ඡන්ද පෙරදැරි කරගෙන ආණ්ඩුවේ වියදම් වැඩිකිරීම, එම වියදම් පියවීමට මහා පරිමාණයෙන් ණය ගැනීම, හා එම ණය ගෙවීමට මහා පරිමාණයෙන් බදු ගැසීමේ විෂම චක්‍රය
Posted on April 9th, 2019

මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂ නායක

2019 අයවැයට අනුව සියලුම රජයේ සේවකයින්ට රුපියල් 2,500ක විශේෂ මාසික දීමනාවක් දීමට නියමිතය. විශ්‍රාම වැටුප් ඉහළ දැමීමට නියමිතය. පවුල් 600,000ක් අලුතින් සමෘද්ධි ලාභීන් හැටියට බඳවා ගැනීමට නියමිතය. දැනට සිටින සමෘද්ධි ලාභීන්ට මෙම වසරේ තමන්ගේ අනිවාර්ය ඉතිරි කිරීම්වලින් අලුත් අවුරුද්දට හා නත්තලට වියදම් කිරීමට කොටස් දෙකකින් රුපියල් 30,000ක් මුදා හැරීමට නියමිතය. අලුතින් පිහිටුවන ලද අතුරුදහන්වුවන්ගේ කාර්යාලය විසින් සියලුම අතුරුදහන් වු පුද්ගලයින්ගේ පවුල්වලට රුපියල් 6,000ක මාසික දීමනාවක් ගෙවීමටත්, එම දීමනාව වන්දි කාර්යාලය පිහිටුවා වන්දි මුදල් ගෙවනතුරු පවත්වාගෙන යෑමටත් නියමිතය. මෙය මැතිවරණ වසරක් වන නිසා මේ සියල්ල මැතිවරණයට සම්බන්ධයක් තිබෙන බවට බොහෝ අය සැක කරනු ඇත.

ආණ්ඩුව තවත් පවුල් 600,000කට සමෘද්ධි ප්‍රතිලාභ ලබා දීම සාධාරණීකරණය කරන්නේ දේශපාලන හේතුන් මත සමෘද්ධිලාභීන් විය යුතු පවුල් විශාල ගණනකට එම ප්‍රතිලාභ අහිමි කර තිබු බව කියමිනි. මේ ආකාරයට දිගුකාලයක් තිස්සේ පැවතුනා යැයි කියන අසාධාරණයක් ආණ්ඩුවේ අවධානයට යොමු වී ඇත්තේ අවුරුදු හතරකට වඩා කාලයක් රට පාලනය කිරීමෙන් පසුව වීම මවිතයට හේතුවකි. ආණ්ඩුව මේ ගැන කරන ප්‍රකාශ වලින් පැහැදිලි වන්නේ අලුතින් බඳවා ගන්නා සමෘද්ධිලාභින් 600,000ය දේශපාලන නිර්ණායක මත තෝරා ගන්නා බවය. මෙවැන්නක් ඔවුන් කරන්නේ දුගීභාවය තුරන් කිරීම පෙරදැරි කරගෙන නොව ඡන්දය පෙරදැරි කරගෙන බව පැහැදිලිය. රටේ දුගීභාවය අඩු කළ බව කියන අතරම සමෘද්ධි ලාභීන්ගේ ගණන  42% කින් වැඩිකිරීම තුළ නෛසර්ගික පරස්පරතාවයක්ද ඇත. එමෙන්ම සමෘද්ධිලාභීන්ගේ අනිවාර්ය ඉතුරුම්වලින් අලුත් අවුරුද්ද හා නත්තල වෙනුවෙන් වියදම් කිරීමට මුදල් ලබා දීම වෙනත් වසරවලදී සිදු කර නැත. එක් අවුරුද්දක් තුල රු.30,000ක් මුදා හැරීමෙන් පසු ඉදිරි අවුරුදු වලදී එවැනි දීමනා ලබා දීමට මුදල් නැතිවන බවද පැහැදිලිය.

සමෘද්ධි ලාභින් සඳහා අනිවාර්ය ඉතුරුම් පවත්වාගෙන යන්නේ ඔවුන් තුළ ඉතිරි කිරීමේ පුරුද්ද ඇතිකිරීමටත්, ස්වයං රැකියා හා ජීවනෝපාය පවත්වාගෙන යෑම වැනි කටයුතුවලට යෙදවීම සඳහාය. උත්සවවලට වියදම් කිරීම සඳහා සමෘද්ධිලාභින්ගේ අනිවාර්ය ඉතිරි කිරීම් මුදා හැරීමක් ගැන මීට පෙර අපි අසා නැත. සමෘද්ධිලාභින්ගේ ඉතිරිකිරීම් වලින්  මුදාහැරීමට නියමිත මේ රුපියල් 30,000 හැරුණු විට ඉහත සඳහන් කරන ලද සියලුම සහන හේතුවෙන් ආණ්ඩුවේ වියදම් විශාල වශයෙන් වැඩි වනු ඇත. 2015 යහපාලන ආණ්ඩුවේ පළමු අයවැයෙන් සියලු රජයේ සේවකයින්ට රුපියල් 10,000ක විශේෂ දීමනාවක් දීම, ඉන්ධන හා ගෑස් මිල මෙන්ම ඇතැම් ආහාර ද්‍රව්‍ය වල මිල පහත දැමීමද සිදුවිය. මෙයින් ඔවුන් බලාපොරොත්තු වුයේ 2015 අගෝස්තු මහ මැතිවරණය ජය ගැනීමය. ඉන්පසුව ඔවුන් කලේ 2014 දී රුපියල් බිලියන 1,050ක්  වු ආණ්ඩුවේ සමස්ථ බදු ආදායම 2015 අවුරුද්ද ඇතුළතම රුපියල් බිලියන 1,355ක් දක්වා වැඩි කර ගැනීමයි. මෙය එක් අවුරුද්දක් තුළ රුපියල් බිලියන 305 ක වැඩිවීමකි.  

රුපියල් බිලියන 305 ක් යනු අපේ ආණ්ඩුව යටතේ නම් අවම වශයෙන් අවුරුදු තුනක් පමණ මුළුල්ලේ සිදු කළ බදු වැඩි කිරීමකට සමාන මුදලකි. මහජනතාවට පීඩාවක් ගෙන නොදීම සඳහා අපි ප්‍රතිපත්තියක් හැටියට වසරකට සමස්ථ බදු ආදායම වැඩි කිරීම රුපියල් බිලියන 50 සිට බිලියන 100 දක්වා සාධාරණ පරාසයක් තුළ පවත්වාගෙන ගියෙමු. අපේ පාලන සමය තුළ 2006 සිට 2009 දක්වා දරුණු යුද්ධයක් තිබියදී වුවත් ආර්ථිකයේ සාමාන්‍ය වර්ධන වේගය වසරකට 6% ක් විය. යුද්ධය අවසන් වු පසු 2010 සිට 2014 දක්වා වූ වසර පහේදී  සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය 7.4% දක්වා වැඩි විය. නිදහස ලැබුණ දා සිට කිසිම ආණ්ඩුවක් 7.4%ක තබා 6%ක සාමාන්‍ය  වර්ධන වේගයක්වත් පවත්වාගෙන ගොස් නැත. අපේ පාලන සමය තුළ ආර්ථිකය ඒ ආකාරයට වර්ධනය වු නිසා ඒ කාලයේ පනවන ලද සාධාරණ බදු ආර්ථිකයට ඉතා පහසුවෙන් අවශෝෂණය කර ගැනීමට හැකි විය.  

2019 වසරේදී වත්මන් ආණ්ඩුව රුපියල් බිලියන 2,077ක සමස්ථ බදු ආදායමක් මහජනතාවගෙන් එකතුකර ගැනීමට බලාපොරොත්තු වේ. එය 2014 දී එකතු කළ බදු ආදායම මෙන් දෙගුණයකි. ඒ ආකාරයට මහජනතාවගෙන් මොවුන් මුදල් ලබා ගැනීමට බලාපොරොත්තු වන්නේ ආර්ථිකයේ වර්ධන වේගය 2015 දී 5% දක්වාත්, 2016 දී 4.5% දක්වාත්, 2017 දී 3.1% දක්වාත්, අඩුවී තිබෙන තත්වයක් තුළය. 2018 වර්ධන වේගයද 3% ක් පමණ නොඉක්මවන බවට ගනන් බලා ඇත. මේ අඩු වර්ධන වේගය නිසා රටේ ජනතාවට වත්මන් ආණ්ඩුවෙන්  පනවන ආකාරයේ බදු බරක් දැරීමට ශක්තියක් නැත.

රජයේ සමස්ථ ණය බර 2014 අවසානයේදී රුපියල් බිලියන 7,391ක් වු අතර, 2018 අවසන් වන විට එය රුපියල් බිලියන 11,859ක් ඉක්මවා 62% කින්  වැඩි වී තිබුණි. මේ ආකාරයට ආණ්ඩුවේ ණය බර වැඩි වුයේ යහපාලන ආණ්ඩුවට ඡන්දය දැමීමට මිනිසුන් පොළඹවා ගැනීමට ගිය වියදම් පියවා ගැනීමට මහා පරිමාණයෙන් ණය ගැනීම නිසාය. මේ දැවැන්ත ණය කන්දරාවෙන් පසුගිය අවුරුදු හතර මුළුල්ලේ කිසිදු සංවර්ධන වැඩක් සිදු වී නැත. ආණ්ඩුවෙන් වැටුප් වැඩි කරන විට නැතිනම් වෙනත් සහනයක් ලබා දෙන විට ඒ සහන ලැබූ අය තමන්ට යමක් ලැබුණා යැයි සිතා සතුටු වේ. නමුත් වත්මන් ආණ්ඩුව එක් අතකින් දෙන දෙය අනෙක් අතින් ඉතා ඉක්මනින් ඩැහැ ගනී. වත්මන් ආණ්ඩුව යටතේ සිදුවන කෙළවරක් නැති බදු ගැසීම  හා රුපියලේ අගය කඩා වැටීම නිසා ලැබෙන වැටුප් වැඩිවීම් ඉතා ඉක්මනින් අතුරුදහන් වේ.

2014 දී ඇමරිකානු  ඩොලරයට රු.131ක් වු විනිමය අනුපාතය යහපාලන ආණ්ඩුව යටතේ  රුපියල් 180 දක්වා වැඩි වීම හේතුවෙන් සියලුම ආනයනික භාණ්ඩවල මිල ඉහළ ගොස් ඇත. අපේ  ආණ්ඩුව පැවති සමයේදී මහජනතාවට දැරීමට සිදු වු බදු බර අදට වඩා බෙහෙවින්ම අඩු වු අතර ආනයනික භාණ්ඩවල මිල වැඩිවීම වැලැක්වීම සඳහා විනිමය අනුපාතයද අපි පාලනයකට යටත් කොට පවත්වාගෙන ගියෙමු. එම නිසා අපේ ආණ්ඩුව විසින් ලබාදුන් වැටුප් වැඩිවීම වැනි සහන සත්‍ය වශයෙන්ම ජනතාවගේ අතේ රැදිණි. රජයේ සේවකයින්ට රුපියල් 10,000ක විශේෂ දීමනාවක් ලබා දී ඉන්ධන හා ඇතැම් ආහාර ද්‍රව්‍ය වල මිල අඩු කළ පළමු යහපාලන මුදල් ඇමතිවරයා අවුරුදු දෙකක් වැනි කෙටි කාලයක් තුළ බදු වැඩි කිරීම හේතුවෙන් ජනප්‍රියතාවයෙන් පිරිහුණු නිසා ඔහුව මුදල් අමාත්‍යංශයෙන් ඉවත් කොට විදේශ අමාත්‍යංශයට  යවනු ලැබුවේය. යහපාලන ආණ්ඩුව විසින් සහන ලබාදිම, හා ඒ හේතුව නිසාම වැඩියෙන් බදු ගෙවීමට පටන් ගැනීමට සිදුවන කාල පරාසය පිළිබඳව යම් අදහසක් ඒ සිදුවීමෙන් අපට ලබාගත හැක.

පවතින ආණ්ඩුවේ මැතිවරණ අවශ්‍යතා සඳහා ආණ්ඩුවේ වියදම් වැඩි කිරීම, එම වියදම් පියවීම සඳහා  මහා පරිමාණයෙන් ණය ගැනීම, හා එසේ ලබා ගත් ණය ගෙවීමට මහජනතාව මත මහා පරිමාණයෙන් බදු බර පැටවීම යන විෂම චක්‍රයට ශ්‍රී ලංකාව අද  හසුවී සිටී.

මහින්ද රාජපක්‍ෂ

විපක්‍ෂ නායක

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress