පළාත් සභා මැතිවරණ රංජන්ගේ හඩපට අතර හංගලා – කැෆේ කියයි
Posted on January 21st, 2020

මාධ්‍ය ඒකකය කැෆේ සංවිධානය

රංජන් රාමනායක මහතාගේ හඩ පට වලට මුවාවී රජය පළාත් සභා මැතිවරණය තවදුරටත් කල් දමමින් සිටින බව කැෆේ සංවිධානය අවධාරණය කරයි. එහි විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා පෙන්වා දුන්නේ ‍‍ මේ වනවිට සියලු පළාත් සභාවල නිල කාලය අවසන්ව ඇති බවයි. නමුත්  මේ වන ‍තෙක් වත්මන් රජය එම පළාත් සභා  සඳහා මැතිවරණය පැවැත්වීම සම්බන්දයෙන් මුනිවත රකිමින් සිටින බව හෙතෙම සඳහන් කළේය.

රජය විසින් පළාත් සභා මැතිවරණ පවත්වනු වෙනුවට පළාත් සඳහා ආණ්ඩුකාරවරුන් පත්කිරීම මඟින් ජනතා පරමාධිපත්‍ය බලය පැහැරගැනීමකට ලක් කර ඇති බව හෙතෙම අවධාරණය කළේය. පැවති රජය ද දිනෙන් දින මැතිවරණ කල් දමමින්  සිටි අතර මේ නිසා ඇතැම් පළාත්  වල පළාත් සභා නිල කාලය අවසන් වී වසර ගණනාවක් ගතවන බවද හෙතෙම මෙහිදී සඳහන් කළේය. එම  කාලය තුළ  ද පළාත් සභා එවක හිටපු ආණ්ඩුකාරවරුන් යටතේ පැවැතිණ. මෙලෙස දිගින් දිගටම සිදුවීම නිසා පොදු මහජනතාවගේ පළාත් නියෝජනය අහෝසි වී සියලු බලතල එක් රජයෙන් පත්කළ නිළධාරියෙකු යටතට පත්වීම බරපතල කරුණක්  බව මනාස් මකීන් මහතා අවධාරණය කරයි.

පළාත් සභා පරිපාලනය හුදෙක්ම දේශපාලනික පත්වීම් වන ආණ්ඩුකාරවරුන් හරහා ක්‍රියාත්මක කිරීම මඟින් සාමාන්‍ය පොදු ජනයා දැඩි අසීරුවට පත්වන බව ද ඒ මහතා මෙහිදී සඳහන් කළේය.  එලෙස අසීරුවට පත් වන ජනයා වෙනුවෙන් පෙනී සිටිනු වෙනුවට ඇතැම් ජනමාධ්‍යයද රංජන් රාමනායක මහතාගේ හඩපට ආදිය ප්‍රචාරය කරමින් සැබෑ ජනතා ප්‍රශ්න අමතක කරමින් සිටින බව කැෆේ සංවිධානය පෙන්වා දෙයි. මෙ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අහමඩ් මනාස් මකීන් මහතා සඳහන් කළේ  රජය පළාත් සභා මැතිවරණ ද රංජන්ගේ හඩපට අතර සඟවා දමා ඇති බවයි.

මාධ්‍ය ඒකකය

කැෆේ සංවිධානය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress