බදියුදීන්ගේ බිරිඳ සහ සොහොයුරාගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට රහස් පොලීසියට අවසර
Posted on February 28th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳගේ සහ ඔහුගේ සහෝදරයෙකු වන රියාජ් බදියුදීන්ගේ බැංකු ගිණුම් වාර්තා ලබාගැනීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් උදේශ් රණතුංග අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදුන්නා.

ඒ, පසුගිය ආණ්ඩුව සමයේ සතොස ආයතනයේ සිදුවූ බව කියන මූල්‍ය වංචාවකට අදාළ බවට සැක කෙරෙන ලිපි ගොනු සොයා ගත් වැල්ලවත්ත ප්‍රදේශයේ නිවස සම්බන්ධයෙන් වන නඩුවේ විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කළ අවස්ථාවේදීයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ අධ්‍යක්ෂවරයාට ලද තොරතුරකට අනුව ගල්කිස්ස අධිකරණය හරහා ලබා ගත් නියෝගයක් මත අදාළ නිවස පසුගියදා පරීක්ෂාවට ලක් කළා.

එහි තිබී ඉඩම් ඔප්පු 240 ක් සහ සතොස ආයතනයේ සිදුවූ මූල්‍ය වංචාවකට අදාළ බවට සැක කෙරෙන ලේඛන කිහිපයක් සොයාගත් අතර, එම නිවසේ සිටි ඉම්රාන් මොහොමඩ් නැමැති පුද්ගලයෙකුද අත්අඩංගුවට ගැණුනා.

ඒ සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ මීට පෙර දින දෙකකදී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ වන එම්.එම්.අයිෂාගෙන් ප්‍රකාශ ලබාගත් බවයි.

ඇයගේ නමට පවතින එම නිවස සහ එහි කටයුතු රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරෙකු වන රියාජ් බදියුදීන්ට පවරා තිබූ බව ඇය එහිදී ප්‍රකාශ කර ඇති බවයි සී.අයි.ඩී. නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ.

එබැවින් තමන් මේ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවද ඇය ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව මේ පිළිබඳව වැඩිදුර විමර්ශන තවදුරටත් සිදුකරන බව පැවසූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද තුන්වන දිනටත් ඇයගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා බව සඳහන් කළා.

මීට අමතරව වැල්ලවත්ත ප්‍රදේශයේ නිවස සෝදිසි කළ අවස්ථාවේදී එහි සිටියදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ ඉම්රාන් මොහොමඩ් අද අධිකරණයෙන් ඇප ඉල්ලීමක් සිදුකළා.

කෙසේ වෙතත්, එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරු ලබන මස 13 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.

එමෙන්ම, ඔහුගේ බැංකු ගිණුම් වාර්තා පරීක්ෂා කිරීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මහේස්ත්‍රාත්වරයා අවසර ලබාදුන්නා.

මේ අතර, අධිකරණයට අපහාස කිරීම සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ චෝදනාව යටතේ මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැදවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න ඇතුළු 3 දෙනෙකු ලබන මස 10 වන දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, ඔවුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

තරුණයින් 11 දෙනෙකු පැහැර ගැනීමේ සිද්ධියට අදාළව අධිකරණයේ විභාග වන නඩුව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වා අධිකරණයට අපහාස කිරීම සහ නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුකිරීම සැකකරුවන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනාවයි.

එමෙන්ම, කොළඹ ෂැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම් ඉල්හාම් අහමඩ්ගේ පියා ඇතුළු හය දෙනා ලබන මස 13 වැනිදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, සැකකරුවන් කොළඹ වැඩබලන නිළ නොලත් මහේස්ත්‍රාත් නීතිඥ සංජීව ඇන්තනි හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress