RANJANGATE SCANDAL – විනිසුරු පිලපිටියට රන්ජන්ගෙන් මරණ තර්ජන- ආන්දෝලනාත්මක හෙළිදරව්ව මෙන්න
Posted on January 18th, 2020

චාමර අමරසූරිය උපුටා ගැන්ම මව්බිම දැන්

එවක හිටපු ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු විපක්ෂයේ සිටි මැති ඇමැතිවරුන්, ප්‍රබල රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ නිලධාරීන් මෙන්ම ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලාට විරුද්ධව තම අධිකරණයේ විභාග වූ නඩු කටයුතු සඳහා පසුගිය ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ධුරය හෙබ වූ රන්ජන් රාමනායක මහතා තමා ඇතුළු තම පවුලේ සාමාජිකයන්ට මරණ තර්ජන කළ බවට කොළඹ හිටපු ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා වැඩ බලන පොලිස්පතිවරයාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. 

හෙතෙම වර්තමානයේ ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ලෙස කටයුතු කරමින් සිටින අතර මෙම පැමිණිල්ල පිලපිටිය මහතා විසින් ඉකුත් 9 වැනි දින වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට යොමු කර ඇත.

මීට අදාළ විමර්ශන කටයුතු වැඩ බලන පොලිස්පතිවරයා විසින් බස්නාහිර පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට යොමු කර ඇත.

ගිහාන් පිලපිටිය මහතා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ලෙස රාජකාරි කටයුතු කර ඇත්තේ 2014 සහ 2016 යන කාලසීමාව තුළදීය.

2015 වර්ෂයේ සිදුවූ ආණ්ඩු පෙරළියත් සමඟ එවක රාජ්‍ය අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ රන්ජන් රාමනායක මහතා දුරකථන ඔස්සේ තමාට ඇමැතුම් ලබාගෙන යහපාලන සංකල්පයට අනුව නඩු විභාග කළ යුතු ආකාරයක් ඇති බැවින් ඊට අනුගතව කටයුතු කළ යුතු බවට තර්ජනාත්මකව තමාට බලපෑම් කළ බව ගිහාන් පිලපිටිය මහතා සිය ලිඛිත පැමිණිල්ල මඟින් දන්වා තිබේ.

විශේෂයෙන් එවක තමාගේ දියණිය සහ පුතා පාසල් යමින් සිටි බවත් ඔවුන්වද රන්ජන් රාමනායක හිටපු රාජ්‍ය අමාත්‍යවරයා අනතුරකට පත් කරන බවත් සඳහන් කර තිබූ බවද ඔහු සිය පැමිණිල්ල මඟින් දන්වා ඇත. 

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ  රාජකාරි කරන සමයේ සංකීර්ණ හා ආන්දෝලනාත්මක නඩු රාශියක් දේශපාලනික මුහුණුවරකින් පැවැති බවත් එවැනි නඩු ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා, හිටපු හමුදාපතිවරුන්, පොලිස්පතිවරුන් වන ආදී සම්බන්ධ නඩු, හිටපු බුද්ධි අංශ නිලධාරියකු වන ජෙනරාල් හෙන්දාවිතාරණ, හිටපු ජනාධිපති කාර්ය මණ්ඩලය ප්‍රධානී ගාමිණී සෙනරත්, එවක විපක්ෂයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් මෙන්ම ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා කිහිපදෙනකුගේ නඩු පෙන්වා දිය හැකි බවත් ගිහාන් පිලපිටිය මහතා සිය පැමිණිල්ල මඟින් දන්වා තිබේ. 

ඔහු සිය පැමිණිල්ල මඟින් දන්වා ඇත්තේ තමාට සහ තම පවුලේ සාමාජිකයන්ට දුරකථන ඇමැතුම්වලට අමතරව ලිපි මඟින්ද මරණ තර්ජනය එල්ල කළ බවටය.

මෙම මරණ තර්ජනයන් රන්ජන් රාමනායක මහතා විසින් තමාගේ ජංගම දුරකථනයට, අධිකරණයේ නිල මැදිරියේ හා නිල නිවෙසේ ඇති ස්ථාවර දුරකථවලට මෙන්ම රත්නපුර කලවාන ප්‍රදේශයේ පිහිටි තමාගේ පෞද්ගලික නිවෙසේ ඇති ස්ථාවර දුරකථනයන්ට සහ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර් කාමරයේ ඇති දුරකථනවලටත් ලබාදී ඇති බවද සිය ලිඛිත පැමිණිල්ල හරහා ගිහාන් පිලපිටිය මහතා දන්වා තිබේ.

ඉන් නිල මැදිරියට ලද රන්ජන් රාමනායක මහතාගේ දුරකථන ඇමැතුමකට උසාවි පොලිස් නිලධාරියා ලෙස කටයුතු කළ පොලිස් සැරයන්වරයකු පිළිතුරු ලබාදී ඇති බවද ඔහුගේ ලිඛිත පැමිණිල්ලේ සඳහන් වේ.

එමෙන්ම මෙම කාලසීමාවේ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්ව සිටි වත්මන් මහාධිකරණ විනිසුරුවරියක වන නිරෝෂා ප්‍රනාන්දු මහත්මියට සැකකරුවකු විසින් සිදුකළ පාපෝච්චාරණයක් හරහා තමාව ඝාතනය කිරීමට සූදානමක් ඇති බවට තොරතුරු ලැබී තිබූ බවද එම ලිඛිත පැමිණිල්ලේ සඳහන්ය.

තවද එවක මාරවිල දිසා විනිසුරු කල්‍යාණි ලියනගේ මෙනෙවියටද එලෙසම සැකකරුවකු විසින් ප්‍රකාශයක් ලබාදෙමින් තමාව ඝාතනය කිරීමට ඇති සූදානමක් පිළිබඳ ප්‍රකාශ කර තිබූ බවද පිලපිටිය මහතා තම පැමිණිල්ලේ දන්වා තිබේ. 

තමාව ඝාතනය කිරීමට දරන උත්සාහය ගැන මෙම විනිසුරුවන් දෙදෙනාම තමාව දැනුවත් කළ බවත් ඒ සම්බන්ධයෙන් තමා එවක අධිකරණ කොමිෂන් සභාවේ හිටපු ලේකම්වරයකු වූ සිසිර රත්නායක මෙන්ම එම කාලයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයකු වූ ශවින්ද්‍ර ප්‍රනාන්දු යන මහත්වරු දෙදෙනාට දැනුම් දී උපදෙස් පැතූ බවද ඔහු සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.

ඔවුන්ගේ උපදෙස් පරිදි මීට අදාළව 2015-7-15 වැනි දින අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා වෙත ලිඛිතව වාර්තා කළ බවත් එසේම මේ සම්බන්ධයෙන් එවක පොලිස්පති ලෙස කටයුතු කළ එන්.කේ. ඉලංගකෝන් මහතාට ලිඛිතව දැනුම් දුන් බවත් ඔහුගේ ලිඛිත පැමිණිල්ලේ සඳහන් වේ. 

වන අලි නඩුවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ද සැකකරුවන් ලෙස ඇතුළත් කරන ලෙසට රන්ජන් රාමනායක මහතා බලපෑම් කළ බවද ගිහාන් පිලපිටිය මහතා සිය පැමිණිල්ල මඟින් දන්වා ඇත.

රන්ජන් රාමනායක මහතාගේ දුරකථන කතා විලාසය චෝදනාත්මක විලාසයක් ගත් බවත් තමා රාජපක්ෂ හිතවාදියකු බවත් ඔහු ප්‍රකාශ කළ බවද එම පැමිණිල්ලේ දැක්වේ. 

තමා එම චෝදනා ප්‍රතික්ෂේප කළ බවත් ඔහු පැමිණිල්ල මඟින් දක්වා තිබේ.

තමාට එල්ල වී ඇති තර්ජනය ප්‍රසිද්ධියට පත් වුවහොත් එම තර්ජනය බරපතළ විය හැකි යැයි තමා සිතා එය මාධ්‍ය වෙත හෙළි නොකරන ලෙසට තමා සමඟ අධිකරණයේ කටයුතු කරන පොලිස් නිලධාරීන්ට දැනුම් දුන් බවද ඔහුගේ පැමිණිල්ලේ දැක්වේ. 

තමාට දිගින් දිගටම මහජන පෙත්සම් ස්වභාවයෙන් අධිකරණ නඩු කටයුතු සම්බන්ධයෙන් බලපෑම් එල්ල වූ නමුත් ඊට තමා උපක්‍රමශීලීව අදාළ තර්කයන් මඟහරිමින් කටයුතු කළ බවද පිලපිටිය මහතා තම පැමිණිල්ල හරහා දන්වා ඇත. 

රන්ජන් රාමනායක මහතාගෙන් ලද දුරකථන ඇමැතුම් දැඩි සේ ප්‍රතික්ෂේප කිරීමට ලක් නොකර ඔහුගේ අරමුණ හා ඉල්ලීම් ඉටු නොවන පරිදි සෑම විටම තමාට ඉදිරිපත් වූ කරුණු මත සලකා නීත්‍යනුකූල තීන්දු, තීරණ ලබාදුන් බවද සිය පැමිණිල්ලේ ඔහු දක්වා තිබේ.

රන්ජන් රාමනායක මහතා සමඟ තමා සුහද පරිදි දුරකථන සංවාදවල යෙදුණද ඔහුගේ අවශ්‍යතා ඉටු නොවන පරිදි කටයුතු කළ බවක්ද ඔහු පැමිණිල්ල හරහා දන්වා තිබේ.

පැවැති තර්ජන හමුවේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා හා මිත්‍රශීලීව උපක්‍රමශීලීව කටයුතු කිරීමට තමා උත්සාහ ගත් නමුත් ඔහුගෙන් අධිකරණයේ නඩුවලට දිගින් දිගටම බලපෑම් එල්ල වූ බව ගිහාන් පිලපිටිය මහතා පැමිණිල්ලේ දක්වා තිබේ.

එක් අවස්ථාවකදී මා ඉදිරියේ පවතින නඩු සම්බන්ධයෙන් ඔහු අපේක්ෂා කරන අරමුණ ඉටු නොවේ නම් ජනතාව උසාවිය වටලා උසාවියට ගල් ගැසීමටත්, ගිනි තැබීමටත් සූදානමක් පවතින බවද රන්ජන් රාමනායක හිටපු රාජ්‍ය අමාත්‍යවරයා තමාට දන්වා සිටි බවද ඔහුගේ පැමිණිල්ලේ දක්වා ඇත. 

ඔහුගේ බලපෑම් සහ ඉල්ලීම් පිළිබඳව මා විසින් යහපත් ප්‍රතිචාරයක් නොතිබුණු නිසා රාමනායක මහතා තමාව පාර්ලිමේන්තුව තුළදී දැඩිව විවේචනය කළ බවද එම ලිඛිත පැමිණිල්ලේ සඳහන් විය.

තවද රන්ජන් රාමනායක මහතාට අමතරව ඔහු විසින් තමාට බලපෑම් කළ නඩු කටයුත්තක් සඳහා අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය තම නිවෙසට පැමිණ පෞද්ගලිකව තමාට බලපෑම් කළ බවද ගිහාන් පිලපිටිය මහතා විසින් මේ වන විට පොලිසිය හමුවේ ප්‍රකාශයක් ලබාදී ඇතැයි වාර්තා වේ. ඊට අමතරව ඇය විවෘත අධිකරණයට පැමිණ ගෝඨාභය රාජපක්ෂ මහතාද සැකකරුවකු ලෙස සිටි නඩුවකට සැකකරුවන් රක්ෂිත භාරයට පත් කරන ලෙස ඉල්ලා සිට තිබූ බවද පිලපිටිය මහතා පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇති බවද වාර්තා වේ. 

එසේම මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන තමා හා රන්ජන් රාමනායක මහතා අතර සිදුවූ දුරකථන හඬපටයට අදාළ සිද්ධියේදී හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා රක්ෂිත භාරයට පත් කරන ලෙසට රාමනායක මහතා තමාට දැඩිව බලපෑම් කළ බවද ගිහාන් පිලපිටිය මහතා පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇතැයි සඳහන් වේ.

මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා වැඩ බලන පොලිස්පතිවරයාට සිදු කර ඇති ලිඛිත පැමිණිල්ලට අනුව මේ වන විට කිහිපදෙනකුගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

ගිහාන් පිලපිටිය මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරිවරයාගෙන්, උසාවි පොලිස් නිලධාරියාගෙන්, අධිකරණ සේවා කොමිෂන් සභාවේ හිටපු වැඩ බලන පොලිස්පතිවරයාගෙන් හා නීති දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික ආරක්ෂක සොලිසිටර් ජනරාල්වරයාගෙන් දැනට ලබා ගෙන ඇති ප්‍රකාවලින් මෙම තර්ජනය රන්ජන් රාමනායක මහතා විසින් සිදුකළ බවට අනාවරණය  වී ඇති බවද එම ආරංචි මාර්ගයන් පවසයි.

එමෙන්ම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ උසාවි භාර නිලධාරියා වශයෙන් කටයුතු කළ පොලිස් සැරයන්වරයා එක් දිනෙක (විශේෂ නඩුවක් පැවැති දිනකට පසු දිනක) මහෙස්ත්‍රාත් නිල මැදිරියේ තිබූ ස්ථාවර දුරකථනයට ප්‍රතිචාර දක්වා තිබේ.

ගිහාන් පිලපිටිය මහතාගේ නිල කාමරය වන ඊට ඇමැතුම ලබාදී තිබුණේ කටහඬ ජනප්‍රිය චිත්‍රපට නළුවකු වන එවක රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් බව සැරයන්වරයා අවබෝධ කරගෙන තිබේ.

හා ලොක්කා තවම අපිට ඕන විධියට වැඩේ වෙන්නේ නෑ වගේ පේන්නේ, කෝ ලොක්කා තවම බැස්සේ නැද්ද?” යනුවෙන්  ඇමැතුම ලබාගත් අය ප්‍රතිචාර දක්වා ඇති බවද වාර්තා වේ. 

මේ අතර අවස්ථා කිහිපයකදීම යහපාලන සංකල්පයට අනුව නඩු විභාග කළ යුතු ආකාරයක් ගැන පවසමින් රන්ජන් රාමනායක මහතා විනිසුරු ගිහාන් පිලපිටිය මහතාට දන්වා ඇත්තේ එය එලෙස ඉටු නොවේ නම් අම්පාර, හම්බන්තොට, පුත්තලම, ත්‍රිකුණාමලය ආදී අධිකරණයක් තෝරා ගන්නා ලෙස බවද වාර්තා වේ.

තවත් වරක් රාමනායක මහතා ගිහාන් පිලපිටිය මහතාට ඔහුගේ අරමුණු ඉටු නොවේ නම් විනිසුරු අඹේපිටිය මහතාට සිදු වූ ඉරණම සිදුවේ යැයි තර්ජනාත්මක ස්වරයෙන් දන්වා ඇති බවද වාර්තා වේ. 

චාමර අමරසූරිය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress