RANJANGATE SCANDAL – රන්ජන්ගේ වීඩියෝවක් නිසා වැඩ තහනම් කළ විනිසුරු ධම්මික හේමපාලගෙන් සී.සී.ඩී.යට පැය 3 ක ප්‍රකාශයක්
Posted on January 21st, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

>පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමඟ සංවාදයේ නිරතවීම හේතුවෙන් සේවය අත්හිටුවා ඇති බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාල අද කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණ ප්‍රකාශයක් ලබාදුන්නා.

ඒ, මහේස්ත්‍රාත්වරයා සහ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සංවාදයේ නිරත වන වීඩියෝ පසුගිය දිනවල සමාජ මාධ්‍යයේ හුවමාරු වීමත් සමඟයි.

>මේ අනුව අදාළ ප්‍රකාශය ලබාදීමට ඔහු පස්වරු 2.30 ට පමණ කොළඹ අපරාධ කොට්ඨාශය වෙත පැමිණි අතර, පැය 3 කට ආසන්න කාලයක් අදාළ ප්‍රකාශය ලබාදුන් බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ දුරකථන හඬ පට සංවාද සිද්ධියට අදාළව හිටපු මහාධිකරණ විනිසුරු පද්මිනී එන්. රණවකගෙන් ද කොළඹ අපරාධ කොට්ඨාශය ඊයේ පැය 2කට අධික කාලයක් ප්‍රකාශයක් ලබා ගත්තා.

එහිදී ඇය තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමඟ දුරකථනයෙන් සංවාදයේ නිරත වූ බවට පිළිගෙන තිබුණා.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමග දුරකථන සංවාදවල නිරතවීමේ සිද්ධීන්වලට අදාළව, ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියගෙන් ද කොළඹ අපරාධ කොට්ඨාසය පෙරේදා පැය 05ක කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.

මේ අතර කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී සිංහලේ සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් කියා සිටියේ හිටපු විනිසුරු පද්මිණී එන් රණවක වහාම අත්අඩංගුවට ගත යුතු බවයි.

හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී එන් රණවක අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් සිංහලේ සංවිධානය අද දිවයිනේ ස්ථාන රැසක පෝස්ටර් අලවා තිබෙනු දක්නට ලැබුණා.

එසේම හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී එන්. රණවක දේශපාලන හේතුන් මත ලබාදුන් නඩු තීන්දුවලින් අගතියට පත්වූවන්ට සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා සිංහලේ ජාතික සංවිධානය අද නීතිපතිවරයා වෙත ලිපියක් භාරදුන්නා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress