ශ්‍රී ලංකා ගුවන් හමුදාව ත්‍රස්තවාදයට එරෙහි සටන් පිළිබඳව වෙනත් ගුවන් හමුදා නොලැබූ, සුවිශේෂ අත්දැකීම් සහිත ගුවන් හමුදාවක්.
Posted on January 17th, 2020

මාධ්‍ය නිවේදනය-අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා

(අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා 2020 ජනවාරි 17 වෙනි දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් හමුදා අධිකාරි පත්‍ර පිරිනැමීමේ හා පියාසර ලාංඡන පැළදවීමේ පෙරට්ටුව අවස්ථාවේදී කළ කතාවේ පිටපත.)

අතිපූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි, සියලු ආගම්වල පූජකතුමනි, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමනි, ඇමතිවරුනි, මන්ත්‍රීවරුනි, ආරක්‍ෂක ලේකම්තුමනි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානීතුමනි, ගුවන් හමුදාපතිතුමනි, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ නිලධාරීවරුනි, කැඩෙට් නිලධාරීවරුනි, දෙමවුපියනි, ආරාධිත අමුත්තනි,

අද දවසේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට තරුණ නිලධාරීන් කණ්ඩායමක් එක් වෙනවා. මේ ආකාරයට අලුතින් එක් වෙන නිලධාරීන් අතර කැඩෙට් නිලධාරී පාඨමාලාවෙන් සමත්වුණු නිලධාරීනුත්, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ පාඨමාලාව සම්පූර්ණ කළ නිලධාරීනුත්, කැඩෙට් නිලධාරී පාඨමාලාව සම්පූර්ණ කරපු කාන්තා නිලධාරීනුත් ඉන්නවා. ඒ වගේම පියාසර පුහුණුව ලබා අවසන් කරපු නිලධාරීන්ට ගුවන් නියමු ලාංඡන පැළඳවීමත් මෙහිදී සිදු වෙනවා. මේ ආකාරයෙන් අද දවසේ මේ තරුණ නිලධාරීන් එක් වන්නේ අභිමානවත් ඉතිහාසයක් තියෙන ගුවන් හමුදාවකට. මම හිතන්නෙ මේ හැමෝටම මීට අවුරුදු 10කට කලින් 2009 මැයි 19 වැනිදා කොටි ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය අවසන් වුණු දිනය මතක ඇති. ඒ ජයග්‍රහණය ලබන්න ශ්‍රී ලංකාවෙ ගුවන් හමුදාවෙ විශේෂ දායකත්වයක් තිබුණා. පරාජය කරන්න බෑ කියපු කොටි සංවිධානය පරාජය කරපු ඒ අභිමානවත් ත්‍රිවිධ හමුදාවෙ ගුවන් අංශය තමයි මේ.

ඔබ දන්නවා යුද හමුදාව ඉදිරියට ගමන් කරන්න ඉස්සරවෙලා හතුරා ඉන්න බල ප්‍රදේශයට ගුවන් ප්‍රහාර එල්ල කරල තමයි ඉදිරියට යන්නෙ. එහෙම කරන්නෙ ඉදිරියට යාමේදී පාබල හමුදාවට තියෙන බාධා පුළුවන් තරම් ඉවත් කරගන්න. යුද හමුදාවෙ කාලතුවක්කු වලිනුත් ඒ කාර්යයට උපකාර වෙනවා. නමුත් ඒ වගේ අවස්ථාවල ගුවන් හමුදාවෙ සහභාගීත්වය සුවිශේෂයි. කොටි ත්‍රස්තවාදය පරාජය කරන්න දියත් කරපු අවසාන වන්නි මෙහෙයුමේදි කොටි ත්‍රස්තවාදීන් කිලෝමීටර් ගණන් දිග මහා පස් බැමි ඉදි කරලා යුද හමුදාවෙ ඉදිරි ගමනට බාධා කළා. ඒ අවස්ථාවේ ගුවන් හමුදාව ඒ පස් බැමි වලට මුවාවෙලා ඉන්න ත්‍රස්තවාදීන්ට ගුවනින් පහර දීල යුද හමුදාවෙ ගමනට ඒ අවශ්‍ය සහයෝගය ලබලා දුන්නා. ඒ ගමන වේගවත් වුණේ ගුවන් හමුදාවෙ උදවු නිසයි. ඒ විතරක් නෙවෙයි, වීඩියෝ කැමරා හයි කරපු නියමුවන් රහිත යානා ඒ කියන්නෙ යූ.ඒ.වී තාක්‍ෂණය යොදවල යුද හමුදාවෙ කාල තුවක්කු බලකායටත් කොටි ඉලක්ක සොයා ගන්න ගුවන් හමුදාව උපකාර කළා.

මම හිතන්නේ ලෝකයේ ගුවන් හමුදා අතරින් ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් කරල වැඩිම අත්දැකීම් සම්භාරයක් ලබාගෙන තියෙන්නෙ මේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි. ලෝකයේ කිසිම ත්‍රස්තවාදී සංවිධානයකට ගුවන් ප්‍රහාරක හැකියාවක් තිබුණෙ නැහැ. ඉරාකයේ, සිරියාවෙ ලොකු භූමි ප්‍රමාණයක් කාලයක් අල්ලගෙන හිටපු අයි.එස්.අයි.එස් සංවිධානයටවත් ගුවන් ප්‍රහාරක හැකියාවක් තිබුණෙ නැහැ. නමුත් කොටි සංවිධානයට විතරක් ඒ හැකියාව තිබුණා. කොටි සංවිධානයේ ගුවන් ප්‍රහාර වලින් ලෝක ත්‍රස්තවාදයට අලුත් අත්දැකීමක් එක් කෙරුව. ඒ තමයි රාත්‍රී කාලයේ පමණක්, සෙමෙන්, පහතින් පියාසර කරන ඉතාමත්ම කුඩා ගුවන් යානා යොදවල බෝම්බ ප්‍රහාර දියත් කරන එක.

ඒ කාලෙ ප්‍රහාරක යානා වලට අපේ කට්ටිය කිවුවෙ කුරුම්බැට්ටි” කියලා. නමුත් මේ කුරුම්බැට්ටි පාවිච්චි කරලා කොටි ගැහැවුවෙ කොලොන්නාව තෙල් පිරිපහදුවට,  කෙලවරපිටිය තෙල් ටැංකි සංකීර්ණයට, කටුනායක ගුවන් හමුදා කඳවුර වගේ මර්මස්තාන වලට. හොඳ වෙලාවට ඒ ප්‍රහාර ඒ තරම් සාර්ථක වුණේ නැහැ. ඒවා සාර්ථක වුණා නම් අපිට ඉතාමත්ම බරපතල හානියක් සිද්ධ වෙනවා. කොටි සංවිධානය මේ විදියට ප්‍රහාර දියත් කරන්න පටන් ගත්තහම මුළු ලෝකයම තිගැස්සිලා හිටියා. කොටි ඒ කුඩා ගුවන් යානා වල ඇන්ජිමේ උෂ්ණත්වය පවා අපේ මිසයිල වලට අහු වෙන්නෙ නැති විදියට සකස් කරලා තිබුණා. අපි නෙවෙයි, ලෝකයත් එහෙම දෙයක් ගැන ඇහැවුවෙ මුල් වතාවටයි.

සියදිවි නසා ගැනීමේ ජැකට්ටුව, මරාගෙන මැරෙන කුඩා බෝට්ටු ලෝක ත්‍රස්තවාදයට හඳුන්වා දුන්නෙ කොටි සංවිධානයයි. මේ කුඩා ගුවන් යානා භාවිත කරමින් රාත්‍රී මෙහෙයුම් කරන එකත් ඒ අය ලෝකෙට හඳුන්වා දීපු තවත් ත්‍රස්තවාදී උපක්‍රමයක්. ඕව හිංදා තමයි ලෝකෙ තියෙන භයානකම ත්‍රස්තවාදී සංවිධානය හැටියට ඇමරිකාවේ එෆ්බීඅයි සංවිධානය 2008 දී නිල වශයෙන්ම කොටි සංවිධානය නම් කෙරුවෙ. ඔය විදියට අපේ ගුවන් හමුදාවට, ගුවනින්  සිදුකරන ත්‍රස්තවාදී මෙහෙයුම් සම්බන්ධයෙන් වෙනත් මොනම ගුවන් හමුදාවකටවත් නැති සුවිශේෂී අත්දැකීම් තියෙනවා. අද ලෝකයේ ජාතික රාජ්‍යයන් එකිනෙක එක්ක යුද්ධ කරන ප්‍රවණතාවය අඩුවෙලා තියෙනවා. ත්‍රස්තවාදය තමයි ලෝකය පුරාම යුදමය විසඳුම් සෙවිය යුතු ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙන්නෙ.  ඒ අංශයෙන් තමයි අපේ ත්‍රිවිධ හමුදාව අත්දැකීම් ලබලා තියෙන්නෙත්.

දශක හතරකට ආසන්න කාලයක් මුලුල්ලෙ පැවති ත්‍රස්තවාදී යුද්ධයේදී ගුවන් හමුදාව සටනට එක් වුණේ 1980 ගණන් වල ඉඳන්. ඒ, ත්‍රස්තවාදීන් භූමි ප්‍රදේශ පාලනය කරන්න පටන් ගත්තට පස්සෙ. එතන ඉඳල යුද්ධය අවසන් වෙනතෙක්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාව අති විශිෂ්ට මෙහෙවරක් ඉටු කළා. කොටින්ගෙ බල ප්‍රදේශය ඇතුළෙ තනි වෙච්ච යුද හමුදා කඳවරුවලට කොටි සියලු බලය යොදළ පහර දෙනකොට ගුවන් හමුදා නියමුවන් ඉතාමත්ම බිහිසුණු අවදානමක් අරගෙන ඒ කඳවුරු ඇතුළට හෙළිකොප්ටර් බස්සල තුවාල කරුවන් ඉවත් කරලා, ආයුධ සපයලා, හතුරටත් ගුවනින් ප්‍රහාර දීල, යුද හමුදාවට උපකාර වුණ ආකාරය ඒ යුද්ධයේ වීර වෘත්තාන්තයට එක්වෙලා ඉවරයි. ත්‍රිවිධ හමුදාවන් ක්‍රියාත්මක වෙන්නෙ යුද්ධයක් පවතින අවස්ථාවල විතරක් නොවෙයි, සාමය පවත්නා අවස්ථාවලත් ඒගොල්ලන්ට විශාල කාර්යභාරයක් පැවරෙනවා. අපි කවුරුත් දන්නවා ගං වතුර වගේ ආපදාවන් අවස්ථාවලදී ගුවන් හමුදාවෙන් කරන මානුෂීය මෙහෙවර ගැන. ඒ කාර්යභාරය ගුවන් හමුදාවට මිස වෙන කාටවත් කරන්න බෑ. රටේ වෙරළ තීරයේ ආරක්‍ෂාව හා මුහුදු සීමාවට ඇතුල්වෙන විදේශීය යාත්‍රා   සම්බන්ධ අවේක්ෂණ කටයුතු වලටත් ගුවන් හමුදාව නිරන්තරයෙන්ම දායක වෙනවා. 

අද දවසේ ගුවන් හමුදා නිලධාරීන් හැටියට අධිකාරී පත්‍ර ලබන්නේත්, ගුවන්නියමු ලාංඡන පළදින්නෙත් මේ රටට අති විශිෂ්ට සේවාවක් සිදු කළ ගුවන් හමුදාවෙ අනාගත උරුමක්කරුවන් වෙන තරුණ නිලධාරීනුයි. ඔබේ අනාගත රාජකාරී කටයුතු මේ ගුවන් හමුදාවෙ උරුමයට සරිලන ආකාරයට ඉටු කරනු ඇති බවට මගේ කිසි සැකයක් නැහැ. ඔබ සැමට මම සුබ පතනවා. 

ස්තුතියි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress