කළු සුද්දන්ගේ රට කැබලි කිරීමේ ප්ලෑන හෙවත් දෙමළ බෙදුම්වාදය පරාජය කිරීම
Posted on January 7th, 2020

චන්ද්‍රසිරි විජයවික්‍රම,

රට බෙදන ලෙස දෙමළ [නායකයින්] කරණ නහයෙන් ඇඬීම අත්‌හරින්නේ නම්, සිංහල-දෙමළ ජන කොටස් දෙකට තමන්ගේ ප්‍රශ්ණ විසඳා ගැනීමටත්, සහයෝගයෙන් හා ගෞරවාන්‌විතව තවදුරටත් ජීවත්‌වීමටත් හැකිවන්නේය.
අගවිනිසුරු සී ජේ සන්සෝනි, ලංකාණ්ඩුවේ සැසි වාර්‌තා අංක 7, 1980

1848 උඩරට දෙවන මිනිස් සංහාරයට පසුව, මතුපිටින් නිසල වුණු ලංකා යටත් විජිතයේ ජීවත්‌වන සිංහල බෞද්‌ධයින්ට මුහුණ දීමට සිදුවූ ප්‍රධාන අභියෝගයක් වූයේ බුද්‌ධාගම කියන්නේ බොරුවක් යනුවෙන් ප්‍රචාරය කරමින් ක්‍රිස්තියානී පූජකවරුන් විසින් ගෙන ගිය මතවාදය ය. 1815 දී බුද්‌ධාගම රැකීමට සුද්දා දුන් පොරොන්‌දු කඩකර, අමතක කර, බොහෝ කල්‌ය. අසරණවූ ගැමියන් ඔවුන් ගලවා ගැනීමට දියසේන කුමාරයෙක් නොබෝ දිනකදීම පහල වෙනු නියතැයි සිතමින් සුසුම් හෙළුවේය. මෙවන් පසුබිමක, 1842 දී පානදුරේ සිට රත්මලානට වැඩමකල වලානේ ශ්‍රී සිද්‌ධාර්‌ථ හිමිඳුන් විසින් පරම ධම්මචේතිය පිරිවෙන ආරම්භකලේ ධ‌ර්‌මධර, විනයධර සඟපරපුරක් බිහි කර බුද්‌ධ ශාසනය රැකගැනීමේ අභිලාශයෙනි. ප්‍රසිද්‌ධ වාද හතරකින් පසුව 1873 දී පැවැති පානදුරා මහාවාදයෙන් මෙම මිථ්‍යාදෘෂ්ටිකයින් පරාජය කිරීමට පහතරට හාමුදුරුවරුන්ට හැකිවිය. තව දශකයකින් දෙකකින් ලංකාවෙන් බුද්‌ධාගම අතුරු දහන් වෙනවා යයි, පසු කලෙක සිංහල භාෂා පඬිවරයෙකුවූ, බණ්ඩාරනායක-ඔබේසේකර පවුල් වලට අයත්‌වූ ජේම්ස් ද අල්විස් විසින් 1840 ස් ගණන්වල අනාවැකියක්ද පලකර තිබුණේය!

සිංහල බෞද්‌ධයින්ට මුහුණ දීමට සිදුවූ තවත් බලවත් අභියෝගයක්‌වූයේ දෙමළ බෙදුම්වාදයය. සිය යටත් විජිත බෙදා පාලනය කිරීමේ ප්‍රතිපත්තියට අනුව යමින් සුද්දන් විසින් 1832 සිට ව්‍යවස්ථාදායක සභාවට ජාතීන් අනුව නියෝජිතයින් නම් කිරීමේ උපක්‍රමයේ පරිණාමය වීමක් වශයෙන්, 1921/24 වනවිට, දකුණු ඉන්‌දියාවේ මැඩ්‍රාස් ප්‍රාන්තයේ ඒ කාලයේ සිදුවූවා මෙන්, දෙමළකම (ටැමිලක්කම්) රැකදෙන ජාත්‍යන්තර සංවිධානයක් සැදිය යුතුය යන මතය කොළඹ වසන පොන්නම්බලම් අරුණාචලම් මහතාටද වැළදීම පුදුමයට කරුණක් නොවේ. ඉංග්‍රීසි ආණඩුකාර මැනිංගේ ශූක්‍ෂම සහයෝගයද ඊට නොමදව ලැබුණේය. මෙම මතවාදය, විද්‍යාවෙන්, භූගෝල විද්‍යාවෙන් හා ධ‌ර්‌මයෙන් (බෞද්‌ධ රාජ්‍ය පාලන ප්‍රතිපත්ති) විසඳිය යුත්තක් බව ඒ කාලයේ රටේ දේශපාලනය කළ ක්‍රිස්තියානී පසුබිමක් තිබූ සිංහල කළු සුද්දන්නට, නොපෙනීම, නොදැනීම, නොවැටහීම හෝ ඒ සඳහා ඕනෑකමක් නොතිබීමද විමතියට කරුණක් නොවේ. අවාසනාවන්ත කාරණය නම් 1956 න් පසුව අගමැති, ජනාධිපතිධූර දැරූ පංචස්කන්‌ධද මේ සම්බන්‌ධයෙන් ක්‍රියාකල ආකාරය ය. පක්‍ෂ දේශපාලකයින් මෙම අභියෝගය අන්තෝ ජටා බහි ජටා අවුලක් කරද්දී රටේ මුරදේවතාවුන් වන හාමුදුරුවරු පක්‍ෂ දේශපාලනය අනුව බෙදී ගොස් සිටීමය.

දෙමළ බෙදුම්වාදය හා 13 වන සංශොධන මර උගුල සම්බන්‌ධයෙන් ඇති ලිපි ලේඛණ සංඛ්‍යාව අතිවිශාලය. ඕස්ට්‍රේලියාවේ ස්පර් සංවිධානය මේ සඳහා වෙනම වෙබ් අඩවියක් 2009 මැයි 18 ප්‍රභාකරන්ගේ පරාජය තෙක්ම පවත්‌වා ගෙන ගියේය. මෙම මර උගුලෙන් ගැලවීම සම්බන්‌ධයෙන් පසුගිය අවුරුදු 15 ක පමණ කාලයක් තුල මා විසින් ලියන ලද රචනා වලින් සමහරක් පොතක් වශයෙන් එකතු කිරීමට මේ අවස්ථාවේදී තීරණය කලේ, මෑත ඉතිහාසයේ ප්‍රථම වරට, මේ දෙමළ බෙදුම්වාදය, මතවාදයෙන්ම පරාජය කළයුතුය යන අදහස දැඩිලෙස විශ්වාස කරණ පුද්ගලයෙක් වන ගෝඨාභය රාජපක්‍ෂ මහතාව රටේ ජනාධිපති වශයෙන් පත්කර ගැනීමට රට වැසියා, විශේෂයෙන් සිංහල බෞද්‌ධ ජනයා, විසින් 2019 නොවැම්බර් 16 දා ගත් තීන්‌දුව නිසාය. මේ යුද්‌ධය නම් කවදාවත් දිණන්න බෑ යන මතවාදය ප්‍රතික්‍ෂේප කල එකම බලයේ සිටි රාජ්‍ය නිලධාරියා ගෝඨාභය යයි ඊළමට පක්‍ෂව ක්‍රියාකල නෝර්වේ නියෝජිත එරික් සොල්හයිම් විසින් ඒ කාලයේදී ප්‍රකාශයක්ද කර තිබුණේය.

1921/24 කාලයේ ආරම්භවුණ බෙදුම්වාදි කැසිල්ල, 1987 දී බලහත්කාරයෙන් ඇටවූ 13 වන සංශොධන පෙඩරල් පාලම හා ඉන් පසු වංක ලෙස ගෙනා 2018/19 යහපාලන ව්‍යවස්ථා මගඩිය මඟින් කූට ලෙස මස්තක ප්‍රාප්ත වීමට නියමිතව තිබුණි. නොවැම්බර් චන්දයේදී සජිත් ප්‍රේමදාස මහතා විසින් එම යහපාලන ව්‍යවස්ථාවත්, දෙමළ බෙදුම්වාදීන් විසින් නැණ විකලව ගෙනා ඉල්ලිම් 13 ත්, සිංහල ජනයා නොමඟ යන ආකාරයට හැසිරෙමින් අනුමත කලේය. මේ දෙකම ගෝඨාභය විසින් කෙළින්ම ප්‍රතික්‍ෂේප කරණ ලදී. එසේ වුවත් චන්ද කොට්‌ඨාශ මට්ටමින් උතුරු-නැඟෙනහිර දෙමළ ජනයා සෑහෙන ප්‍රමාණයක් ගෝඨාභයට චන්දය දුන්නේය. එම දෙපලාතේ දෙමළ ජනයා සජිත්ට චන්දය දුන්නේ, 2010 ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකාට චන්දය දුන් ආකාරයේම අන්දමන්දවූ මනසකින් යයි දෙමළ බෙදුම්වාදීන්වන සුමන්තිරන්ලා නොපෙනේ. ශිවාජිලිංගම්ට හා හිස්බුල්ලාට අත්‌වූ අන්ත පරාදයත්, පොදුවේ යුද හමුදා නිලධාරීන්ට දෙමළ ජනයා දක්‌වන කෘතවේදී බවත් බිම් මට්ටමින් ඊළම් මතවාදය කොට උඩ යමින් පවතින බවට සංඥාය. මැතිවරණයේදී කාටවත් චන්දය නොදුන් හා චන්දය අපතේ ගිය දෙමළ ජනයා විශාල ප්‍රමාණයක් මේ පලාත් දෙකේ සිටී.

ජනාධිපති වශයෙන් ගෝඨාභය කියා සිටියේ සිංහල බෞද්‌ධයෙකු වශයෙන් තමන් රටේ සියළුම ජනව‌ර්‌ගවල ආරක්‍ෂකයා බවත්, තමන්ව බලයට පත් කීරීමට රටේ සංඝයා වහන්සේලා බලවත් කැපකිරීමක් කල බවත් ය. රුවන්වැලි මහාසෑය ඉදිරිපිට මෙසේ කෙළින් කතා කිරීමට ඔහුට ශක්තිය තිබුණේ ඔහු පක්‍ෂ දෙශපාලනය තම වෘත්තිය කරගත් අයෙක් නොවීමය. රටේ එතෙක් මෙතෙක් සිටි අගමැති හා ජනාධිපතිධූර දැරූ පංචස්කන්‌ධ (සමහරවිට ඩී බී විජේතුංග හැර) බෙදුම්වාදයට විරුද්‌ධව දැරුවේ දෙබිඩි ආකල්පයකි. බෙදුම්වාදයට විසඳුම බලය බෙදීම යන්න මිථ්‍යාවක් බවත්, දෙමළ, සිංහල හා මුස්ලිම් ජනයාට ලබා දී නැත්තේ ඔවුන්ගේ ජීවන තත්‌වය නඟා සිටුවන ආර්ථික සංවර්‌ධනය බවත් නව ජනාධිපතිවරයා කියා සිටී. මින් පැහැදිලි වන්නේ, සුමන්තිරන් කියන ආකාරයේ, යළි ආපසු ගන්නට බැරි බලය බෙදීමක්, හෝ සම්බන්‌ධන් කියන ආකාරයේ, ඔක්කොටම එකඟ වන්නට පුළුවන් හොඳම තීන්‌දුවක්, යනාදී වශයෙන් දෙමළ බෙදුම්වාදය නමැති ගහ වටේ කොටි වලිගයක් අල්ලාගෙන සිංහල පක්‍ෂ දේශපාලකයා රවුම් ගැසූ යුගය අවසානවී ඇති බවත්, කුළු හරකා අංදෙකෙන්ම අල්ලා බිම අනින්නට කාලය උදාවී ඇති බව‌ත්‌ය. සිංහල පක්‍ෂ දේශපාලක කළු සුද්දන් විසින්ම වංක ලෙස ඇතිකල සුළු ජාතිකයින්ගේ චන්ද නැතිව නිල් හා කොල පක්‍ෂ දෙකට තනිව ආණ්ඩු පිහිටුවීමට තවදුරටත් නොහැකිය යන මතයද රටේ හාමුදුරුවරුන්ගේ මැදිහත්‌වීමෙන් පවතින රාමුව යටතේම පරාජය කරන ලදී.

හිරු නොබසින අධිරාජ්‍යයට දෙයාකාරයකින් හිසරඳවූ හිට්ලර්‌ට හා ගාන්‌ධිට (හා සුබාෂ් චන්ද්‍රබෝෂ්ට) පින් සිදුවන්නට, සුද්දන්ට පෙත්සම් ගසා නිදහස ලබාගත් කොළඹ කළු සුද්දෝ ඉංග්‍රීසි කතාකරණ කොළඹ, හා සිංහල හා දෙමළ කතාකරණ ගම, යන රටවල් දෙකේ විෂමතාවය නැතිකර ගැනීමට අවංකභාවයෙන් ක්‍රියාකළේ නැත. මේ හේතුවෙන් අද වන විට ශීඝ්‍රයෙන් පරිහාණිය කරා ඇදෙමින් සිටිනා රටක් ලෙස සැළකෙන ලංකාවේ ඇත්තේ භූමි ප්‍රදේශ වශයෙන් පවතින අසමානාත්‌වයක් (ස්පේෂියල් ඉනික්වලිටි) හා හැමටම සමාන ලෙස අවස්ථා නොලැබීම (ඇක්සස් ටු ඊක්වල් ඔපර්චුනිටි) යන යථා‌ර්‌‌ථය ය. (මෙය ආගම් හෝ භාෂා ප්‍රශ්ණයක් හෝ නොවේ. කොළඹ සිටි විග්නේශ්වරන්ට හෝ ගාල්ලේ සිටි මයිකල් රොබට්ස්ට ලැබුණ දේ වව්නියාවේ වසන දෙමළ/මුස්ලිම් හෝ අඟුණකොළපැලැස්සේ සිංහල ළමයෙකුට නොලැබේ). ජීවිතයේ එදිනෙදා මුහුණ දෙන මෙම භාධක හා අත්දැකීම් බැඳී ඇත්තේ යෙමෙකුගේ පුද්ගලික අවශ්‍යතා (නීඩ්ස්) හා උවමනාවන් (වෝන්ට්ස්) සමඟය. යම් ජන කොට්‌ඨාශයකට තිබිය හැකි පොදු අභිලාශ (ඇස්පිරේෂන්ස්) මීට අදාල නොවන්නේ එකම ස්ථානයක, භූමි ප්‍රදේශයක, වාසය කරණ ජන කොටස් දෙකකගේ, එකිනෙක හා ගැටිය හැකි ස්වරූපයේ වන පොදු අභිලාශ, ද්‍රව්‍යමය භූමියට (පොලෝ තලයට) බාහිරව, දේශපාලකයින්ගේ මනසේ ක්‍රියාත්‌මක වන සාධාරණවන (රීසනබල්) හෝ නොවන චිත්ත ආවේග වීම නිසාය. කුලහීනයෙක් යැයි යමෙකුට තම ළිදෙන් වතුර බොන්නට නොදෙනා දේශපාලකයාට ඊළමක් සඳහා යයි ඒ කුලහීනයාගේ පවුලේ චන්දය අයැද සිටිය හැක්කේ මේ හේතුවෙනි. ඇමෙරිකාවේ වහල් හිමියන්, දකුණේ වහල් ක්‍රමය රැක ගන්නට උතුරේ ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්ට විරුද්‌ධව යුද්‌ධ කරන්නට එකතු වන ලෙස තම වහළුන්ගෙන් ඉල්ලා සිටියා වැනිය!

සුද්දන් මොනවා කිව්වත්, කලත්, ලංකාවේ ඉතිහාසය දැන නොසිටියත්, ලංකාවේ භෞතික භූගෝල විද්‍යාව -කඳු, තැනිතලා, ගංඟා; දේශගුණ කලාප, වර්‌ෂාපතන කලාප හා කාල; පස් හා වනාන්තර කලාප- කළු සුද්දන් විසින් දැනගත යුතුම වන්නේ, හරියට නීතිය නොදැන සිටීම සමාවට කරුණක් නොවන පරිදිමය. ලංකාවේ හඳුනාගත් කෘෂි-පරිසර කලාප 24 ක් ඇති බව නොදැන සිටියත්, ලංකාවේ පලාත් නමය ස්වාභාවික නොවන කෘතිම බෙදීමක් බව අවභොධ විය යුතුමය. ඊළම් සිතියමේ මායිම් රේඛාව සිංහලයාගේ දිවි නසා ගැනීමක් වන්නේ මධ්‍යම කඳුකරයේ සිට වටේට ගලනා ලොකු කුඩා ගංඟා 103 ගැන සිතන විටය. සෑම කැපෙන ගංඟාවක්ම අනාගත වතුර යුද්‌ධ බිමක් වන්නේය. 1905 දී පිළියෙල කරන ලද ලංකාවේ වාරි මාර්‌ග සිතියම මෙම භෞතික භූගෝල විද්‍යාව මතට ආදී සිංහලයින් එකතුකල මානව භූගෝල විද්‍යාව පිළිඹිඹු කරලන නිදසුණකි. ජන සංඛ්‍යා භූගෝල විද්‍යාව අනුව සළකන විට උතුරේ දෙමළ ජනයා නොගැඹුරු මුහුදු පාලමකින් ටැමිල්නාඩ් හා බැඳී ඇත. රට මැද කඳු කපා වැවූ තේවතු වල දැන් ඉන්දියන් දෙමළ මලයනාඩුවක් ඇත. සෙසු රට පුරාම ඇත්තේ හරියට බිත්තරයක් කළවම් කළා සේ වන සිංහල-දෙමළ-මුස්ලිම් ජන මිශ්‍රණයක්‌ය. වඩ්ඩුකෝඩ්ඩෙයි හා ඔළුවිල් ප්‍රකාශණ අනුව දෙමළ හා මුස්ලිම් කියා රට කැඩුවොත් මිශ්‍ර ජනයා ඉන්නා රටට වන්නේ කුමක්ද? සිංහලයාගේ රට කොහේද? දෙමළ නිජබිම ටැමිල්නාඩ්‌ය. මුස්ලිම් ජනයාට මක්කම හා අරාබියාව ඇත. උතුරු නැඟෙනහිර සිංහල බෞද්‌ධ නටබුන් වලට වෙන්නේ කුමක්ද? දැනටමත් 13 වන සංශොධනය යටතේ මඩකලපුවේ සිංහල ජනයාට, රාජ්‍ය භාෂාව යයි කියන සිංහල භාෂාවෙන් එම පලාතේ රජයේ සේවයක් නැත. සිංහල කළු සුද්දන් විසින් උතුර නැඟෙනහිරට 13 ප්ලස් දුන්නොත් කොහොම වේවිද?

රටක භූගෝල විද්‍යාවට පටහැනිවන නීති පැනවිය නොහැකිය යන කියමන (කැනඩා පාර්ලිමේන්තු විවාද, විල්ෆ්රිඩ් ලෝරියර්, 1887), මහා පරිමාණ ව්‍යපෘති ආරම්භකර කරණ ඉල්ලාගෙන කෑම් වලින්ද තහවුරුවේ. මඩවඟුරක පාර්ලිමේන්තුවක් සදාගෙන මුළු කොළඹ ප්‍රදේශයම වැහිවතුරෙන් යටවේ. අධිවේගී මාර්‌ග නිසා ගම්බද ප්‍රදේශවල ජලවහන රටාව අවුල්කර දමා ඇත. වික්ටෝරියා, මොරගහකන්ද යෝධ ජලාශ ඇත්තේ හුණුගල් තට්ටු උඩය. මෙය අතිභයානක තත්‌වයකි. ගල්‌ඔය වැනි යෝධ ජනපද ව්‍යාපාර වෙනුවට කුඩා ජලාශ රැසක් සැදීම, ගල්‌ඔය ව්‍යාපාරය සඳහා කොපිකල ඇමෙරිකාවේ ටෙනසිවැලි ව්‍යාපාරය අනුගමනය කල ප්‍රතිපත්තියයි. මොරගහකන්දේ සිට උතුරට ජලය ගෙනයාමට සදන නෝත්සෙන්ට්‍රල් ඇල මඟින් උතුරට ජලය ගෙනයාම ගැන දැනටමත් විග්නේශ්වරන් ඉල්ලිම් ඉදිරිපත් කර ඇත. මේවා ඉදිරියේදී ජිනීවා මානව හිමිකම් ප්‍රශ්ණවනු නිසැකය.

හව් කැන් යූ යුනයිට් බයි ඩිවඩින් (බෙදා වෙන් කලාම එකතු වෙන්නේ කෙසේද?) යන ප්‍රශ්ණය විශේෂයෙන්ම මතුවන්නේ රටේ දෙමළ බෙදුම්වාදීන් පිටරටවල අධාරයෙන් එය ලබාගන්නට ක්‍රියාකිරීම මේ වනවිට ත්‍රීව්‍රවී තිබීම නිසාය. පිටරට දෙමළ ජනතාවගේ ඊළම් කතාව ඔවුන්ගේ ඊළඟ පරම්පරාව වනවිට දියවී යනු නිසැකය. එහෙත් ඉන් පෙර පිටරට දේශපාලකයින් හරහා ගෙනයන ව්‍යාපාරයට මුහුණ දියයුතුව ඇත. උදාහරණයක් වශයෙන් 2019 දෙසැම්බර් මැතිවරණයේදී බ්‍රිතාන්‍යයේ ප්‍රධාන පක්‍ෂ දෙකම ලංකාවට රටවල් දෙකක් යන මතය එලිකලේ එරට ඉන්නා දෙමළ චන්ද වලට ඇති පෙරේත කමට මිස මානව දයාවක් නිසා නොවේ. නොෙසේ නම් දෙමළ ජනයාට ලංකාවේදී ඇති නිදහස්, ඒ රටේදීද දීමට මේ දේශපාලකයින් සුදානම් විය යුතුය. මේ පෙරේතකම ගෝඨාභය දිණන තුරුම සිංහල පක්‍ෂ දේශපාලකයින්වද අතරමං කලේය.

භාෂාව හෝ ආගම අනුව ප්‍රදේශ කඩා ජාතිවාදී දේශපාලකයින් අතලොස්සකට බලය ලබාදීම වෙනුවට, ඒ කාලයේ රොබට් බ්ලේක්, හිලරි ක්ලින්ටන්, බැන්කි මූන්, සෝනියා ගාන්‌ධි, මන්මෝහන් සිං, කැනඩාව, ජපානය, යුරෝපා සංගමය වැන්නන් යෝජනාකල යථාකාරී නියම බලය බෙදීමක් (මීනින්ෆුල්) වන්නේ, 2011 දී උගත් පාඩම් හා සංහිඳියා කොමිෂම විසින්ද යෝජනා කල අයුරු බිම් මට්ටමින් ජනයා බලවත් කිරීමය. පක්‍ෂ දේශපාලනයෙන් වියුක්තවූ ජන සභා වලට ගම් මට්ටමින් බලය ලබා දීමය. 1973 දී ස්මෝල් ඊස් බියුටිෆුල් යනුවෙන් ෂූමෑකර් විසින් ප්‍රචලිත කල මෙම සංකල්පය මේ වනවිට කර්ක්පැට්‍රික් සේල්ගේ, හියුමන් ස්කේල් නම් පොතෙන් (1980) විමධ්‍යගත අනාගතය යනුවෙන් ව්‍යාප්තවී ඇත. ගෝලීය ලෙස හිතන්න, ගමක් ලෙස හැසිරෙන්න යන මෙම අදහස අමතක කරමින්, යුරෝපීය ආර්-ටූ-පී මානව අයිතිවාසිකම් මුරකාරයින් හා යම් රටක මහජාතියෙන් සුළුජාතීන්ට වන වෙනස්කම් නැතිකිරීම සඳහා නන්-මැජොරිටේරියන් ආණ්ඩුක්‍රම විධි යෝජනාකරණ යුරෝපීය මහාචාර්යවරුන්, ලංකාවේ ගම් සභාව හෝ ඉන්දියාවේ පංචයාත් සංකල්පය ගැන අවධානය යොමුකරන්නේ නැත. ඩොනල්ඩ් හොරෝවිට්ස්ගේ ලියවිලි (එත්නික් ග්‍ර‌ෑප්ස් ඉන් කන්ෆ්ලික්ට්, 1985) මීට කදිම නිදසුණකි. මොවුන්ගේ යෝජනා ක්‍රියාත්මක කර නොකැඩී බේරුණු එක රටක්වත් ලෝකයේ නැත (සුඩානය, ටයිමෝර්, කොසොවෝ, ස්කොට්ලන්තය?). සුද්දා විසින් අවුල්කර ගිය රටවල් තවත් අවුල් කර දැමීම අවසාන ප්‍රතිඵලයය. ලංකාවේ 13 හා 19 සංශොධන, යහපාලන 2018 ව්‍යවස්ථා මරාලය උදාහරණය.

පාසැල්වල සිංහල හා දෙමළ භාෂා ඉගැන්‌වීම, ලංකා ඉතිහාසය හා භූගෝල විද්‍යව යලි අනිවාර්ය විෂය කිරීම, මුළු රට පුරාම එක සිවිල් නීති ක්‍රමයක් ක්‍රියාවට නැංවීම මෙන්ම ලංකාවේ තිරසර සංවර්‌ධන ත්‍රිත්වයවූ (මොඩලය) වූ ගම-වැව-දාගැබ සංකල්පය යළි, දේශපාලන පක්‍ෂ න්‍යායපත්‍ර වලින් තොරව ක්‍රියාවට නැඟීම, බෙදුම්වාදය දමණය කිරීමේත්, රටේ බොහෝ පරිසර-ආර්ථික-සමාජීය ප්‍රශ්ණ සමනය කිරීමේත් සරල මාවතය. 1930 දශකයේදී කළුකොඳයාවේ ප්‍රඥාශෙඛර හිමියන් විසින් ක්‍රියාවට නැංවූ දීප ව්‍යාප්ත, ග්‍රාම සංවර්‌ධන හා අපරාධ මර්‌දන ව්‍යාපාරය කළු සුද්දන් විසින් අඩපණ කල බව දන්නා අය අද රටේ සිටිනවාද? උන්වහන්සේ ලියූ කාරණා 101 කේ බොහෝදේ අදටද වලංගුය.

ලංකාවේ දැනට ඇති ග්‍රාම සේවා නිලධාරී වසම් 14,021 (ප්‍රේමදාස ජනාධිපතිට කලින් තිබුණේ මේවා 4,000 ක් පමණය!), කුඩා රටක් වන නිව්සීලන්තයේදී මෙන් ස්‌වාභාවික, භූගෝලීය මායිම් සහිතවන ආකාරයට නැවත බෙදීමෙන්, 13 වන සංශොධනයෙන් දැනට ලබා නොදෙන, මීනින්ෆුල් ඩෙවුලූෂන් හෙවත් බෙදුම්වාදී දේශපාලකයින් අතලොස්සක් නොව, නියත වශයෙන් බිම්මට්ටමින් ජනතාව බලවත් කිරීමට අවශ්‍යවන, සිවිල් භූමි ඒකකය ලබා ගත හැකිය. මේවා කීපයක් එකතු කිරීමෙන් බිහිවන ජන සභා ඒකක, 13 සංශොධනය අහෝසිකිරීමෙන් ඇතිවන හිඩැස පුරවන්නේය. මෙහිදී පැහැදිලි නිර්‌ණායකය වන්නේ මතුපිට ජලවහනය හා භූගත ජල ද්‍රෝණිය. උදාහරණයක් වශයෙන්, ඇමෙරිකාවේ සෑම ගංඟා ද්‍රෝණියක් හා සෑම භූගත ජල ද්‍රෝණියක්ම මායිම් කර ආරක්‍ෂා කර ඇත. ගිනිගත්‌හේනේ පොලිසියේ වහලේ එක පැත්තකට වැටෙන වැහිවතුර කැළණි ගඟටත්, අනිත් පැත්තේ වතුර මහවැලි ගඟටත් යනවා යන්නේ අර්‌ථය නම් මුළු රටේම මෙවැනි ලොකු කුඩා දියබෙත්ම තිබෙන බවය. මේ අනුව ග්‍රාම සේවා වසම් මායිම් කිරීමෙන් දැන් ඇති 14,021 ට වඩා බෙහෙවින් අඩු ඒකක සංඛ්‍යාවක් හඳුනාගත හැකිවන්නේය. මෙසේ මායිම් කිරීමෙන් ලැබෙන ප්‍රයෝජනය නම්, ඒවා එකතු කිරීමෙන්, චන්ද කොට්‌ඨාශ, ප්‍රාදේශීය ලේකම් හා දිස්ත්‍රික් ලේකම් කාර්ර්‍ය්‍යාල ප්‍රදේශ, ප්‍රාදේශිය සභා ප්‍රදේශ වලටද ස්‌වාභාවික මායිම් ලබා ගත හැකි වීමය. ග්ලෝබල් වෝමින් ලෝකයක හා ගංවතුර-නායයාම් සුලභ ලංකාවක පරිසරය (ඉකොලොජි/හයිඩ්‍රොලොජි) පදනම් කරගත් මූලික සිවිල් පාලන ඒකක පිහිටුවා ගැනීමට වඩා සුදුසු වෙනත් සංවර්‌ධන මාවතක් තිබේද?

මාදුළුවාවේ සෝභිත හිමියන් විසින් කුමාර් පොන්නම්බලම් සමඟ කල සංවාදයකදී, රටේ සෙසු ජන කොටස් වලට නැති, දෙමළ ජනයාට පමණක් ඇති ප්‍රශ්ණ මොනවාදැයි ප්‍රශ්ණ කළ විට, මඳක් තත්පරවූ කුමාර් කියා සිටියේ, අප දෙමළ ජනයාට අපේම ඇස්පිරේෂන්ස් (අභිලාෂ) තිබෙනවා යනුය. දැන් කාලයේ විග්නේෂ්වරන්, සුමන්තිරන් මෙන්, කොළඹ හැදීවැඩී සිංහලයින්ටත් වඩා සියළුම වරප්‍රසාද භුක්තිවිඳින මෙවැන්නන්, වවුනියාවේ, යාපනේ, මන්නාරමේ, මඩකලපුවේ දෙමළ ජනයාගේ අභිලාශ මොනවාදැයි දන්නවාද, සිතනවාද යන්න අප විසින් බ්‍රිතාන්‍යයේ හා ඇමෙරිකාවේ පක්‍ෂ දෙකේ හා කැනඩාවේ ආණ්ඩුවේ අවධානයට යොමු කලයුතුය. වෙනත් වචනවලින් කියතොත්, කුඹුරේ කුරුළු පංගුවක් පවා වෙන්කල සිංහල බෞද්‌ධයින්ට යුරෝපීය මානව හිමිකම් වැදිබණ අනවශ්‍ය බව මූණටම කිවහැකි සිංහල බෞද්‌ධ නායකයෙක් සිටිය යුතුය. 2009 අප්‍රියෙල් මස ප්‍රභාකරන්ව මුහුදේ ඇති ඇමරිකන් නැවකට ගෙනයාමේ කුමන්ත්‍රණයක් සඳහා, ප්‍රාණ ඇපයට සිටි ලක්‍ෂ තුනකට ආසන්න දෙමළ ජනයා මුදාගන්නට යයි කියමින් වන්නියට යෑමට බ්‍රිතාන්‍ය හා ප්‍රංශ විදේශ ඇමතිලා දැරූ කූඨ ප්‍රයත්නය ප්‍රතික්‍ෂේප කරමින් ගෝඨාභය විසින් ඔවුන්ට ඇතිකල හීනමානය කෙතරම්ද යත්, ඒ දෙන්නා කෙළින්ම ගොස් නතරවූයේ නිව්‍යෝර්ක් නගරයේ යූ,එන්.ඕ. බිල්ඩිම ඉදිරිපිට හිලරි ක්ලින්ටන් ඉදිරියේය!

දෙමළ බෙදුම්වාදය අනුව රට කැබලි කිරීමට 1995-2000 කාලයේ චන්ද්‍රිකා විසින් ගෙනා රහස් ප්ලෑන නමැති මළමිනිය, 2018 දී නැවතත් චන්ද්‍රිකා-රනිල්-මංගල-සුමන්තිරන් හා ජයම්පති වික්‍රමරත්න හා ලාල් විජේනායක යන මාක්ස්වාදීන් විසින් එම්බාම් කර පියර දවටා ගොඩට ගත්තේය. එහෙත් 2020 ජනවාරි 3 දින රංජන් රාමනායකගේ නිවසින් අසුවූ දුරකතන හඬපටි, තැටි මඟින් යහපාලන මරාල මිනී පෙට්ටියට අන්තිම ඇණය ඔවුන් විසින්ම ගසාගෙන ඇත්තාක් මෙන්, ව්‍යවස්ථා මගඩිය 2019 ජනාධිපතිවරණයෙන් අවසාන විය. එහත් ඒ වෙනුවට දැන් ඇත්තේ 2009 දෙසැම්බර් 7 දා (පර්ල් හාබර් ජපන් බෝම්බ ප්‍රහාරය වූ දා) නිකුත් කල ශ්‍රී ලංකා: රිචාටින් යූ‌ එස්‌ ස්ට්‍රැටජි (ශ්‍රී ලංකාව පිළිඹඳ ඇමෙරිකානු මූලෝපාය ප්‍රතිව්‍යුහගත කරණය කිරීම) යටතේ පන පෙවෙන එක්ටා, සෝෆා හා බැඳෙන එම්‌සී‌සී (මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්) ගිවිසුමය. මේ මඟින් සුඩානය හෝ සයිප්‍රසය හෝ මෙන් ත්‍රිකුණාමළයේ සිට කොළඹ දක්‌වා වන ඇමෙරිකන් කොරිඩෝවකින් උතුරු ලංකාවක් හා දකුණු ලංකාවක් බිහිවීමට මඟ පෑදී ඇත. අනුරාධපුරය වැටෙන්නේ උතුරටය. විදුලි දුම්‍රිය පාරෙන් අලියෙකුට තබා බල්ලෙකුටවත් අවසර නැතිව උතුරට යා නොහැකිය!

බෙදුම්වාදය, විද්‍යාවෙන්, භූගෝල විද්‍යාවෙන් හා ධ‌ර්‌මයෙන් (බෞද්‌ධ රාජ්‍ය පාලන ප්‍රතිපත්ති) විසඳිය යුත්තක් බව මෙම රචනාවේ ආරම්භයේදී සඳහන් කරන ලදී. ඒ සඳහා වාහනය වන්නේ රටේ මූලික පරිසර ඒකක වශයෙන් ජන සභා භූමි තලය. මේ දෙස බැලිය හැකි තවත් ආකාරයක් නම් ජන සභා ඒකකයේදී නීතිය, භූගෝල විද්‍යාව හා බුදුදහම යන මිනිස් චිත්ත ධාරා තුන එකිනෙකට බද්‌ධ වන අන්දමය. නීති විද්‍යාවේ (ජුරිස්ප්‍ර‌ැඩන්ස්) රීසනබල්නස් (සාධාරණ‌ත්‌වය) කියන්නේ බුද්‌ධාගමේ මධ්‍යම ප්‍රතිපදාවය. යම් රටක, ප්‍රදේශයක, ගමක, ස්ථානයකදී යම් දෙයක්, ක්‍රියාවක්, රීසනබල්ද යන්න තීරණය වන්නේ ඒ ස්ථානයේ භූගෝල විද්‍යාවට අනුවය. අරාබි රටවල ඌරු මස් නොකන්නේත්, හින්‌දූන් හරක් මස් නොකන්නේත් ඒ නිසාය. බංගලාදේශයේ මරිජුවානා තහනම් නොවුනත්, මත්පැන් තහනම් වන්නේත්, ඇමෙරිකාවේ එහි අනිත් පැත්ත වන්නේත් භෞතික හා මානව භූගෝල විද්‍යාවේ වෙනස්කම් හෙවත් පොලෝ තලය මත ඇති විවිධත්‌වය නිසාය. මේ විවිධත්‌වය පිළිඹිඹු වන කැටපත ගමය. ගමට ඉංග්‍රීසි, ගමට පරිගණකය, වාරි ශිෂ්ටාචාරය ඩිජිටල් කිරීම යනාදිය මිස ඇමෙරිකන් මිලේනියම් ලණුකා රට අමාරුවේ නොදැමීමට උදය ගම්මන්පිල වැනි තරුණ දේශපාලකයින් දුර දිග බැලිය යුතුවෙන්නේ මේ නිසාය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress