ශ්‍රී ලංකාව මුස්ලිම් රාජ්‍යයක් බවට පත් කිරීමේ සැලැස්මක් ගැන ලැබුණු තොරතුරක් පිළිබඳ විජේදාස රාජපක්ෂ හෙළිකරයි
Posted on February 28th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

පියවර 4ක් යටතේ ශ්‍රී ලංකාව මුස්ලිම් රාජ්‍යයක් බවට පත් කිරීමේ සැලැස්මක් ජමෙයිතුල් උලමා සංවිධානයෙන් ක්‍රියාත්මක කළ බවට තමන්ට තොරතුරු ලැබී තිබූ බව හිටපු අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළා.

ඔහු මේබව සඳහන් කළේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අද සාක්ෂි ලබාදෙමින්.

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නේ පැවති රජයේ අධිකරණ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතායි.

ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් එහිදී 2016 වර්ෂයේ නොවැම්බර් මස ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අය-වැය විවාදයක් අතරතුර එවකට රටේ ගොඩනගමින් පවතින අන්තවාදය සම්බන්ධයෙන් සිදු කර තිබූ ප්‍රකාශයක වීඩියෝවක් ඉදිරිපත් කර සිටියා.

ප්‍රශ්න කිරීම ආරම්භ කරමින් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය හිටපු අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ බහුවාර්ගික රටක් ලෙස අන්තවාදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී එවැනි ප්‍රකාශයක් කළේ මන්ද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ එවක ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුව තමන්ට ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමකට සහභාගි වූ බවත්, අදාළ රැස්වීම සඳහා හිටපු අගමැතිවරයා, හිටපු පොලිස්පතිවරයා සහ යුද හමුදා ඉහළපෙළේ නිලධාරීන්ද එක්ව සිටි බවයි.

එහිදී එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා රටේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමක් සිදුකරමින් රටට එරෙහිව කිසිදු ආරක්ෂක තර්ජනයක් නොමැති බව ආරක්ෂක මණ්ඩලයේදී සඳහන් කළ බව විජේදාස රාජපක්ෂ මහතා පැවසුවා.

නමුත් අන්තවාදය පෝෂණය වීම සම්බන්ධයෙන් තමන්ට ලැබී තිබූ තොරතුරු අනුව ආරක්ෂක මණ්ඩලයේදී අදාළ බුද්ධි අංශ නිලධාරියා සිදුකළ ඉදිරිපත් කිරීම පිළිබඳ තමන්ට කිසිදු විශ්වාසයක් නොතිබූ හෙයින් මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළ යුතු යැයි බවට තමන්ට හැඟී ගිය බව සාක්ෂි ලබාදෙමින් ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළා.

ඔහු එහිදි සඳහන් කළේ රටේ ගොඩනැගෙමින් පැවති අන්තවාදය සම්බන්ධයෙන් තමන්ට ලැබුණු තොරතුරු එවක ජනපති, අගමැති ඇතුළු නායකයින්ට හෝ ඇමති මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පළක් නොවන බව වැටහුණු බවත්, අදාළ තොරතුරු සම්බන්ධයෙන් ජනතාව හෝ ආරක්ෂක අංශ දැනුවත් කළ යුතු බවත් තමන්ට හැඟී ගිය හෙයින් මෙලෙස පාර්ලිමේන්තුවේදි ප්‍රකාශයක් ඉදිරිපත් කළ බවයි.

පොලිස්පතිවරයා ලෙස පූජිත් ජයසුන්දර පත්කිරීමේදී සහ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පත් කිරීමේදී අදාළ පත්කිරීම් සුදුසු නොවන බව තමන් අවස්ථා 10කදී පමණ ජනාධිපතිවරයා දැනුවත් කළ නමුත්, ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක්ද නොලැබුණු බව වැඩිදුරටත් සාක්ෂි ලබාදෙමින් හිටපු අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පෙන්වා දුන්නා. <

පොලිස්පතිවරයා පත් කිරීමේදී එවක අග්‍රාමාත්‍යවරයා සහ කථානායකවරයා විසින් පූජිත් ජයසුන්දර මහතා එක්සත් ජාතික පක්ෂයට පක්ෂපාතී පුද්ගලයෙකු බව සඳහන් කරමින් ඔහු පොලිස්පති ලෙස පත්කළ යුතු බවට ජනාධිපතිවරයාටද බලපෑම් සිදුකර ඇති බව හිටපු අමාත්‍යවරයා සඳහන් කළා.

පසුව පොලිස්පති පූජිත් ජයසුන්දර රාජ්‍ය නොවන සංවිධානවලට අයත් සමන් රත්නප්‍රිය, මහාචාර්ය සරත් විජේසූරිය, ජේ.සී. වැලිඅමුණ වැනි පුද්ගලයන්ගේ උපදෙස් අනුව ක්‍රියාකළ බවට තමන් දැඩි කළකිරීමෙන් යුතුව නිරීක්ෂණය කළ බවද කොමිසම හමුවේ අනාවරණ කළා.

මුස්ලිම් ආගමික නායකයින් පිරිසක් සහ ජමෙයිතුල් උලමා සංවිධානයේ පිරිසක් පැමිණ තමන් හමුවී පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සහ අන්තවාදී සංවිධානවල හැසිරීම් සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත්, ඔවුන් සමග බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාද පැමිණ සිටි බව කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් විජේදාස රාජපක්ෂ මහතා පැවසුවා.

මීට අමතරව, එවක රජයේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් රටේ කිසිදු අන්තවාදී ක්‍රියා සිදුනොවන බවත් රටේ ආරක්ෂාව තහවුරු වී ඇති බවත් සඳහන් කර සිටි බවද විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළා.

අනතුරුව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ අන්තවාදය පෝෂණය කරන දේශපාලනඥයින් සිටිනවාද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, මුජිබර් රහුමාන් සහ අසාද් සාලි යන පුද්ගලයින් එලෙස අන්තවාදය පෝෂණය කළ බවයි.

2018 වර්ෂයේ මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධිය සහ තවත් අන්තවාදී සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අසාද් සාලි සහ හිස්බුල්ලා බලපෑම් සිදුකළ බවට විමර්ශන සිදුකළ නිලධාරීන් තමන්ට පැවසු බව විජේදාස රාජපක්ෂ මහතා විමර්ශන කොමිසම හමුවේ අනාවරණ කළා.

මීට අමතරව, පාස්කු ප්‍රහාරයට සම්බන්ධවූ දෙමටගොඩ ප්‍ර දේශයේ පදිංචි ඊබ්‍රාහිම් පවුල සමග එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාට ඉතා කිට්ටු සම්බන්ධතාවක් පවතින බව තමා දන්නා බවද ඔහු කොමිසම හමුවේ පැවසුවා.

මීට අමතරව, 2008 වසරේදී තමිල්නාඩුවේ දුම්රිය ස්ථානයකදී ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේ නමකට පහරදීමේ සිද්ධියට සම්බන්ධවී තිබුණේ තවුහිද් ජමාත් සංවිධානයේ අබ්දුල් රාසික් නමැති පුද්ගලයා බවද තමිල්නාඩු පොලිසිය විසින් අනාවරණ කරගෙන තිබූ බවද ඔහු පෙන්වා දුන්නා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එවක ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ ජමෙයිතුල් උලමා සංවිධානය පියවර 4ක් ඔස්සේ ශ්‍රී ලංකාව මුස්ලිම් රාජ්‍යයක් කිරීමට සැලසුම් සකසා තිබූ බව සම්ප්‍රදායික මුස්ලිම් මිතුරන් මාර්ගයෙන් තමන්ට දැන ගැනීමට හැකිවූ බවයි.

අනුව, එහි පළමු අදියර ලෙස හලාල් සහතිකයත්, දෙවන අදියර ලෙස කාන්තාවන්ගේ මුහුණු ආවරණය කිරීමත්, තුන්වන අදියර ලෙස ශරියා නීතිය මෙරට ක්‍රියාත්මක නීතියක් බවට පත්කිරීමත් සහ අරාබි භාෂාව ඉගැන්වීම හරහා මෙරට මුස්ලිම් රාජ්‍යයක් බවට පත්කිරීමටත් සැලසුම් කර තිබූ බවට තමන්ට තොරතුරු ලැබුණු බව හිටපු අමාත්‍යවරයා සඳහන් කළා.

එහිදී කොමිසම ප්‍රශ්න කර සිටියේ මේ සඳහා දේශපාලන ආධාර ලබාදුන්නේ කවුරුන්ද යන්නයි.

ඊට පිළිතුරු ලබාදෙමින් විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, රිෂාඩ් බදියුදීන්, වැනි පුද්ගලයින් හරහා ලැබෙන මැදපෙරදිග ආධාර ඔස්සේ ශරියා නීතිය ඉගැන්වීම වැනි දෑ ක්‍රියාත්මක වූ ඇති බවයි.

2015 යහපාලන ආණ්ඩුව ක්‍රියාත්මක වීමේදී සම්බන්ධ කරගත් ඇතැම් මුස්ලිම් දේශපාලනඥයින් ඔස්සේ අන්තවාදී කණ්ඩායම්වලට දේශපාලන සහයද ලැබුණු බව සාක්ෂි ලබාදෙමින් විජේදාස රාජපක්ෂ මහතා පැවසුවා.

ඒවන විට රටේ ප්‍රබල බුද්ධි අංශයක් ක්‍රියාත්මක වූ අතරල යහපාලන ආණ්ඩුව විසින් යුද සහ නාවික බුද්ධි අංශ නිලධාරීන් 323ක් ප්‍රශ්න කිරීම්වලට ලක්කිරීම සහ අත්අඩංගුවට ගැනීම හරහා බුද්ධි අංශ සම්පූර්ණයෙන්ම අකර්මන්‍ය වූ බව අනාවරන කළා.

මීට අමතරව, එවක ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති ධුරයට මුස්ලිම් ජාතිකයෙකු පත්කළ බවත්, ඔහු ගුවන් විදුලිය ඔස්සේ භික්ෂුන් වහන්සේලා දේශනා කරන බණ හෝ පිරිත් ප්‍රචාරය තහනම් කර තිබූ බවත්, වහාබ්වාදයට අනුබල දෙන යම් යම් ප්‍රකාශ දෙමළ භාෂාවෙන් විකාශය කිරීමට නිර්දේශ කර තිබූ බවත්කොමිසම හමුවේ කියා සිටියා.

අනතුරුව කොමිසම ප්‍රශ්න කර සිටියේ තමන් සිදුකළ සොයාබැලිම්වලදී මද්‍රසා පාසල් පිළිබඳ තොරතුරු හෙළිවූයේද යන්නයි.

ඇතැම් ජාත්‍යන්තර පාසල් තුළ සිදුකළ අන්තවාදී දේශනවල ප්‍රතිඵලයක් ලෙස පාස්කු ප්‍රහාරය පෙන්වා දිය හැකි බව ඊට පිළිතුරු ලබාදුන් විජ්දාස රාජපක්ෂ මහතා පැවසුවා.

වැඩිදුරටත් සාක්ෂි දෙමින් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ හම්බන්තොට වරාය චීන රජයට ලබාදීමේදී ඇමරිකාව, ජපානය, ඉන්දියාව සහ යුරෝපා රටවල් රැසක් හිටපු ජනපති, අගමැති සහ ආණ්ඩුවේ ප්‍රධානීන් රැසක් හමුවී හම්බන්තොට වරාය ලෝකයෙන් බාගයක් පමණ අඩපණ කළ හැකි ස්ථානීය වශයෙන් වැදගත් භූමියක් බැවින් එම ගිවිසුම අවලංගු කරන ලෙසට දැඩිව ඉල්ලීම් කළ බවයි.

නමුත්, එය ඉටු නොවීම හේතුවෙන් පාස්කු ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට තමන් සැකකරන බව හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා කොමිසම හමුවේ සඳහන් කළා.

අදාළ ප්‍රහාරය ඔස්සේ රට තුළ ගැටුම් ඇති කිරීම හරහා සෝෆා සහ ඵක්‍ක්‍ යන ගිවිසුම් මෙරට තුළ ක්‍රියාත්මක කරවා ගැනීමද මෙහි අරමුණ විය හැකි බවත්, ඔහු පෙන්වා දුන්නා.

ප්‍රහාරයට පසුව පැවති ආරක්ෂක මණ්ඩල රැස්වීමට තමන් සහභාගි වූ බවත්, පූජිත් ජයසුන්දර වෙනුවට කොස්තාපල්වරයෙකුල පොලිස්පති ධුරයට පත්ව සිටියේ නම් ප්‍රහාරය සිදු නොවීමට ඉඩ තිබූ බවත්, තමා ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී සියලුදෙනාට ප්‍රකාශ කළ බව ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ජනාධිපති කොමිසම ඉදිරියේ ප්‍රකාශ කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress