පාසල් ළමයින්ට නිල ඇදුම් පොළපොත් ටික දෙන්න වැඩපිළිවෙලක් නැහැ…අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ ලේකම් හිටපු නාගරික මන්ත්‍රීනි සමන්මලී ගුණසිංහ
Posted on December 18th, 2019

අයිතීන් උදෙසා කාන්තාවෝ මාධ්‍ය හමුව – 18.12.2016

මේ වනවිට නිල ඇඳුම්, පෙළපොත් ලබානොදීම නිසා දරුවන්ගේ අධ්‍යාපනයට විශාල ගැටලුවක් මතුවෙලා.  ප්‍රසිද්ධ කියමනක් තිබෙනවා ආර්ථික අපහසුතා නිසා අනෙක් කුමන වියදම් කපා හැරියත් අධ්‍යාපනය වෙනුවෙන් කරන වියදම් කපා දාන්න එපා කියලා. මොකද රටක අධ්‍යාපනය කියන්නේ අනාගතයට කරන අයෝජනයක්. ඒක රටේ අනාගත සංවර්ධනයට බලපානවා. රටක මානව සම්පත් කළමනාකරණය කියන්නේ රටේ සංවර්ධන උපායමාර්ගයේ ප්‍රධාන කොටසක්. නමුත් ලංකාවේ පහුගිය කාලයේ අධ්‍යාපනය වෙනුවෙන් කරන ආණ්ඩුවේ වියදම දෙමාපියන් දක්වා විතැන් වුනා. අධ්‍යාපනය වාණිජකරණයවීම නිසාම අධ්‍යාපනයේ ප්‍රමිතිය අඩුවුනා විතරක් නෙවෙයි අධ්‍යාපනය විකිණෙන භාණ්ඩයක් බවට පත්වුනා. එහි ප්‍රතිඵලයක් විදියට අධ්‍යාපනයේ සම්පූර්ණ බර දෙමාපියන් මත පැටවුණා. අධ්‍යාපනය වෙනුවෙන් දෙමාපියන්ට විශාල විදයමක් දරන්න සිදුවෙලා. පාසල්වල ගොඩනැගිලි, යටිතලපහසුකම්, ඩෙස්පුටු, විවිධ පාසල් උපකරණ, ක්‍රීඩා භාණ්ඩවලට වැයවන මුදල් සියල්ලේ බර දෙමාපියන් මත පැටවෙන තත්වයක් ඇතිවෙලා තිබෙනවා. එය දැන් පාසල් නිල ඇඳුම පෙළපොත්වල වියදමේ සිට සියල්ල දක්වා වර්ධනය වෙලා තිබෙනවා.
පහුගිය කාලේ විශාල කතාබහක් ඇතිවුණා රටේ වීදි දරුවෝ ගැන; මෙහෙකාර සේවයේ යෙදෙන දරුවන් ගැන; අඩු ආදායම් ලබන පවුල්වල මව පිට රට යෑම ගැන; මේ සියලු ඛේදවාචකයන්ගේ ප්‍රතිඵලය වී තිබෙන්නේ දරුවන් අධ්‍යාපනයෙන් ගැලවීයෑමයි. දුප්පතකම නිසා අඩු ආදායම් ලබන පවුල්වල දරුවන් අධ්‍යාපනයෙන් විතැන් වෙනවා. පළමු පංතියට ඇතුල් වෙන දරුවන්ගෙන් හැටදහසක් පමණ සාපෙළ විභාගය වෙන විට පාසල් අත්හැර යනවා. ඒ දරුවන් සමාජයේ විෂම දේවල්වලට ගොදුරු වෙමින් තිබෙනවා. 
පහුගිය නොවැම්බර් 16වෙනිදා ජනාධිපතිවරණයෙන් පස්සේ 17 ප්‍රතිඵල නිකුත් වුනා. 18වෙනිදා ජනාධිපතිවරයා දිවුරුම් දුන්නා. ආණ්ඩුවක් හදාගත්තා. ඇමති මණ්ඩලය දිවුරුම් දුන්නා. තමන්ගේ බලය වෙනුවෙන් අවශ්‍ය දේවල් සීග්‍රයෙන් කරගත්ත ආණ්ඩුව දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සම්පූර්ණ කරන්න කිසිදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න අසමත්වෙලා තිබෙනවා. හිටපු ආණ්ඩුවේ අධ්‍යාපන ඇමතිවරයාට මේ නොවැම්බර් නිවාඩු ගන්න ළමයින්ට නිල ඇදුම් ටික පාසල් පෙළ පොත් ටික ලබාදෙන්න වැඩපිළිවෙළක් තිබුණේ නැහැ. ඒ වගකීමෙන් මිදෙන්න හිටපු ජනාධිපතිට, අගමැතිට, ඇමතිට පුළුවන්කමක් නැහැ. ඒ වගේම 18 දිවුරුම් දුන්න අලුත් ජනාධිපතිතුමාට අලුත් අධ්‍යාපන ඇමතිතුමාටත් පාසල් නිවාඩුවට සති දෙකක් තිබුණත් ඒ වෙනුවෙන් වැඩපිළිවෙළක් හදන්න බැරි වුණා. කඩිනමින් මැදිහත් වෙන්න පුළුවන්කම තිබුණා නමුත් මැදිහත් වුනේ නැහැ. ඒ විතරක් නෙවෙයි දැන් පාසල් නිවාඩුව අවසන් වෙන්න යනවා තවමත් නිල ඇදුම් ලබාදෙන්න තියෙන ක්‍රමවේදය මොකක්ද කියලා ආණ්ඩුව කියලා නැහැ. 
පහුගිය කාලේ එළවලු මිල ගණන් වැඩිවෙනකොට ආණ්ඩුවේ ඇමතිවරු කියන්න පටන් ගත්තා එළවළු මිල පහත හෙලන්න වැඩිවෙන එළවලු නොකා ඉන්න කියලා. දැන් අපිට බයක් තියෙනවා මේ ආණ්ඩුව ළමයින්ට කියයිද දන්නේ නැහැ නිල ඇදුම් නැතිනම් කොල ඇතු ඇඳගෙන යන්න කියලා. නැත්නම් නිල ඇඳුම් ලැබෙනකල් පාසල් නොගිහින් ඉන්න කියලා. අපේ රටේ සැලකිය යුතු පවුල් ප්‍රමාණයක් තියෙනවා දවසකට එක වේලක් තමයි කන්නේ. එක වේලක් කන ගමන් තමන්ගේ දරුවන් පාසල් යවන්න උත්සහ කරන දෙමාපියන් ඉන්නවා. ඒ නිසා මේ සැලසුම් නැති ආණ්ඩුව දරුවන්ගේ නිල ඇදුම් වවුචරය දෙයිද නැද්ද කියලා අපිට නම් විශ්වාසයක් නැහැ. 
පාසල් ගවුම් හෝ කමිස සඳහා භාවිතා කරන ඉතාම බාල වර්ගයේ රෙදි යාරයක් රු.175ක් පමණ වෙනවා. එය අදින්න පුළුවන් මාස 03ක කාලයක්. මාස 06ක පමණ අඳින්න පුළුවන් තරමක් හොඳ රෙදි යාරයක් රු.275ක් පමණ වෙනවා. ලොකු දරුවන්ගේ කලිසම් රෙදි ලෙන්ත් එකක් රු.550ක් කුඩා දරුවන්ගේ නිල් පැහැති රෙදි ලෙන්ත් එකක් රු.500 – 550ක් පමණ වෙනවා. ආණ්ඩුවෙන් ලබාදෙන වවුචර් කුඩා පිරිමි දරුවන්ට කමිස සඳහා රු.250ක් කලිසම සඳහා රු.250ක් ද, කුඩා ගැහැණු දරුවන්ට රු.450කට ආසන්න මුදලක්. ලොකු පිරිමි දරුවන්ට රු.750ක්ද ලොකු ගැහැණු දරුවන්ට රු.650-750ක මුදලට වව්චර් ලැබෙනවා. නමුත් පළමු වසරේ දරුවෙකුට රෙදි සඳහා රු.350ක් මැහුම් කුලිය සඳහා රු.600ක් පමණ වැය වෙනවා. ලොකු පිරිමි දරුවන් සඳහා රෙදි සඳහා රු.875ක් මැහුම් කුලිය රු.800-1000ක් පමණ වෙනවා. ලොකු ගැහැණු දරුවන් සඳහා රෙදිවලට රු.825ක් මැහුම් කුලිය රු.600-700ක් පමණ වැය වෙනවා. මේ වව්චර් ලැබෙන්නේ රෙදි සඳහා පමණයි. එය ප්‍රමාණවත් මුදලක් නෙවෙයි. අවුරුද්දේ මුල් දවසේ පාසැල් යනකොට අලුත් ඇඳුමකින් යන්න දරුවන්ට ලොකු හීනයක් තිබෙනවා. දරුවන්ගේ ඒ හීනය හැබෑ කරන්න මේ ආණ්ඩු දෙකටම බැරි වුනා. ඒ වගේම එක ඇදුම් කට්ටලයක් අවුරුද්දකට ප්‍රමාණවත් නැහැ. අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය ලෙස අපි ආණ්ඩුවට කියනවා ඇඳුම් කට්ටල දෙකක් සඳහා මුදල් වෙන් කරන්න කියලා.
ඒ වගේම මේ වෙනකොට පෙළපොත් ගැටලුවක් මතුවෙලා තිබෙනවා. 2020ට සඳහා අලුත් පෙළ පොත් නැහැ. වැඩපොත් සම්බන්ධයෙන් විශාල ගැටලුවක් මතුවෙලා තියෙනවා. පරණ පොත් තමයි ළමයින්ට ලබාදීල තියෙන්නේ. අලුත් ඇදුම් නැහැ. අලුත් පෙළපොත් නැහැ. අපි යෝජනා කරනවා මැති ඇමතිවරුන්ගේ සැපපහසුකම් කප්පාදු කරලා විශ්‍රාම වැටුප් මාස 06කටවත් කප්පාදු කරලා ළමයින්ගේ ගැටලු විසඳන්න කියලා. හිටපු ජනාධිපතිතුමාට විශ්‍රාම යනකොට කෝටි 800ක ගෙයක් දෙන්න කතා කළා. අලුත් ජනාධිපති මොන්ටිසෝරි උත්සවවලට යන්න හෙලිකොප්ටර් හතරක් පාවිච්චි කරනවා. මළගෙවල්වල යන්න හෙලිකොප්ටර් පාවිච්චි කරනවා. මේ විදයම් කපා හැරලා දරුවන්ට නිල ඇදුම් වව්චර් ටික දෙන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා. 
මේ ආණ්ඩුවේ වැඩ හරියට පුස් කේක් ගෙඩියක් පිටින් අයිසින් කරනවා වගෙයි…
අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සභාපති සරෝජා සාවිත්‍රී පෝල්රාජ්

අපේ රටේ අධ්‍යාපනයේ ඛේදවාචකයක් ඇති වෙලා තිබෙන්නේ. පළමු වසරට ඇතුළත් වෙන ළමයින්ගෙන් හත, අට වසරට එනකොට ළමයින් හතලිස්දහසක් පමණ අධ්‍යාපනයෙන් දුරස් වෙනවා. සාපෙළ දක්වා යනකොට එය 60,000කට පමණකට වර්ධනය වෙනවා. ඒ වගේම ද්විතීයික අධ්‍යාපනයට දරුවන් ඇතුළත් වුනාම එක් දරුවෙක් සඳහා මසකට රුපියල් 14,000ක පමණ වියදමක් දරන්න දෙමාපියන්ට සිදුවෙනවා. රු.14000ක් කියන්නේ වැටුපෙන් විශාල කොටසක්. එවැනි අමාරුකම් තියෙද්දී ආණ්ඩුව වැඩ කරන ජනතාවගේ අතිකාල කප්පාදු කරන්න යෝජනා සම්මත කරනවා. 
ලංකාවේ තිබෙන්නේ නාමික නිදහස් අධ්‍යාපනයක්. පාසල්වල වැසිකිළි, පානීය ජල පහසුකම්, ක්‍රීඩා පහසුකම් නැහැ. ඇතැම් පාසල්වලට යන්න ගමනාගමන පහසුකම් නැහැ. එවැනි තත්වයක් තුළ පාසල් නිල ඇඳුම්, පාසල් පෙළපොත් නොමිලයේ දෙනවා කියන්නේ දෙමාපියන්ට විශාල සහනයක්. නමුත් මේ වෙනකොට ඒ සියල්ල කප්පාදු කරලා. දින නියමයක් නැතුව කල් දාලා. 2019 නොවැ. 16 ජනාධිපතිවරණයෙන් පසුව ඇතිවුණ නව ආණ්ඩුවේ අධ්‍යාපන ඇමතිවරයා දරුවන්ට ලබාදුන්න සුරක්ෂා රක්ෂණ ක්‍රමය අත්හිටෙව්වා. බරපතල ගැටලුව වෙලා තියෙන්නේ මේ රක්ෂණය වෙනුවෙන් ආණ්ඩුව විශාල මුදලක් වැය කර තිබියදී අවුරුද්දේ අවසන් මාස දෙකට රක්ෂණය අහෝසි කිරීමයි. මුදල් ගෙවලා තිබියෙදී දරුවන්ට එම ප්‍රතිලාභය ලැබෙන්නේ නැහැ. 
යහපාලන ආණ්ඩුව ඉදිරිය සැලසුම් කළේ නැහැ. ඒ ගැන පුරාජේරු දොඩවමින් බලයට ආපු මේ ආණ්ඩුවටත් දැන් මාසයක් ගත වෙලා තියෙනවා. නමුත් මේ ගැටලු සම්බන්ධයෙන් ගත්ත කිසිදු ක්‍රියාමාර්ගයක් නැහැ. ඒ වෙනුවට ආණ්ඩුව ජනතාවට පේන්න ජිල්මාට් දානවා. ජනාධිපති දිවුරුම් දුන්න විගස පාන් මිල රු.5කින් වැඩි කරනවා. ජනාධිපති කෝල් කරලා මිල බස්සනවා. හාල් මිල වැඩි කරනකොට ජනාධිපති කෝල් කරලා මිල බස්සනවා. කෝල් කර කර මිල බස්සන්න නම් ජනාධිපති කෙනෙක් ඕන නෑ. කළ යුත්තේ භාණ්ඩ මිල පාලනය කරන්න වැඩපිළිවෙළක් සකස් කරන එකයි. නමුත් මේ ජිල්මාට්වලට ආණ්ඩුවේ ඇමති මණ්ඩලය විතරක් නෙවෙයි රටේ පූජ්‍ය පක්ෂයත් ආණ්ඩුවට සහය දෙනවා. මේ වගේ සුකුරුත්තන් වැඩවලට නෙවෙයි හැටනම ලක්ෂයක් ඡන්දය දුන්නේ. 
මැතිවරණ වේදිකාවේ නම් කිව්වා ආණ්ඩුව කරන්න සල්ලි හොයන විදිය අපි දන්නවා කියලා. නමුත් දැන් ආණ්ඩුවට සහය පළකරන ස්වාමින්වහන්සේ නමක් කියනවා ජනතාව රිදි රත්තරන් ආණ්ඩුවට පරිත්‍යාග කරන්න කියලා. පිට රට ඉන්න අයට මුදල් එවන්න කියලා. රජයේ සේවකයින්ගේ අතිකාල කපන්න වෙනවා කියලා. මාගල්කන්දේ සුදත්ත හාමුදුරුවෝ කියනවා එක වේලක් කාලා හරි ආණ්ඩුව ගෙනියන්න උදව් කරන්න කියලා. ජනතාවට එහෙම කියද්දී අගමැතිගේ කාර්යාල බඩුවලට මිලියන 30ක් විදයම් කරනවා. ජනාධිපතිවරයා පුද්ගලික ආයතනයක මොන්ටිසෝරි උත්සවයට හෙලිකොප්ටර් හතරකින් සංචාරේ යනවා. 
ඒ නිසා තමයි අපි පහුගිය ඡන්දෙ වෙලාවෙදීත් කිව්වේ තනි පුද්ගලයෙකුට මැජික් එකක් කරලා රට හදන්න බැහැ කියලා. රට හදන්න නම් පැහැදිලි දිගුකාලීන වැඩපිළිවෙළක් අවශ්‍යයි. නමුත් ජාතිවාදී ප්‍රවාහයට අහුවෙලා ජනතාව ඡන්දය දුන්නා. දැන් එහි ප්‍රතිවිපාක විඳින්නේ ඡන්දය දුන්න ජනතාව විතරක් නෙවෙයි. ඊළඟ මැතිවරණයේදී සිදුවෙන්නේ ජනතාව නොමග යවන එකයි. අපි ජනතාවට කියනවා නොමග යන්න එපා ඔබේ අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටින්න කියලා. එදා වගේම අදත් අපි කියනවා මේ පාලකයින්ට රට දහන්න බැහැ. බිත්ති පින්තාරු කරලා ජනතාවගේ ඇත්ත ප්‍රශ්නවලට උත්තර හොයන්න බැහැ. ඒක හරියට පුස් කේක් ගෙඩියක් පිටතින් අයිසින් කරනවා වගේ වැඩක්. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress