රට රැකීම වෙනුවට ඒ ඒ වෙලාවට යමක් කරන ජාතික සංවිධාන වෙතයි
Posted on February 2nd, 2020

හර්ෂ කුමාර් සුරියආරච්චි 

මහජනතාවගේ දේශප්‍රේමී චන්දයෙන් පත්වූ ජනාධිපතිතුමාත් එම නිසාම බලය ලැබුණු වර්තමාන රජයත් තවත් මැතිවරණයක් අත ළඟ තිබියදී ජනතා විරෝධයක් ඇති කර ගනිමින් නිදහස් දිනයේදී ජාතික ගීය දෙමල භාෂාවෙන් ගැයීමට ඉඩ දේවියැයි යම් හෝ දේශපාලන විග්‍රහයක් ඇති අයෙකු නොසිතනු ඇති. නමුත් අපේ ජාතික සංවිධාන එවන් සැකයන් මතු කරමින් සහ වෙනත් සරල කරුණු මතු කරමින් රටේ තිබෙන ජාතිකත්වයට, ඒකීය රාජ්‍යයට බලවත්ම තර්ජනය වී ඇති නීති විරෝධිව ව්‍යවස්ථාව වෙනස් කිරීමේ ක්‍රියාවලිය කෙරෙහි නිෂ්ශබ්ද වෙමින් දැනුවත්ව හෝ නොදැනුවත්ව ජනතා අවධානය නිසි තැනට ගෙන ඒම වලකමින් සිටිනු පෙනේ.

අප රටේ ව්‍යවස්ථාව යනු අප රටේ උත්තරීතර  නීතියයි. එම උත්තරීතර නිතිය වෙනස් කිරීම පාර්ලිමේන්තුවට කල හැකි වුවත්, එහි සදහන් ඒකීය රාජ්‍යයක් යන වග, බුදු දහම ආරක්ෂා කර පෝෂණය කල යුතු  බව,  ජනතාවට පරමාධිපත්‍ය බලය ඇති වග වැනි වගන්ති කිහිපයක් ජනතාවගෙන් නොවිසා වෙනස් කළ නොහැකි බව ව්‍යවස්ථාවේ නීතිගත කර ඇත.මෙසේ ජනමතවිචරණයකින් ජනතාවගේ කැමැත්ත ලබාදුනහොත් මිස වෙනස් කල නොහැකි ව්‍යවස්ථාවේ නම් කර ඇති කාරණා අඩංගු වන්නේ එහි 1,2,3,5,6,7,8,9,10,11 යන වහන්ති සහ 30(2), 62(2) යන උපවගන්ති වලය. මෙම වගන්ති සහ උපවගන්ති වෙනස් කිරීම හෝ ඒවායේ අර්ථයට හානි කරන ව්‍යවස්ථා සංශෝධනයක් ජනමතවිචරනයකින් සම්මත වීමකින් තොරව නීතිගත නොවන බව ව්‍යවස්ථාවේ 83 වන වගන්තියේ සදහන් කොට ඇත. එයට හේතුව එම වහන්ති රටේ පැවැත්මට ඉතාමත් ප්‍රභල ලෙස බලපාන බැවිනි.

නමුත් පාර්ලිමේන්තුව විසින් ඉහත සදහන් 3 වන සහ 30(2) වගන්ති වල අර්ථයන්ට හානි වන ලෙස සැකසු 19 වන ව්‍යවස්ථා සශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් ජනමතවිචාරණයක් නොපවත්වා එය 19 වන ව්‍යවස්ථා සශෝධනය ලෙස සම්මත වී ඇතැයි කටයුතු කරමින් සිටි. 19 වන ව්‍යවස්ථා සශෝධන කෙටුම්පත තුල 83 වගන්තිය ප්‍රකාරව ජනමතවිචාරණයකට යා යුතු වෙනස්කම් අන්තර්ගත බව 2002 දී හා 2018දී ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නඩු තීන්දු අධ්‍යයනය කිරීමෙන් පැහැදිලි වේ. 3 වන වගන්තියෙන් දැක්වෙන්නේ ජනතාව සතු පරමාධිපත්‍ය බලයයි. 30(2) වගන්තියෙන් දැක්වෙන්නේ ජනාධිපති ධුර කාලයයි. ජනමතවිචරනයක් පවත්වා මිස සම්මත කල නොහැකි ව්‍යවස්ථා සංශෝධනයක් ජනමතවිචාරණයක් නොපවත්වා ව්‍යවස්ථා විරෝධිව සම්මත කර ගැනීමක් පාර්ලිමේන්තුව සහ විධායකයේ ආයතන විසින් සිදු කරමින් සිටියදී, එකදු හෝ ජාතික සංවිධානයක් ඒ දෙස් ඇස් ඇර නොබලා අන්ධයන් ලෙස කල් මරමින් සිටි.

මෙම නීති විරෝධී ලෙස ව්‍යවස්ථාව වෙනස් කිරීමේ පිළිවෙත නිෂ්ශබ්දව මඟ හැර සිටියහොත් කෙටි කලකදීම පාර්ලිමේන්තුව විසින් ජනතාවගෙන් නොවිමසා වෙනස් කල නොහැකි අනෙක් වගන්තිද ජනතාවගෙන් නොවිමසාම වෙනස් කරනු ඇත. ඒ සදහා ඔවුන් ඊනියා 19 වන ව්‍යවස්ථා සශෝධන ක්‍රියාවලිය පුර්වාදර්ශයක් ලෙසද ගනු ඇත. එවිට ජනතාවට නොදැනීම ඒකීය ශ්‍රී ලංකාව ෆෙඩරල් රජයක් වනු ඇත. බුදුදහමට ඇති ප්‍රමුඛස්ථානය නැතිවී යනු ඇත.

අපේ ජාතික සංවිධාන වලට මෙම තර්ජනය නොපෙනෙන්නේ මන්ද? ඔවුන් සැබෑවටම ජාතික සංවිධාන නොවේද? ඔවුන්ගේ අරමුණ යම්  දේශපාලන හෝ වෙනත් අරමුණු කෙරෙහි යොමුවී තිබෙන නිසාද? සැබෑ ජාතික සංවිධාන මේ සම්බන්ධයෙන් වහ ක්‍රියාමක විය යුතුයැයි අමුතුවෙන් කිව යුතු නොවේ. මේ ඔවුනට ආරාධනයයි.

හර්ෂ කුමාර් සුරියආරච්චි 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress