ඇත්ත වෙනුවට නැත්ත!
Posted on August 10th, 2019

වාගිස ප්‍රනාන්දු.

මෑතකදී, ජනතා විමුක්ති පෙරමුණේ නලින්ද ජයතිස්ස මංත්‍රීවරයා ලංකාවේ පලවෙන එක්තරා ජාතික පුවත්පතකට පවසා තිබුනේ කුරුඳු, ගම්මිරිස්, ගොරකා, කරුංකා, කරාබුනැටි ආදී භෝගවල මිළ බරපතළ කඩාවැටීමක් තිබෙනබවත් ඒනිසා ගොවියාට සාධාරණ මිලක් නොලැබෙන්නේ බවත්ය. තවදුරටත් අදහස් පළකරමින් මංත්‍රීවරයා පවසා ඇත්තේ පසුගිය කාලයේ ලංකාවේ වසරකට ගම්මිරිස් මෙට්රික් ටොන් 2800 ක් නිෂ්පාදනය කරන විට මෙට්රික් ටොන් 14000 ක් අපනයනය කර ඇති බවකි. තවද, ප‍්‍රතිඅපනයනය නිසා අපේ අපනයනයන් ක්‍රමයෙන් අඩුවූ බවත් විශේෂයෙන්ම වියට්නාමයෙන් ආනයනය කරන ගම්මිරිස් දේශීය ගම්මිරිස්වලට කලවම් කිරීම නිසා ගුණාත්මකභාවය අඩුවී ඇති බවත්ය.

නලින්ද ජයතිස්ස මංත්‍රීවරයා මේ කතා කරන්නේ තමන්ගේ බත්කන කටින්ද එසේත් නොමැතිනම් තමන්ගේ සිරුරේ ඇති වෙනත් අප්‍රකට අවයවයකින්ද යන්න මුළින්ම ඇසිය යුතු ප්‍රශ්ණයකි.

ගම්මිරිස් ඇතුළු ලංකාවේ කුළුබඩු සදහා මෑත යුගයේ අවම ඉල්ලුමක් මෙන්ම ඒවායේ මිළ පහත වැටීමට මූලික හේතුවක් වූයේ ප්‍රතිඅපනයනයයි. රටතුල කුළුබඩු නිශ්පාදනය වන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් විදේශ රටවලට මෑත කාලයේදී අපනයනය කිරීමට හැකිවූයේ මේ කූඨ ප්‍රතිඅපනයනය ක්‍රියාවලිය හේතුවෙනි. ඒ බව ලංකාවට මුළින්ම අනතුරු ඇගවුයේ අපේ අසල්වැසියාවන ඉන්දියාවෙනි.

මේ අතර ප්‍රධාන තැනක් ගන්නේ වියට්නාමයෙන් මෙරටට ගම්මරිස් ආනයනය කර ඒවා නැවත ලංකාවේ ගම්මිරිස් ලෙස හුවා දක්වමින් ප්‍රතිඅපනයනය කිරීමයි. මේ මගින් ලංකාවේ කුළුබඩු ව්‍යාපාරයට සිදුවූ හානිය ඉතා බරපතලය.

විදෙස් රටවල ගුණාත්මකබවෙන් අඩු කුළුබඩු ලංකාවේ කුළුබඩු ලෙස හුවා දක්වමින් අපනයන කිරීම නිසා, විදේශිකයින් අතර ලංකාවේ කුළුබඩුවල ගුණාත්මක තත්වය පිළිබදව මේ දක්වා තිබූ විශ්වාසය බිද වැටීම සහ මෙකී කූඨ ප්‍රතිඅපනයන ක්‍රියාවලිය නිසා ලංකාවේ නිශ්පාදනය කරන සැබෑ දේශීය කුළුබඩුවල මිළ සීඝ්‍රෙයන් පහත බැසීම ඉන් ප්‍රධාන තැනක් ගනී.

තත්වය මෙසේ තිබියදී ජනතා විමුක්ති පෙරමුණේ නාමල් කරුණාරත්ණ හිටපු පාර්ලිමෙන්තු මංත්‍රීවරයා ගම්මිරිස් මිළ පහත වැටීම වැලැක්වීම සදහා රජය මැදිහත්විය යුතු බව පවසමින් රටේ ගම්මිරිස් වගාකරන ගොවි මහතුන් සමග සහන ඉල්ලා මහ මග උද්ඝෝෂණ කලේ වරක් දෙවරක්ද නොවේ. ගම්මිරිස්වල මිළ පහත වැටීමට රජය වගකිව යුතු බව පැවසූවද ගම්මිරිස්වල මිළ මේ අයුරින් පහත වැටීමට සත්‍ය හේතුව ව්‍යාපාරිකයින් කීපදෙනෙකු විසින් කරගෙන යනු ලබන ගම්මිරිස් ප්‍රතිඅපනයනය බව හෙළි නොකිරීමට නාමල් කරුණාරත්න බෙහෙවින් පරිස්සම් විය.

අපනයන සංවර්ධන මංඩලය සහ රේගුවද එපමණටම මෙකී කූඨ ප්‍රතිඅපනයේ යෙදී සිටි අපනයනයකරුවන්ද මේ තත්වයට වගකිව යුතු නොවේද? ලංකාවේ සැබෑ නිශ්පාදන ධාරිතාවයන් නොදැන සිටීම සහ වාර්ශික නිශ්පාදනයට වඩා වැඩි ප්‍රමාණයක් අපනයනය කරන බව නොදැන සිටීම මත අපනයන සංවර්ධණ මංඩලය සහ රේගුවද, විදෙස් රටවල නිශ්පාදනයන් ලංකාවේ නිශ්පාදන ලෙසින් ප්‍රතිඅපනයනය කිරීම මගින් ලංකාවේ සැබෑ දේශීය නිශ්පාදනවලට සහ එකී නිශ්පාදනකරුවන්ට වර්තමානයේදී අත්කරදී ඇති ශෝචනීය ඉරණම මත මෙකී ප්‍රතිඅපනයනයකරුවන්ද මේ තත්වයට ප්‍රධාන වශයෙන් වගකිවයුතු නොවේද?

දේශීය ගම්මිරිස්වල මිළ පහත වැටීමේ සත්‍ය හේතුව කරළියට පැමිනෙන්නේ පසුගිය පාස්කු ඉරිදා එල්ල කෙරුනු අමානුශික බෝම්බ ප්‍රහාරයෙන් පසුවය.

පසුගිය පාස්තු ඉරිදා ප්‍රහාරයෙන් පසුව දෙමටගොඩදී අත්අඩංගුවට පත් ඊබ්‍රාහීම් ප්‍රසිද්ධ කුළුබඩු අපනයනයකරුවෙක් මෙන්ම 2015 ජනතා විමුක්ති පෙරමුනේ ජාතික ලැයිස්තුවේ සිටි පුද්ගලයෙක්ද වේ. මුලදී ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා විසින් ඊබ්‍රාහිම් තම පාක්ෂිකයෙකු නොවන බවට කීමට අසාර්ථක උත්සාහයක් දැරුවද, පසුව විජිත හේරත් මංත්‍රීවරයා ඊබ්‍රාහීම් තම පාක්ෂිකයෙකු වුවත් ඔහුගේ පුතුන් දෙදෙනාගේ ත්‍රස්තවාදී ක්‍රියාවන් සම්බන්ධයෙන් ඊබ්‍රාහීම් නොදැන සිටින්නට ඇතැයි තමන් තවමත් විශ්වාස කරන බව පාර්ලිමෙන්තුවේදී ප්‍රකාශ කරන ලදී.

මේ අතර, ඊබ්‍රාහිම් කුළුබඩු අපනයනකරුවෙකු පමණක් නොව වියට්නාමයෙන් ගම්මිරිස් ගෙන්වා ඒවා ලංකාවේ ගම්මිරිස්වලට කලවම් කර ලංකාවේ ගම්මිරිස් ලෙසට ප්‍රතිඅපනයනය කල කූඨ ව්‍යාපාරිකයින් අතරින් ප්‍රමුඛයෙකු ලෙසද කරුනු අනාවරණය විය.

ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු ලෙස නලින්ද ජයතිස්ස මංත්‍රීවරයා මේ සියල්ල නොදැන සිටියා යැයි අපට විශ්වාස කල නොහැක.නලින්ද ජයතිස්ස මංත්‍රීවරයා ඇත්ත දැන දැනත් කුළුබඩු නිශ්පාදනවලට වර්තමානයේදී අත්වී ඇති ශෝචනීය ඉරණම ගැන තවදුරටත් කිඹුළ් කදුළු හෙළමින් මේ අයුරින් අදහස් පලකරන්නේ තමන්ගේ බත් කන කටින්ද එසේත් නොමැතිනම් තමන්ගේ සිරුරේ ඇති වෙනත් අප්‍රකට අවයවයකින්ද යනුවෙන් අප මුළදීම ප්‍රශ්ණකර සිටියේ මේනිසාවෙනි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress