පුරවැසි වගකීම ඉටුකිරීමට ජනතාව පෙරට ආ යුතුයි.
Posted on April 21st, 2019

පූජ්‍ය වකමුල්ලේ උදිත හිමි ලේකම්  ජාතික භික්‍ෂු පෙරමුණ.

අද උදෑසන සිට තැනින් තැන සිදුවන හදිසි පිපිරීම් නිසා මුළු රටම මේ වන විට දැඩි නොසන්සුන්කාරී තත්වයකට පත්ව ඇත. මේ දක්වාම රජය මගින් මෙම සිදුවීම් දාමය පිළිබඳව නිවැරදි ප‍්‍රකාශයක් කර නැත. එම නිසාම මෙහි ව්‍යාකූලත්වය තවත් බරපතල වී තිබේ. ප‍්‍රහාරයන්ගෙන් ජීවිතක්‍ෂයට පත්වී සිටින සිංහල, දෙමළ, මුස්ළිම්, බර්ගර්, මැලේ ශී‍්‍ර ලාංකීය හා විදේශීය සියලූ දෙනා වෙනුවෙන් ජාතික භික්‍ෂු පෙරමුණ දැඩි සංවේගය පළකර සිටින අතර මෙම ප‍්‍රහාරය දැඩිව හෙළා දකින්නෙමු. එසේම මෙම ප‍්‍රහාරයට සම්බන්ධ සැබෑ වගඋත්තරකරුවන් සොයා අත්අඩංගුවට ගෙන නීතිය ක‍්‍රියාත්මක කිරීමත් ආණ්ඩුවේ වගකීමක් බව අවධාරණය කරන අතර මෙම ප‍්‍රහාර මාලාවට මුවා වී විවිධ පුද්ගලයන්ට හා සංවිධානවලට එල්ල විය හැකි අභූත චෝදනා හා හිංසාකාරී ක‍්‍රියාකාරකම් වැළැක්වීම වෙනුවෙන් ආණ්ඩුව කඩිනම් වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කළ යුතුව ඇත. එසේම ජනතාවද තමන්ගේ පුරවැසි වගකීම පටු සීමාවන්ට කොටු නොවී ඉටු කිරීම සඳහා පෙරමුණ ගත යුතුව ඇති බවද අපි අවධාරණය කරන්නෙමු.

රාජ්‍ය ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා පූර්ණ වගකීම දැරිය යුත්තේ පවතින ආණ්ඩුවයි. ඒ සඳහා විවිධ තොරතුරු සේවා සහ ආරක්‍ෂක විධිවිධාන රාශියක් ආණ්ඩු විසින් අනුගමනය කරමින් සිටී. එසේ තිබියදී හදිසියේ මෙවැනි ප‍්‍රහාර මාලාවක් සිදුවීම සම්බන්ධයෙන් ආණ්ඩුව දැඩිව අවධානය යොමුකළ යුතුව ඇත. ජාතික ආරක්‍ෂාව පිළිබඳව ආණ්ඩුව මීට වඩා සැලකිල්ලෙන් කටයුතු කළ යුතු බව අවධාරණය කරන අප මේ සිදුවීම හමුවේ විවිධ සංවිධාන හා පුද්ගලයන් තමන්ගේ පටු අරමුණු ඉටුකර ගැනීම සඳහා විවිධ උත්සාහයන් ගත හැකි බැවින් ඒ පිළිබඳව වඩාත් වැඩි අවධානයකින් ජනතාව සිටිය යුතු බවද අවධාරණය කිරීමට කැමැත්තෙමු. එසේම මේ මොහොතේ රට තුල සාමකාමී වාතාවරණයක් ගොඩනැගීම සඳහා මහා සංඝරත්නය මෙන්ම ක‍්‍රිස්තියානි, ඉස්ලාම් හා හින්දු ආගමික නායකත්වයට සුවිශේෂී වගකීමක් පැවරෙන බවද එකී වගකීම දැරීම සඳහා කටයුතු කළ යුතු බවද අපගේ අදහසයි.

මෙම ප‍්‍රහාර මාළාවෙන් තුවාල ලබා රෝහල් ගතව සිටින සැමට ඉක්මන් සුවය ලැබේවායි ප‍්‍රාර්ථනා කරන ජාතික භික්‍ෂු පෙරමුණ මෙම ඛේදවාචකය නිසා විපතට පත් සියලූ ජනයා සමග සමසේ දුක, වේදනාව, සංවේගය බෙදා ගැනීමට සියලූ ශී‍්‍ර ලාංකික භික්‍ෂු මහා සංඝයා නියෝජනය කරමින් ඉදිරිපත්වන බවද අවධාරනය කරන්නෙමු.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress