවුරුන් හෝ සැලසුම් කරනවා නම් එය දවල් හීනයක් පමණයි. මේක එජාපය ගෙතූ තවත් එක් බොරුවක්.

එජාපය කියන දෙවන කතාව තමයි ජනපතිවරණයට ඉදිරිපත් වෙන්න නම් ඡන්දයට වසරකට කලින් ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගන්න ඕනි කියන එක.  කොහේද ඕක තිබෙන්නේ? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මොන වගන්තියේද ජනාධිපතිවරණ පනතේ කුමන වගන්තියේද ඕක තියෙන්නේ.  අවම වශයෙන් ද්විත්ව පුරවැසිකම නාමයෝජනා ප්‍රතික්ෂේප කරන්නවත් හේතුවක් නොවේ.  නමුත් නාමයෝජනා භාර දෙන දවස වන විට ද්විත්ව පුරවැසිකම අත්හැර තිබීම ප්‍රමාණවත්. ඒ නිසා නීති පොත පෙරලා හරි දේ දැන ගෙන කතා කරනු මැනවී කියලා අපට එජාප මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලා සිටින්නට සිදු වෙනවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress