දෙමළ බෙදුම්වාදය මතවාදයෙන් පැරදවීම: ලිපි මාලා අංක 3
Posted on February 3rd, 2020

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B,. Ph.D. 

වඳුරන්ට දැළි පිහි දීම (නොහොත් සර්‌ව ජන චන්ද බලය)

ආදී සිංහළුන් පිට දීප දේශ ජයගත්තා….//
තම රට දේවල් පිටරට පටවා
පිට කාසිය මෙහි ඇද්දා
පිට දීප දේශ ජයගත්තා
ආදී සිංහළුන්….

පිටරට සිරිතට දිව දික්කරනා අඳ සිංහල කළු සුද්දා…//
කන්ට අඳින්ටා පිටරටින් එනතුරු මුහුදට දත නියවන්නා…//
පිට දීප දේශ ජයගත්තා
ආදී සිංහළුන්…

හෙරළි බතල ටික සුපුරුදු අම්මා රටහාලේ බත කාලා…//
කිරි නැති හින්දා රටකිරි දීලා සිංහල දරුවො මරන්නා…//
පිට දීප දේශ ජයගත්තා
ආදී සිංහළුන්…

පිටරට හාලේ බත්ටික නැත්නම් බඩගින්නේ සිංහලයා…//
අන්තිමේදී බුදියන පැදුරත් දැන් දැන් පිටරටින් එන්නා…//
පිට දීප දේශ ජයගත්තා
ආදී සිංහළුන්…
-ලක්‍ෂ්මී බායි

ඉතිහාසය කන්නද!

2019 ජනාධිපති මැතිවරණය මගේ මතකයට ගේන්නේ, පලවෙනි විජයබාහු රජතුමා නිසා නොවෙන්නට ලංකාව දකුණු ඉන්දියාවේ කොටසක් වනවා යයි නීල කණ්ඨ ශාස්ත්‍රි නම් ද්‍රවිඩ ඉතිහාසඥයා පැමිණි නිගමනයය. දුටුගැමුණු, වලගම්බා, ගජබා, විජයබා ලේ (ජාන) පරපුර (ඩී.‌එ‌න්.‌ඒ), සිය නෑයින් සියළු දෙනා ඝාතනය කිරීමෙන් පලවෙනි පරාක්‍රමභාහු රජු විසින් විනාශකල නිසා ඔහුගෙන් පසු සිංහල රාජධානිය පිරිහී ගියේය (මාඝ ආක්‍රමණයද, භූමි කම්පාවක් නිසා මහවැලි ගඟ හා ආශ්‍රිත වාරිමාර්‌ග පද්ද්ධතිය කඩා වැටුනාය යන මතයද මෙහිදී සඳහන් කල යුතුය). 1559/62, මායාදුන්නේ/ටිකිරි බණ්ඩාර (රාජසිංහ) මෙහෙයවූ මුල්ලේරියාව සටන යුරෝපීය ජාතියක් ආසියාවේදී පැරදුන ප්‍රථම අවස්ථාවය. ජපානය රුසියාව පැරදුවේ 1905 දීය. 1594 දන්තුරේ සටන හා 1602 බලන සටන කලේ පලවෙනි විමලධර්‍මසූරිය රජතුමාය (කලින් කොනප්පු බණ්ඩාර). සිංහලේ පෘතුගීසී ග්‍රහණයෙන් බේරුණේ අනූනමයෙන්‌ය. 2004 ජනාධිපතිවරණයෙන් ලංකාව බේරුණා වැනිමය. මෑතදී ලංකාව විනාශවීම නැවතුනේ 2009 මැයි 18 දාය. පාස්කු ප්‍රහාරය නිසා රටට අනාගතයේදී සිදුවන්නට නියමිතව තිබුණු මහා විනාශයක් වැළැකී ගියේය. දැන්‌ රංජන් රාමනායකගේ හඬපට වලින් අනාවරණය වන්නේ, 2019 නොවැම්බර් 16 දින සිදුවී ඇත්තේ ඔහු කියන අන්දමට රනිල් කල්ලිය බලයට ආවොත් සිංහල බෞද්‌ධයාට උගන්වන්නට සිතා සිටි නරක පාඩම නතරවී, සිංහල ජාතිය ලෝක සිතියමෙන් අතුගෑවී නොගොස් ගැලවීමය.

සර්‍වජන චන්ද බලය

ක්‍රිස්තු වර්‍ෂ 1505 න් පසු ලෝකයේ ව්‍යාප්තවූ යුරෝපීය යුදෙව් ක්‍රිස්තියානි යටත් විජිතවාදී යුගයේ එක් සුවිශේෂ සිද්ද්ධියක් වන්නේ 1815 වන තෙක්ම සිංහලේ නමින් මුළු ලෝකයම දැන සිටි පසුව ඉංග්‍රීසි භාෂාවෙන් සිලෝන් යයි හැඳින්‌වූ බ්‍රිතාන්‍ය යටත් විජිතයට එහි සුදු පාලකයින් විසින් 1931 වර්‍ෂයේදී සර්‍වජන චන්ද බලය ප්‍රදානය කිරීමය. මෙම විප්ලවකාරී තීරණයට හේතු සාධක‌වූ කරුණු මොනවාද යන්න වෙනම සලකා බැලිය යුතු කරුණකි. දීර්‌ග වීදි සටනකට පසුව එංගලන්තයේ ස්ත්‍රීන්ට එසේ චන්ද බලය ලැබුණේ 1928 දීය. බරපතල දේශපාලන අරගලයකින් පසුව ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්ත්‍රීන් එය ලබාගත්තේ 1920 දීය. ඉන්දියාවේ මෙම සර්‍වජන චන්ද බලය ක්‍රියාත්මක වුනේ ඊට දශක දෙකකට පසුවය. ලංකාවේ 1833 සිට පැවැති කෝල්බ්‍ර‌ෑක්-කැමරන් පාලන ආකෘතිය යටතේ පිහිටුවන ලද ව්‍යවස්ථාදායක සභාවට, ප්‍රථම වරට චන්දයෙන් නිල නොලත් නියෝජිතයින් හතර දෙනෙකු පත්‌වූයේ 1910 දීය. ඒ සඳහා අධ්‍යාපන මට්ටම හා/හෝ දේපල-ධනය අනුව චන්ද බලය හිමිවූයේ 3,000 කටත් අඩු සුළු පිරිසකටය. එවකට එංගලන්තයේ ප්‍රචලිතවූ, රජු, ඉඩම්හිමි රදලයින් හා වානිජ ධනවතුන් ගේ අතින් පොදු මහජනතාවට පාලන බලය මාරු විය යුතුය යන ලිබරල්වාදී අදහස් අනුව යමින් 1927 දී ලංකාවට පැමිණි ඩොනමෝර් කොමිෂම විසින් අවුරුදු 21 ට වැඩි සෑම දෙනාටම චන්ද බලය පැවරීමේ යෝජනාව ඉදිරිපත්කල විට, ඒ වන විට ලංකා යටත් විජිතයේ දේශපාලනය කරමින් සිටි ඉංග්‍රීසි කතා කල, සිංහල, දෙමළ, මුස්ලිම් පවුල් ඊට විරුද්ද්ධවූයේ, එය හරියට වඳුරන්ගේ අතට දැළිපිහි දෙනවා වගේ වැඩක් නොවේදැයි අවඥාසහගත මැසිවිලි නඟමිනි. මොවුන්ට වෙනස් මතයක් දරමින් ඊට පක්‍ෂව කොමිෂම ඉදිරියේ ශාක්‍ෂිදුන් එකම දේශපාලනඥයා වූයේ එවකට සිටි කම්කරු නායක ඒ. ඊ. ගුණසිංහ මහතා පමණය. කොමිෂමේ එක් සුදු සාමාජිකයෙක් මෙහිලා ඔහුව දිරිමත් කලේය.

වඳුරන්ට දැලිපිහි දීම නොහොත් කළු සුද්දන්ගේ සම්භවය

1928 දී ඩොනමෝර් කොමිෂම විසින් ලංකාවට සර්‌වජන චන්දබලය දීමට යෝජනා කල විට, ඒ කාලයේ සිටි සිංහල-දෙමළ- මුස්ලිම් දේශපාලක කළු සුද්දන් ඊට දැඩිලෙස විරුද්ද්ධ විය. එය හරියට වඳුරන්ට දැළිපිහි දීමක් වැනියයි ඔවුන් පැවසුවේය. මෙසේ පැවසූ අයගේ ආරම්භය පටන් ගන්නේ 1551 දී කෝට්ටේ දොන් ජුවන් ධ‌ර්‍මපාල ක්‍රිස්තියානි රජු වශයෙන් පත්‌වූ දා සිට පැවත ආ සුද්දන්ට බැල මෙහෙවර කර, ස්ත්‍රීන් සපයා, ඔත්තු සපයා, රට ජාතිය පාවාදී තාන්න මාන්න ලබාගත් පිරිස ගෙන්‌ය. 1815 දී ද්‍රවිඩ රජු අල්ලා ගන්නා විට සුද්දන්ට උදව්වට එතැන සිටි බණ්ඩාරනායක හා තොම්බි මුදලි ජයවර්‍ධන යන දෙන්නා සහ යාපනේ (මන්නාරමේ) මුතුපර කැඩීමේ වෙළදාම කල කුමාරස්වාමි මුදලියාර් ප්‍රමුඛ, 1818, 1848 කැරළි හා 1883 කොටහේන බෞද්ද්ධ-ක්‍රිස්තියානි ගැටුමේදී සුද්දාගේ පැත්ත ගත්තේද මොවුන්‌ය. 1910 පමණ සිට ව්‍යවස්ථාදායක සභාව හරහා බෝවූ ඉංග්‍රීසි ඉගෙනගත් මේ පිරිසේ වැඩිහරියක් 1915 සිංහල-මුස්ලිම් කෝලාහලයේදී ආණ්ඩුකාරයාගේ ඔත්තුකරුවන් විය. 1835 දී මැකෝලි සාමි විසින් ඉන්දියාවේ ඉංග්‍රීසි අධ්‍යාපන ක්‍රමය හරහා ඇතිකල, හමෙන් දුඹුරු, සිතින් සුදු (යුරෝපීය), මේ දුඹුරුපාට බ්‍රිතාන්‍යයන්ට කළුසුද්දන් යන නාමය පටබැන්ඳේ අනාගාරික ධ‌ර්‍මපාලතුමා විසින් 1910-1920 දශක වලදීය. යුරෝපයේ මේ වර්‌ගයේ පිරිස් ගැන මුලින්ම පොතක් පලවුනේ 1960 දශකයේය.

අවලංගු කාසි

අද වනවිට පක්‍ෂ දේශපාලකයින් හා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය හෙවත් පාර්ලිමේන්තුව, පලාත් සභා හා ප්‍රාදේශීය සභා සම්බන්‌ධයෙන් රටේ පවතින්නේ ඒවා අශීලාචාර, අදක්‍ෂ, නූගත්, වංචනිකයින්ගෙන් පිරුණු දූෂිත මඩුය යන මතයය. බොහෝ විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද මේ මතය ප්‍රකාශකර ඇත. මේ නිසා 1948 සිට ගතවූ අවුරුදු 71 තුල රට පාලනය කලේ සුද්දන් විසින් දැලි පිහි කොට නොව කඩු අතට දුන් වානර පිරිස් යයි කීම ඉතිහාසය විසින් මේ රටේ බලය අල්ලාගෙන සිටිනා කළු සුද්දන්ට කල සරදමක් නොවේද කියා සිතේ. යම් නුදුරු දිනක සුද්දන් විසින් මේ රට ඔවුන් විසින් අමු කිරි පොවා බෝකල කළු සුද්දන් රංචුවලට භාරදී යනු ඇති බවත්, එවිට ඔවුන් විසින් රට මකබෑ කරණු නිසැක බවත් අනාගාරික ධ‌ර්‌මපාලතුමා 1920-40 දශකවල දිගටම කියා සිටියේය. මෙම අනාවැකිය සනාථ කරමින් පක්‍ෂ දේශපාලකයින් විසින් දැන් 2019 අග වනවිට ලංකාව කොට උඩ යවා ඇත. මේ වනවිට රට සුනු විසුනු නොවී කැබලි වලට කැඩී නොගොස් පවතින්නේ මේ දිවයින ආරක්‍ෂා කරණා යම් අදෘෂ්‍යමාණ බලවේගයක ආනුභාවයක් නිසාමය.

චන්ද නමැති කොටි වලිගය

නා නා මාදිලියේ මන්ත්‍රී ප්‍රාණ තෝරණ රටේ දැනට ඇති චන්ද ක්‍රමය, විශේෂයෙන්ම සිංහල චන්ද දායකයාට පංගාදු කල කොටි වලිගයක් වැනිය. මෙම උගුලේ බැරෑරුම්කම 2019 ජනාධිපතිවරණයට අදාල ගාලගෝට්ටියෙන් හෙලිවිය. කොටියා පිටිපසින් ගහ වටේ යන ගැමියා මෙන් ජනයා චන්ද වටේ කැරකෙයි. ස්ථාපිත රාජ්‍ය පාලන ක්‍රමය නොහොත් මෙම බොරු ප්‍රජාතන්ත්‍රවාදයේ නග්න හෙළුව නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් එලිදරව් කරමින් සිටියේය. බලාගෙන යනවිට ඔහු කියන නීතියේ ආධිපත්‍යය කෙළසීම හා අධර්මිෂ්ට සමාජයක් මතුවීම යනු එකම කාසියේ දෙපැත්තය. යුරෝපීය රටවල් විසින් ඉංග්‍රීසි වචනයෙන් ලංකාව දැන් ෆේල්ඩ් ස්ටේට් (අසාර්‍ථක රාජ්‍යයක්) එකක් යයි කියන්නේත්, රටේ ගම් වැසියන් විසින් ලංකාවේ දැන් කොසොල් රජතුමාගේ සීන සැබෑවෙලා යයි කියන්නේත්, පක්‍ෂ දේශපාලන කළු සුද්දන් විසින් කල ජාතික අපරාධයටය.

මීතොටමුල්ල කුණු කන්දේ සිට ස්කොට්ලන්තයේ ඉස්පිරිතාලවල කුණු ජරාව ලංකාවේ ගොඩ ගැසීම දක්‌වා, ඉතාමත් සුළු දූෂිතයින් රංචුවකට හැර, සාමාන්‍ය රට වැසියාගේ හිතට සහනය ගෙනදෙන කිසිම දෙයක් අද ලංකාවේ සිදුවන්නේ නැත. 1917 රුසියන් විප්ලවයට පෙර 1903 දී ඇමෙරිකන් ලේඛකයෙක්‌වූ ජැක් ලන්ඩන් විසින් එංගලන්තයේ ඊස්ට් එන්ඩ් ලන්ඩන් කලාපයේ මුඩුක්කුවල ජීවත්‌වන මිනිසුන් ගැන රහසිගතව සමීක්‍ෂණයක් කර පීපල් ඔෆ් ද අබිස් යන නමින් පොතක් ලියුවේය. ලෝකයේ බලවත්ම, ධනවත්ම අධිරාජ්‍යයේ විශාල මන්‌දිර අතර මෙසේ සතුන් මෙන් මිනිසුන් ජීවත්‌වන්නේ කෙසේද යන්න ඔහුගේ කුතුහලයට ලක්‌විය. ඔහුගේ නිගමනය වූයේ එයට හේතුව මිස්මැනේජ්මන්ට් හෙවත් අදක්‍ෂ පාලනය (අවපාලනය?) යනුය. ලංකාවට සිදුවූයේද මෙයමය. බෞද්‌ධ රාජ්‍ය ප්‍රතිපත්ති නොදත්, හිරි ඔත්තප්ප නැති, ලෝභ-ද්වේශ-මෝහයෙන් පිරි පංචස්කන්‌ධ රාජ්‍ය බලය ඩැහැගෙන සිටීමය.

ඩොනමොර් බෞද්ධයින්

1931 දී ඇරඹුණ ඩොනමෝර් ආණ්ඩුක්‍රමය යටතේ, ආරක්‍ෂක, විදේශ කටයුතු හා මුදල් යන විෂය තුන සුද්දන් යටතේම තබාගෙන, සෙසු දේශීය රාජ්‍ය පාලන කටයුතු ස්වදේශික රාජ්‍ය මන්ත්‍රණ සභා නියෝජිතයින්ට පවරාදෙන ලදී. පොදු ජනතාවට සර්‍වජන චන්ද බලය දීමට විරුද්ධවූ සිංහල දේශපාලකයින් හැමදෙනාමවාගේ ඉන් පසුව කලේ, ඊට පෙර තම පුද්ගලික වාසිය සඳහා සිය ලබ්ධිය මාරු කල පරිදිම, එනම් බෞද්ද්ධව සිට කතෝලික, කතෝලිකව සිට රෙපරමාදු, හා රෙපරමාදුව සිට ඇන්ග්ලිකන් වූවා මෙන්, එම ක්‍රිස්තියානි නිකායවල සිට ආපසු නාමික බෞද්ද්ධයින් බවට පෙරලීමය. කොළඹ තම බංගලාව තුල ක්‍රිස්තියානී ක්‍රමයට දිගටම හැසුරුණු මේ ඩොනමෝර් බෞද්ධයින් ගමේ පන්සල්වල හාමුදුරුවරුන් ඉදිරියේ දණින් වැටුණ අළුත් උපාසකයින් විය. කැඩිච්ච සිංහලෙන් කතා කල මොවුන් බොහෝ දෙනා හා ගැමි චන්දදායකයින් අතර භාෂා පරිවර්තක සේවය ඉටු කලේද ගමේ පන්සලය. සමහර විට අගමැති බණ්ඩාරනායක මෙන් පරම්පරා ගණනාවකට පසු අවංකවම මිථ්‍යා දෘෂ්ටිය හා සම්‍යයක් දෘෂ්ටිය අතර වෙනස හඳුනාගත් යම් අයද මේ අතර සිටින්නට ඇත. මෙම ඩොනමෝර් බෞද්ධයින්ව, 2003 දෙසැම්බර් 12 ගංගොඩවිල සෝම හාමුදුරුවන්ගේ හදිසි වියෝවෙන් පසු ලංකා පක්‍ෂ දේශපාලනයේ මතුව සිටිනා පිරිත්නූල් බෞද්ධයින් සමඟ සංසන්දනය කරනවිට මේ දෙපිරිසගේ කාලානුරූප ව්‍යාජ (කුහක) හැසිරීම් රටා පැහැදිලි ලෙස එලිදරව් වන්නේය.

ඇමෙරිකාවේ වහල් හිමියන්

1924 වනවිට එවකට තිබූ ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින් 49 දෙනාගෙන් 23 දෙනෙක් කොට්ඨාශ අනුව චන්දයෙන් පත්‌විය. 1931 දී සර්‍වජන චන්ද බලය යටතේ ජාතීන් අනුව නියෝජනය අහෝසිකර මුළු රටම වන්ද කොට්ඨාශ 50 කට බෙදන ලදී. 1931 ප්‍රථම මැතිවරණයට ඉදිරිපත්‌වූ අයගේ නම් ලැයිස්තු දෙස බලනවිට එය බැලූ බැල්මටම එවකට රටේ සිටි කළු සුද්දන්ගේ නාමාවලියක් සේ දිස්වේ (උපලේඛන අංක 1). එංගලන්තයේ සිට මුදල් උපයා ගැනීමට ලංකා යටත් විජිතයට පැමිණි සුද්දන් උඩරට කඳු කපා කෝපි හා තේ වවද්දී සුද්දන්ට දරදිය ඇද්ද දුඹුරුපාට කළු සුද්දන් කලේ වැඩිවශයෙන් රබර් හා පොල් වගාවල නිරතවීමය. දකුණේ මිනිරන් පතල් කරුවන්ද, අරක්කු රේන්ද කරුවන්ද, උතුරේ මුතුපර වෙළඳාම කල කුමරස්‌වාමි පවුල්ද සිටියේය. 1910 වන විට මේ අයගේ පුතුන් එංගලන්‌තයට ගොස් අධ්‍යාපනය ලබාගෙන සිටියේය. මෙය හරියට දැන් කාලයේ සිටින නූගත් දේශපාලකයින් තමන්ගේ දරුවන් පිටරටකට යවා ඉංග්‍රීසි උගන්වා ගන්නවා වගේය.

අවාසනාව නම් මේ සඳහා ඔවුන් යොදාගන්නේ අරාබිකරයේ ගෙවල්වල දාසකම් කරණ දුප්පත් ලංකා ස්ත්‍රීන් උපයා එවන ඩොලර් වීමය. ඒ කාලයේ ධනය හා බලය හිමිවූ මේ කළු සුද්දන් ගතකල ජීවිතය සමාන කල හැක්කේ ඇමෙරිකාවේ දකුණේ වහළුන් හිමි වතු හිමියන් ගත කල ජීවිතය සමඟය. වහල් හිමියා වහල් අන්ත:පුරයක හිමිකරුද විය. ලංකාවේ ධනහිමියන්ට හා වලව්කාරයින්ටද, වලව්වේ කුමාරිහාමිලා දැන හෝ නොදැන, ඔවුන්ගේ කුඩා වතුවල අනියම් සම්බන්‌ධකම් හා ඉන් බිහිවූ දරු පැටවුන් සිටියේය. අද වනවිට ලංකාවේ දේශපාලනය කල හැක්කේ ධනබලය සමඟින් මැරබලය ඇති අයට නිසා පාර්ලිමේන්තුව තුල පවා එලිපිට හොර ගෑණුන් සිටීම ගැන උජාරුවෙන් කතා කරනවා අසන්නට ලැබේ. ඇමෙරිකාවේ 3 වන ජනාධිපති තෝමස් ජෙෆර්‌සන් හා වහල් ස්ත්‍රී සැලී හෙමින්ස්ගේ රහස් ආදර කතාව, කළු විරෝධී, 1948 ජනාධිපති අපේක්‍ෂක, ස්ට්‍රෝම් තර්‌මන්ඩ්ගේ වහල් අනියම් බිරිඳ, පානදුරේ සුසන්තා ෆොන්සේකා, මොලමුරේ, සර් ජෝන් යනාදීන් මේ ගනයට වැටේ. බාහිර පෙනීම, ගාම්භීර පෞරුෂත්‌වය හෙවත් ප්‍රතිරූපය යන කෘතිම මවාගත්, ව්‍යාජ ආටෝප හා යමෙකුගේ නියම අවංක චරිතය අතර ඇත්තේ අහසට පොළොව මෙන් වෙනසki

1912 දී පමණ සිට අනාගාරික ධර්‍මපාලතුමා මොවුන් කලින් සාදාගෙන සිටි ලංකා ජාතික සංගමය සමඟ සහයෝගයෙන් ක්‍රියාකරන්නට උත්සාහ කලත් එය යාදෙක නොරත රථ ගනයේ අත්දැකීමක් විය. 1931 චන්දයේදී අනුරාධපුර චන්දකොට්ඨාශයට තරඟකල හර්‌බට් ෆ්රීමන් මහතා කලින් ඒ පලාතේ දිසාපතිවද සිටියේය. ඔහුගේ පාටවූයේ කොල පාටය. ඔහු ගසක කොල අත්තක් පෙන්වා ඒ පාටට කතිරය ගසන ලෙස ගැමි ජනයාගෙන් ඉල්ලා සිටියේ දිනුවොත් කොළඹ මන්ත්‍රණ සභාවට යනවා නැත්නම් එංගලන්තයට යනවා යයි කියමි‌න්‌ය. ඔහු 1936 දී පත්‌වූයේ නිතරඟයෙනි. 1931 දී ඔහු හා තරඟකල සිංහල නීතීඥයාගේ ඇපයද රාජසන්තක විය. මෙම කරුණින් එලිදරව්වෙන්නේ අවංකව මහජන සේවය කරන මිනිසෙකු ඉදිරිපත්‌වුනොත් සිංහල ගැමියා ඥානාන්විතව චන්දය පාවිච්චිකරන්නට මුල සිටම දැන සිටි බවය. සිංහල මිනිහෙක් වෙනුවට ගැමි ජනයා ඔහුට චන්දය දීමෙන් ගැමි බෞද්‌ධ විඥානය හෙලිවිය. ආසන දෙක තුනක හැර සෙසු ප්‍රදේශවල චන්දය ඉල්ලුවේ සුද්දන් යටතේ ධනවත්‌වූ අය දෙකට බෙදීය. ඇමෙරිකාවේ වහළුන් හිමි වතුකාරයින් මෙන් මේ අය බොහෝදෙනා රබර්, පොල් වතුවල හොර ගෑණුන් තබාගෙන විනෝදයෙන් සිටි අයවිය.

අපේක්‍ෂකයින් වංක නම් චන්දදායකයා අතරමංවේ. ඇත්තවශයෙන් බලනවිට දැළිපිහිය දුන් වඳුරන්සේ හසුරී ඇත්තේ ඩොනමෝර් යුගයේ මන්ත්‍රීන් නොවේද යන්න ජේන් රසල් විසින් ඩොනමෝර් සමයේ ජාතිවාදී දේශපාලනය යන මාතෘකාව යටතේ කරන ලද ආචාර්ය උපාධි පර්යේෂණය කියවන ඕනෑම කෙනෙකුට පැහැදිලි වන්නේය. ඉංග්‍රීසීන් විසින් බෙදා පාලනය කිරීම ඉතාමත් පහත් ආකාරයටම ගෙන ගිය බව සැබෑය. ඔවුන් 1815 දී භාරගත් සිංහලේ 1948 දී කළුසුද්දන් රංචුවකට භාරදී ගිය බවත් සැබෑය. එහෙත් 1931-47 කාලයේදී බෞද්ධ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කර රට ගොඩගැනීමට යෝජනාකල එකම පුද්ගලයාවූ ධර්‌මපාලතුමාට අවමන්කර ඔහු රටින් එලවා ගන්නට මේ දේශපාලක වඳුරන් හා මාක්ස්වාදීන් ක්‍රියාකලේය. අද ගම බදාගෙන දඟලන දේශපාලකයින්ගෙන් කී දෙනෙක් 1940 ගණන්වල කළුකොඳයාවේ ප්‍රඥාශෙඛර හිමියන් ආරම්භකල දීප ව්‍යාප්ත අපරාධ මර්‍ධන හා ග්‍රාම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය ගැන දන්නවාද? බිම් මට්ටමින් ඉතාමත් සාර්‌ථකවූ මෙම වැඩ සටහන සුදු හා කළුසුදු නිලධාරීන් හා දේශපාලකයින් විසින් කඩාකප්පල් කර දැම්මේය. දැන් 2020 වනවිට අවශ්‍යව ඇත්තේ ගම-වැව-දාගැබ යන ත්‍රිත්‌වය මත අවුරුදු දෙදාස් පන්සීයකටත් වඩා ක්‍රියාත්මකවූ මොඩලය නොවේද? ජනාධිපති ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ, ගම සමඟ පිළිසඳරක් යන කොටසේ සඳහන වන ජන මූල සභා මෙය අනුමත කිරීමකි.

කුලය හා ජාතිය

සුද්දන් විසින් බෙදාපාලනය සඳහා කුලය හා භාෂාව යොදාගැනීම 1832 වනවිට එලිපිටම සිදුවිය. ක්‍රිස්තියානි ආගම අනුව කුලභේදයට ඉඩක් නැතත් කුලහීන යයි සලකන දෙමළ ජනයා පල්ලිය තුල ඉඳගත්තේ පුටුවල නොව මිටි බංකු හෝ බිමය. පරණම දෙමළ කළු සුද්දන් වූනේ කුමාරස්වාමි-රාමනාදන් නම් මන්නාරමේ මුතුපර කිමිඳීමේ ව්‍යාපාරය බදුගත් කට්ටියය. ඔවුන් විවාහ අවාහ මඟින් සුදු ජාතීන්ට ලංවිය. අද මහ බැංකුවේ ලොක්කා වන ඉන්ද්‍රජිත්ද, ඔහුගේ සොයුරී රධිකා කුමාරස්වාමිද, උතුරේ මහ ඇමතිව සිටි විග්නේශ්වරන් හා හින්දු ආගමික කටයුතු ඇමතිව සිටි ස්වාමිනාදන්ද මේ අයගෙන් පැවත එන අයය. දකුණේ සිටියේ බණ්ඩාරණායක-ඔබේසේකර පවුල්‌ය. මේ පවුල් අවුරුදු 60-70 ක් පමණ කාලයක්ම සිංහල හා මලබාර් (1911 සිට දෙමළ යන නම) වැසියන්ගේ නියෝජිතයින් සේ ආණ්ඩුකාරයා විසින් පත් කරණ ලදී. 1812 පමණ සිටම ඇමෙරිකන් මිෂනාරී පාසැල් මඟින් බිහිවූ ඉංග්‍රිසි උගත් ද්‍රවිඩ ජනයාට සුදු ආණ්ඩුවේ තනතුරු හිමිවිය. දකුණේ ඉංග්‍රීසි පසැල් ආරම්භවූයේ 1880 දී කර්‌නල් ඕල්කොට්ගේ ආගමනයට පසුවය.

ඉන්දියාව කියන්නේ මිථ්‍යාවක් යන අදහස වක්‍රව අනුමත කරමින්, පකිස්ථානයකින් කෙලවරවූ හින්දු-මුස්ලිම් අර්බුධයට වක්‍රව අනුබල දුන්නා වගේම ලංකාවේද සිංහල-දෙමළ සමතැනකට සුදු අණ්ඩුකාරයින් උල්පන්දම් දුන්නේය. 1921-24 කාලයේදී සුළු ජනව‌ර්‌ග එකට ගත් විට මහජාතිය හා කරට කර සිටින ව්‍යවස්ථාදායක සභාවක් සැදීමේ යෝජනාව පිටිපස සිටියේ මැනිං ආණ්ඩුකාරයාය (සමානුපාතික චන්ද ක්‍රමය යටතේ පක්‍ෂයකට තිබිය යුතුවූ 12% දිස්ත්‍රික් චන්ද අවමය, 5% ට අඩුකිරීමෙන් 1988 දී ආර්. ප්‍රේමදාස විසින් සමබර වෙනුවට මහජාතිය දීන ලෙස සුළු ජාතිවල චන්ද හිඟන්නන් බවට (1994 චන්දයේ සිට) වට්ටා දැමීමය. ලංකාවේ දේශපාලන නායකත්‌වය තමන්ට නොලැබෙන බව පෙනීගිය විට පොන්නම්බලම් අරුණාචලම් මහතා ලංකා ජාතික (කොන්ග්‍රස්) යන සංකල්පය බැහැර කර ටැමිලක්කම් (දෙමළකම) යන කෝච්චියට නැඟ ගත්තේය. 1832 සිට ජාතීන් අනුව නියෝජනයක් මඟින් ජාති භේදයකට මඟපෑදු සුද්දෝ, 1931 දී සර්‌වජන චන්ද බලය දුන්නේ අවුරුදු සීයක් පුරාම ජාතිවාදී ලෙස සිතීමට පුරුදුවූ දේශපාලකයින් එක්වරම ශාන්තුවරයින් බවට පෙරලේ යයි සිතා විය යුතුය. එහෙත් ඩොනමෝර් ආණ්ඩුක්‍රමය නම් අත්‌හදාබැලීම යටතේ සිදුවූයේ ජාතිවාදී ලෙස සිතීම තව තවත් තීව්‍රවීමය. ජී. ජී. පොන්නම්බලම් විසින් ගෙනා පනහට පනහේ ඉල්ලීම, චෙල්වනායගම් යටතේ පෙඩරල්-ටැමිල් රාජ්‍ය පක්‍ෂයක්‌වී, අන්තිමේදී ප්‍රභාකරන් විසින් ඊළම සඳහා කල මාරාන්තික යුද්‌ධයක් වීමය.

1919 දී ලංකා ජාතික සංගමය හදාගත්, 1921 දී ඉන් ඉවත්‌වී ලංකා දෙමළ සමිතිය පිහිටුවාගත්, අරුණාචලම් ගෙන් පාඩමක් ඉගෙන නොගත්, ඩී. එ‌ස්. විසින් 1946 දී එක්සත් ජාතික යනුවෙන් සිංහල-දෙමළ-මුස්ලිම් එක්සත් පක්‍ෂයක් අටවා ගත්තේය. එහෙත් 1949 වන විට පෙඩර්ල් දෙමළ රාජ්‍ය පක්‍ෂය මතුවිය. සෝල්බරි ව්‍යවස්ථාවේ 29 වගන්තියෙන් සිදුවූයේ සිංහල ජාතියේ නැතිවූ අයිතිවාසිකම් ලබාදීම වෙනුවට, අරුණාචල්ම්ගේ ජාතිවාදය තවත් බල ගැන්‌වීමක් පමණය. යම් සංසිද්‌ධියක හේතුව හා ඵලය වටහා ගැනීමට බෞද්‌ධ ප්‍රවේශයක් ගැනීමට නොදත් ඩී. එ‌ස්ලාගේ වලිග අදටත් සිරිකොත බෙදා ගන්නට අරගල ‌ජාම් බේරා ගෙන අගමැති පුටුවට යාම එදත් අදත් මොවුන්ගේ නිරුවත හෙලි කිරීමේ පිළිවෙතය. මෙවැනි වලිග පාගා ගත් අය පොහොට්ටුව පක්‍ෂයේද සිටී.

නිදහස් අධ්‍යාපනයට විරුද්‌ධවීම

චන්ද බලය දීමට විරුද්‌ධවූ ඩී‌. එ‌ස්. ඇතුළු පිරිස කන්නන්ගර නිදහස් අධ්‍යාපන යෝජනාවටද විරුද්‌ධව ක්‍රියාකල බව අද ඉන්නා මන්ත්‍රී වඳුරෝ නොදනී. යූ‌එන්‌පී එක රටට නිදහස් අධ්‍යාපනය ලබාදුන්නා යයි තරුණ එජාප මන්ත්‍රීන් කියන්නේ ‌‌ඒ නිසාය. මේ ලිපියේ සළකා බැලුවේ දෙමළ ප්‍රශ්ණය සම්බන්‌ධයෙන් කළු සුද්දන් ක්‍රියා කල අකාරයය. ඉන් ඔබ්බට ගියොත් මේ කොල-නිල්-රතු කාණ්ඩ විසින් බකල් නොකල කිසිම අංශයක් රටේ නැත. එය කලේ ඒ ගැන සෑහෙන අනතුරු ඇඟවීම් තිබියදී මය. ඩොනමෝර් හා සෝල්බරි කොමිෂම් එසේ අනතුරු ඇඟවූ බව ඔවුන්ගේ වා‌ර්තා වල පේලි අතරින් කියවන විට පෙනේ. 1956 කාලයේ රොකෆෙලර් ශිෂ්‍යත්‌වලාභියෙකු ලෙස ලංකාවේ අවුරුදු දෙකක් ජීවත්‌ව සිට, පසු කලෙක (1977-9) ලංකාවේ ඇමෙරිකන් තානාපතිදවූ හොවාර්ඩ් රිගින්ස් විසින් ලියූ, සිලෝන්: ඩිලෙම්මාස් ඔෆ් අ නිව් නේෂන් (1960) යන පොතේ විදේශිකයෙකු විසින් ලංකාවට ඇති අභියෝග පෙන්‌වාදී තිබෙන අන්දම විෂ්මය දණවයි. ඉන් පසුව ඉතිහාස මහාචාර්යව සිටි කේ. එ‌ම්. ද. සිල්වා සමඟ 1988 දී ඔහු ලියූ ජේ‌. ආ‌ර්, ජයවර්‍ධන ජීවිත කතාව නම් යෝධ පොත, කළු සුද්දන් විසින් ලංකාවේ ඉරණම හා සමඟ කල සෙල්ලම පිළිඹඳ කතාවක් වැනිය. ලංකාවේ ප්‍රශ්ණ හා ඒවාට විසඳුම් ඒ කාලයේ ලංකාවේ සිටි අමාත්‍යංශ ස්ථිර ලේකම්ලා හොඳින් දැන සිටියේය. එහෙත් දේශපාලකයින් කලේ බලයේ සිටීම සඳහා ජනයා රවටමින් බොරු පැලැස්තර දැමීමය.

කිසා ගෝතමී ටෙස්ට් එක

2019 ජනාධිපති චන්දය ලංකාවේ ඉරණම හොඳ අතට පෙරලාවීය යන්න මහජනයාගේ බලාපොරොත්තුවය. 1911 සිටම ලංකාවේ පවතින නියෝජිත මන්ත්‍රී ක්‍රමය අසාර්‍ථක බව රටටම පැහැදිලිය. මෙසේ නොසිතන්නේ දෙමළ බෙදුම්වාදීන් පමණක් වන්නේ ඔවුන්ටත්, ජේ‌.වී‌.පී කාරයින්ටත් පණනල රැකගත හැක්කේ අර්බුදකාරී පාලන ක්‍රමයක් තිබුණොත් වන නිසාය. මහජන නියෝජිතයින් සේ 1977 න් පසු ඉන්නා පිරිස් කෙතරම් වානර වූවාද යත්, 2019 චන්දය නුසුදුස්සන් අතරෙන් අඩුම නුසුදුස්සා තෝරා ගැනීමේ සටන් පාටයක් විය! ගෝඨාභය තෝරා ගැනීම 1931 දී සුදු ජාතික ෆ්රීමන් දෙවරක්ම අනුරාධපුරයේ මන්ත්‍රී කලා මෙන්, ජන විඥානය තුල ඇතිවූ උත්තේජනයක ප්‍රතිඵලයක් වන්නේ මේ නිසාය. කිසාගෝතමී අබ ඇටයක් හොයා ගියාමෙන්, දැන් 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී සුදුස්සන්ව තෝරා ගැනීම උභතෝකෝටික ප්‍රශ්ණයක්ව ඇත්තේ චන්ද විප්ලවයක් කිරීමට කළු සුද්දන් විසින්ම ඇටවූ චන්ද නීති හරස් වන නිසාය. චන්ද ක්‍රමය වෙනස් නොකර තුනෙන් දෙකට වැඩි ආසන සංක්‍යාවක් දිනා ගන්නේ කෙසේද? මෙය තීරණය වන්නේ මේ දිනවල ගෝඨාභය ජනාධිපති විසින් ගන්නා තීරණ මතය. ඔහු දේශපාලකයාගේ සපත්තු දා නොගෙන රටට සුදුසු දේ කල යුතුය. නුසුදුසු අපේක්‍ෂකයින්ට විශේෂ සහනාධාර ක්‍රමයක් සළසා හෝ ඔවුන් පාර්ලිමේන්තුවට ඒම වැලැක්‌වුව හොත් දැන් තිබෙන මනාප බලු පොර චන්ද ක්‍රමය අභිබවා ආසන දිනා දීමට සිංහල බෞද්‌ධ චන්දදායකයා එක්සත් වනු නිසැකය.

කොට උඩ ගිය තුන්වන බලවේගය

මුන් 225 ම එලවන්න ඕනෑ කියමින් ආ පිරිස්, රට හදන්නට යෝජනා කලේ රටේ සිංහල බෞද්‌ධ පදනමට එරෙහිව යමින්‌ය. මේ නිසා පරණ වඳුරන් සමඟ සසඳන විට මේ අළුත් උගතුන් හා වෘත්තිකයින්, කොළඹ හතේ සිකුරාදා සමිතිය (ෆ්රයිඩේ ෆෝරම්) වැනිම අළුත් වලිග පාගාගත් වඳුරන් කොටසක්ම විය. නාගානන්ද, ශ්‍රී සද්‌ධර්‍මය ගැන කතා කලේ පන්සල, බෝගස හා හාමුදුරුවරු අමතක කරය. හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක ඇමෙරිකන් ඒජන්ට් කෙනෙක් බව එලිවුනේ ඔහු ආපසු රට අත්‌හැර ඇමෙරිකන් රස්සාවට ගිය පසුය. මේ අතින් ඔහු හා ජීනීවාවලට පවුල පිටින් පැන ගිය රනිල් හා චන්ද්‍රිකාගේ මහ මොළකරුවූ, විභාග කොපිකර සරසවියෙන් නෙරපූ, මාක්ස්වාදී ජයම්පති වික්‍රමරත්න අතර වෙනසක් නැත. මාලිමා යන්ත්‍රයක් පෙන්නුවත් අනුර කුමාරලාට, 1935 මාක්ස්වාදීන්, 1971 හා 1988/9 ඝාතකයින් මෙන් පන්සල් විරෝධී, බෙදුම්වාදී මනසින් ගැලවීමට නොහැකිවිය. යහපාලන මරාලයට හේත්තුවී ඔවුන් කරගත් විනාශය, මේ යුද්‌ධය නම් කවදාවත් දිනන්න බෑ කියමින් රනිල් කරගත් දේශපාලන විනාශයට නොදෙවෙනිය. මේ රටේ සැඟවුනු බලවේගය රටේ මුර දේවතාවුන් වන හාමුදුරුවරු බව මේ අයට නොතේරේ. උපාධි තිබුණාට, ඉංග්‍රීසි කතාකලාට, ලොකු රස්සා කලාට, ජාත්‍යාලය නැත්නම් රටේ පාලනයට ඔවුන් නුසුදුසු බව චන්ද දායකයාට පෙන්‌වා දීම වැදගත්‌ය. රටේ ඉතිහාසය අමතක කරන අයට තිබිය හැක්කේ යුරෝපයට යටවූ ඔවුන් නොදැනම විකුර්‌ත වුන මනසකි (යුරෝසෙන්ට්‍රික් තින්කින්). අනිත් අතට වයසට ගිය අයගේ දැණුම හා අත්දැකීම් වලින් නිසි අයුරු රටට ප්‍රයෝජනයක් ගැනීමද දක්‍ෂ නායකයෙකුගේ හැකියාවය. ගෝඨාභයගේ පාලන ආරම්භය සමාන කල හැක්කේ ජෝන් එෆ් කෙනඩි ඇමෙරිකාවේ ජනාධිපතිවූ (1961-3) විට, ඔහු, ඔහුගේ පරිපාලනයට ගෙනා විෂ් කිඩ්ස්ලා පිරිසටය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress