ගින්දර ආණ්ඩුවක් කවදා උදා වේවිද?
Posted on August 18th, 2019

සිතුම් රාජකරුණා 

ඒ ඒ විෂයන්හි වියත්, ස්වචින්තනයකින් යුත් ගුණවත් විෂය භාර ඇමතිලා සපිරි ගින්දර ආණ්ඩුවක 

දේශ-පාලනය නොකර, දේශ-මෙහෙකාරකමේ  යෙදෙන ‪එතෙර නාකි ඇලඩින්ලාගේ ශුද්ධ වූ බුමුතුරුණු කඳුලින් දෝවනය කරන අපේම තැලුණු පිච්ච මව්වරු යළි මෙහි වඩම්මවා ඒ අයට එකලාව සමෘද්ධ වීමට සමෘධිය  නොව, අත, හිත වගේම නිදහසේ පිබිදීමට සැලසුම් සපයා දෙන 

රටේ හෙට දින පිපෙන්නට කල් බලමින් සිටින චූටි   පොහොට්ටු වලට, කුජ ග්‍රහයා දෙස නෙත් යොමා සිටින දුරේක්ෂ කාච විවරයෙහිද  හෙළ බොදු හැදියාව කියූ , ගවයා ඇති සඳකඩ පහනේ නෙළුමෙහි ද රැඳි පින්නෙන් දිය දෙන 

 දැනට ලොව සම්පතක් කරගෙන ඇති අපේම වැඩ්ඩන් ගෙන්වා, කළකිරීම් පහකොට, රටේ සම්පත් පොළොවෙන් ඔසවා , ජේතවනය සේ උසට ජාතියේ  ‘සක්කෝ’ ගුණය නංවන 

දත් කුහර වන් රැස්වීම් වසන පිරවුම් ලෙස ජනයා නොසලකන, මිනිසාගේ ස්වෛරීයත්වයට ගරු කරන, ඔවුන් සමඟ වායු සමීකරණය නොකළ , බසයේදී , කෝච්චියේදී කොණ්ඩය අවුල් කරන, සමීකරණ නොවූ සරල වූ හුළඟ ආඝ්‍රහණය කරමින් ගමන් කරන ,ප්‍රභුත්වය සමාජ රෝගයක් ගණනට දමා ඒ ගැන ලජ්ජා වන, මාරයා විනිවිදින ආරක්ෂක භටයන් වෙනුවට, තම අවංක සේවයේ සුභ විපාක පළිහය පෙරමුණේ තබා දිවි ගෙවන 

සුඛෝපභෝගීත්වය නිසා, තමාට ජනතා දුක නොහැඟෙන ලෙස මුළු සර්වාංගයම නිර්වින්දනය වෙන  බව දැන, එය මුල් කැවුම සේ අහක ලන 

ජනතා ජීවයෙන් තැනූ ජාතික නිෂ්පාදන නංවන උපායන්හි   වැහුම් අරිද්දී, අනුන්ව දම්මවා තමාට පුදාගන්නවා වෙනුවට,  බුදුන්ට මල් පුදා, කැටපත් ඵලක වල අතිගරු නම් නොකොටා ශ්‍රී බුද්ධ වර්ෂය පමණක් දිලිසීමට සලසා දෙන   

කැමරාවන් ඇහැරීමට පෙර අඳුරු සීතල අළුයම පමණක් පන්සල් වඳින 

තම ආර්යාවන්, දරුවන් හා ඥාතීන් පළමු ආර්ය සත්‍යයෙන් කෘතීමව වසන් නොකෙරුන විදෙස් ආභාෂ උකහාගෙන මුත් බඩගැති පෙරාපරදිග යක්ෂයින්ගේ අමාශගත නොවී බේරෙන 

 නානාප්‍රකාර ආක්‍රමණික පිළිකා පළමු අවදියේම දැන හඳුනාගෙන මිලිටරි චිකිත්සා මාර්ගයෙන් මර්ධනය වෙන

නැවතත් ඡන්ද සමය ලං වූ විට, ජනතා සේවයෙන් හෙම්බත්ව, කෙසඟ වූ ඇමති තුමා,  ගෙයින් ගෙට යනවා තබා නැගිටගන්නවත් පණ නැතිව වැතිර හිඳිද්දී, පිරිපුන් ශරීර හෙබි ජනතාවම චාම් නිල නිවෙස් කරා විත් තුටු පඬුරු දී, ගුණ වයන

 දිනය කවදා උදා වේවිද?

~සිතුම් රාජකරුණා 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress