හිටපු ජනපති සහ අගමැති වෙනුවෙන් නීතිපති නැහැ
Posted on January 20th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර වලක්වා නොගැනීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් දොලහේ වගඋත්තකරුවන් ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් නීතිපතිවරයා පෙනී නොසිටින බව නීතිපති දෙපාර්තමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නා.

ඒ, එම පෙත්සම් සත් පුද්ගල පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවූ අවස්ථාවේදීයි.

මීට පෙර මෙම පෙත්සම් සලකා බැලූ විනිසුරු මඩුල්ලේ සාමාජිකයෙකුව සිටි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධනගේ අභාවයෙන් ඇති වූ පුරප්පාඩුවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන පත් කර තිබුණා.

පෙත්සම කැදවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල් ෆර්සානා ජමීල් අධිකරණයට දැනුම් දුන්නේ මෙම පෙත්සම්වල වගඋත්තකරුවන් ලෙස නම් කර සිටින හිටපු ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් මින් ඉදිරියට නීතිපතිවරයා පෙනී නොසිටින බවයි.

මීට පෙර අදාළ වගඋත්තරකරුවන් ජනාධිපති සහ අගමැති ධුරයේ කටයුතු කරන අවස්ථාවේදී නීතිපතිවරයා ඔවුන් වෙනුවෙන් පෙනී සිටියද, මේ වනවිට ඔවුන් අදාළ ධුරයන්හි කටයුතු නොකරන බැවින් නීතිපතිවරයා තවදුරටත් පෙනී නොසිටින බවයි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළේ.

ඇය පෙන්වා දුන්නේ ඒ අනුව එම වගඋත්තරකරුවන්ට පෞද්ගලික නීතිඥයින්ගේ සහය ලබා ගැනීමට සිදුවන බවයි.

කෙසේ වෙතත්, මෙහිදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් නීතිඥ පුලස්ථි රූපසිංහ සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් නීතිඥ සුරේන් ප්‍රනාන්දු අධිකරණය හමුවේ පෙනී සිටිමින් තම සේවාදායකයින් වෙනුවෙන් විරෝධතා ගොනු කිරීමට යම් කාලයක් අවශ්‍ය බවට ඉල්ලීමක් කළා.

එය සලකා බැලූ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මාර්තු මස 6 වන දිනට පෙර එම විරෝධතා ගොනුකරන ලෙසත්, ඊට ප්‍රතිවිරෝධතා මාර්තු මස 27 වනදිනට පෙර ගොනුකරන ලෙසත් පෙත්සම්කාර පාර්ශවයන්ගේ නීතිඥයින්ට දැනුම් දුන්නා.

එසේම, මේ සම්බන්ධයෙන් වූ ලිඛිත දේශන අප්‍රේල් මස 30 වන දිනට පෙර ගොනුකරන ලෙස පෙත්සම්කාර පාර්ශවයන්ගේ නීතිඥයින්ට දැනුම් දුන් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම් විභාගය මැයි මස 12,13, සහ 14 දිනයන්හිදී ද, සිදුකිරීමට දින නියම කළා.

මේ අතර, දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු අද යළි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවට ඉදිරිපත් කෙරුණා.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අමාත්‍යවරුන් වන රිෂාඞ් බදියුදීන්, රවුෆ් හකීම්, නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා, බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි ඇතුළු 7 දෙනෙකුගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.

එමෙන්ම, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් සහ හිටපු අග්‍රාමාත්‍ය ලේකම්වරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා දින ඉල්ලා ඇතත්, මෙතෙක් ඊට දිනයක් ලබා දී නොමැති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.

කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ, දැනට අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ලබන මස 3 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කළේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress