නව වසර මැතිවරණ වසරක් බව අගමැති කියයි
Posted on January 1st, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

උදා වූ 2020 නව වසර මැතිවරණ වසරක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද පෙරවරුවේ තංගල්ලේ පැවැති උත්සවයකට එක්වෙමින්.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රී කතරගම – කිරිවෙහෙර චෛත්‍ය රාජාණන් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා.

එහිදී මහා සංඝ රත්නය සෙත් පිරිත් සජ්ජායනා කර අග්‍රාමාත්‍යවරයාට ආශිර්වාද පළ කළා.

නව වසර උදාවත් සමඟ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැමිණියේ රුහුණු මහා කතරගම දේවාලයටයි.

එහිදී දේවාශිර්වාද ලබාගත් අග්‍රාමාත්‍යවරයා අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා සහ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ගුණ සිහි කරමින් සෑම වසරකම අඛණ්ඩව පවත්වනු ලබන සෙත් පිරිත් පිංකමට සහභාගි වුණා.

නව වසර සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කිරීමට අද පෙරවරුවේ මහා සංඝ රත්නය සහ ජනතාව තංගල්ල කාල්ටන් නිවස වෙත පැමිණියා.

රට පුරා වසරකට ගස් දශ ලක්ෂයක් සිටුවීමේ “හැදෙන රටට වැඩෙන ගසක්” ජාතික රුක්රෝපණ වැඩසටහනට සමගාමීව අග්‍රාමාත්‍යවරයා තංගල්ල කාල්ටන් නිවාස පරිශ්‍රයේ පැළයක් රෝපණය කළා.

තංගල්ල වජිරගිරිය මහා විහාරයේදී ගැබිණි මව්වරුන් සහ පාසල් දරුවන් උදෙසා භාණ්ඩ බෙදාදීමේ වැඩසටහනට අග්‍රාමාත්‍යවරයා එක්වුණේ ඉන්අනතුරුවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress