වසංගතය හමුවේ ගුරු හා විදුහල්පතිවරුන්ගේ වැටුප් නතර කිරීමට
Posted on April 23rd, 2020

ලංකා ගුරු සේවා සංගමය.

ගරු ආණ්ඩුකාර තුමා,
ආණ්ඩුකාරවර කාර්යාලය,
ඩික්සන් පාර,
ගාල්ල.

ආණ්ඩුකාරතුමනි,

#
කොවිඩ්19 (#Covid- 19) වසංගතය හමුවේ උද්ගතව ඇති තත්ත්වය නොසලකා ගුරු හා විදුහල්පතිවරුන්ගේ වැටුප් නතර කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධවයි.

#කොවිඩ්- 19 (#Covid- 19) වසංගත රෝගය පැතිරයාම හේතුවෙන් පාසල් වසා දමා ඇඳිරි නීතිය ප‍්‍රකාශයට පත් කර තිබූ අවස්ථාවක ශිෂ්‍ය තොරතුරු පද්ධතිය (SIS) සම්පූර්ණ නොවීමක් පිළිබඳව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් ගේ උපදෙස් මත යැයි සඳහන් කර ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ගේ වැටුප් නතර කිරීමට පියවර ගන්නා බවට 2020. 04. 20 දිනැතිව උඩුගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් සියලූ විදුහල්පතිවරුන් වෙත යවා ඇති ලිපිය සම්බන්ධව ලංකා ගුරු සේවා සංගමය දැඩි විරෝධය පළ කරන අතර මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටිමු.

02. රට තුල #කොවිඩ්- 19 (#Covid- 19) වසංගතය පැතිර යාමේ අවදානමත් සමග හදිසියේ මාර්තු 12 වැනි දින දිවයිනේ සියලූ පාසල් වසා දැමූ අතර මාර්තු 20 වැනි දින රට තුළ ඇඳිරිනීතිය ප‍්‍රකාශ වූ බවත් හොඳින් දැන සිටියදී වගකිවයුතු නිලධාරීන් මෙවැනි පීඩාකාරී අමනෝඥ තීරණ ගැනීම මවිතයට කරුණක් බව දැඩිව අවධාරණය කරමු.

03. තවද මෙම වසංගතය හේතුවෙන් පාසල් වසා දමනු ලැබූ අවස්ථාවේ අප සංගම් එකාබද්ධව ගුරු හා විදුහල්පති සේවා වල වැටුප් විෂමතාව විසඳීම ඇතුළු ඉල්ලීම් 6 ක් මුල්කර ගනිමින් වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට එළඹ සිටි බව ඔබද දැනසිටි කරුණකි. ඒ අනුව මාර්තු 16, 17 ,18 යන තෙදින දීපව්‍යාප්ත වැඩවර්ජනයක් කැඳවා තිබූ බවත්, එතෙක් ගුරුවරුන් විදුහල්පතිවරුන් බාහිර රාජකාරි කටයුතු වලින් ඉවත්ව අකුරට වැඩ කිරීමේ ක‍්‍රියාමාර්ගයක නිරතව සිටි බවත් එවැනි තත්වයක් තුල දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයාට මෙවැනි තීරණයක් ගැනීමට කිසිදු නීත්‍යානුකූල අයිතියක් නොමැති බව පෙන්වාදෙමු.

04. තවද මේ ආකාරයට වෘත්තීය ක‍්‍රියාමාර්ගයක නිරතව නොසිටියද ගුරුවරයෙකුගේ විදුහල්පතිවරයෙකුගේ හෝ අනෙකුත් රජයේ සේවකයෙකුගේ මේ ආකාරයට තාවකාලිකව වැටුප් නතර කිරීමට කටයුතු කිරීමට හෝ උපදෙස් ලබාදීමට කිසිදු නීත්‍යානුකූල ප‍්‍රතිපාදනයක් නොමැති බවද පෙන්වා දිය යුතුව ඇත. එහෙයින් මේ පිළිබඳව වහා සොයා බලා වගකිවයුතු නිලධාරීන් ගෙන ඇති මෙම අත්තනෝමතික ක‍්‍රියාමාර්ගය වහා නතර කර ඒ පිළිබඳව නීත්‍යානුකූලව කටයුතු කරන ලෙස ලංකා ගුරු සේවා සංගමය නැවතත් ඉතා  ඕනෑකමින් යුතුව ඉල්ලා සිටිමු.

ස්තූතියි.

මෙයට, විධායක සභාව වෙනුවෙන්,
මහින්ද ජයසිංහ
ප‍්‍රධාන ලේකම්,
ලංකා ගුරු සේවා සංගමය.

සම්බන්ධීකරණය071 8297022
Coordinating –      +94 71 8297022


පිටපත්
01 .
ලේකම්අධ්‍යාපන අමාත්‍යංශය, බත්තරමුල්ල, ඉසුරුපාය.
02.
ලේකම්දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය
03.
පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂදකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress