ශ‍්‍රී ලංගමය මුදල් උපයන ව්‍යාපාරයක් නොව අනාගත ආයෝජනයන් වෙනුවෙන් අගනා සේවාවක් කරන ආයතනයක් ලෙස සැබෑ ලෙසටම පිළිගෙන අදාල සියලූම මූල්‍ය ප‍්‍රතිපාදන අඛණ්ඩව ලබාදීමට මැදහත්වන ලෙස ඉල්ලා සිටීම
Posted on June 16th, 2020

සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය

ගරු ජනාධිපති,
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.

ගරු ජනාධිපතිතුමනි,

ශ‍්‍රී ලංගමය මුදල් උපයන ව්‍යාපාරයක් නොව අනාගත ආයෝජනයන් වෙනුවෙන් අගනා සේවාවක් කරන ආයතනයක් ලෙස සැබෑ ලෙසටම පිළිගෙන අදාල සියලූම මූල්‍ය ප‍්‍රතිපාදන අඛණ්ඩව ලබාදීමට මැදහත්වන ලෙස ඉල්ලා සිටීම

2020.05.21 වන දින ඔබතුමා ශ‍්‍රී ලංගම නිලධාරීන් සමඟ විශේෂිත සාකච්ඡාවක් පවත්වන ලද බව මාධ්‍ය වලින් අප සංගමයට අනාවරණය විය. ශ‍්‍රී ලංගමය පිළිබඳව ඔබතුමාගේ විශේෂිත අවධානය යොමුවීම ගැන අප සංගමය ඔබතුමාට කෘතඤතාවය පලකරන අතර ශ‍්‍රී ලංගමය ගැන ඔබතුමාගේ දැක්ම පිළිබඳව අප සංගමයට බරපතල ගැටළුවක් උද්ගතවී ඇත. එම සාකච්ඡුාවේදී ශ‍්‍රී ලංගමය මහා භාණ්ඩාගාරයෙන් යැපෙන්නේ නැතිව ශ‍්‍රී ලංගමය මුදල් උපයා මහා භාණ්ඩාගාරයට ලබාදීමට කටයුතු කරන ලෙස එම නිලධාරීන්ගෙන් ඔබතුමා ඉල්ලා ඇත. ඊට අමතරව ශ‍්‍රී ලංගමය ලාභ ලබන තත්ත්වයට පත්කරන ලෙස ද ඔබතුමා පවසා ඇත. අදාල පිටපත් මේ සමඟ අමුණා ඇත. අධ්‍යාපන, සෞඛ්‍ය, තැපෑල දුම්රිය වැනි ආයතන හා සමානවම ශ‍්‍රී ලංගමය ද කරනු ලබන්නේ අනාගත ආයෝජනයන් සඳහා අගනා සේවාවකි. හිටපු ප‍්‍රවාහන ඇමති අර්ජුන රණතුංග මැතිතුමා ද ශ‍්‍රී ලංගමය ලාභ ලබන ආයතනයකට වඩා කාර්යක්ෂම සේවාවක් කරන ආයතනයක් විය යුතු බවට පවසා ඇත.

1977 සිට මේ දක්වා පත්වූ හැම ආණ්ඩුවක්ම ශ‍්‍රී ලංගමය ශක්තිමත් කරනවා වෙනුවට පෞද්ගලික බස්රථ ව්‍යාපාරය ශක්තිමත් කිරීමට කටයුතු කරන ලදී. 1958 ශ‍්‍රී ලංගමය ස්ථාපිත කිරීමෙන් පසුව 1977 දක්වා ශ‍්‍රී ලංගමය මහා භාණ්ඩාගාරයෙන් යැපෙන්නට අවශ්‍ය නොවීය. 1977 බලයට පත්වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ශ‍්‍රී ලංගමය ශක්තිමත් කිරීම වෙනුවට පෞද්ගලික බස්රථවලට ප‍්‍රවාහනය සඳහා අවසරදී ශ‍්‍රී ලංගමය විනාශ කිරීමේ ක‍්‍රියාවලිය ආරම්භ කරන ලදී. 1977 ශ‍්‍රී ලංගම සේවකයන් 72,000 ක් සිටි අතර දැනට 30,000 දක්වා අඩුවී ඇත. 1977 බස් රථ 9200 ක් තිබූ ශ‍්‍රී ලංගමය මේ මොහොත වනවිට බස්රථ 6000 දක්වා අඩුවී ඇත. 1977 න් පසු බලයට පැමිණි හැම ආණ්ඩුවක්ම ශ‍්‍රී ලංගමය ශක්තිමත් කළ ආකාරය මේ පිළිබඳව විමර්ශනය කිරීමෙන් ඔබතුමාට වැටහෙනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු. අභිමානවත්ව තිබූ ශ‍්‍රී ලංගමය මහා භාණ්ඩාගාරයෙන් යැපෙන තත්වයට පත්කළේ මෙතෙක් බලයට පත්වූ සෑම ආණ්ඩුවකම ක‍්‍රියාවලියක් නිසාය. මේ තත්ත්වය නිසාම ශ‍්‍රී ලංගමයේ පැවැත්ම සඳහා මහා භාණ්ඩාගාරයෙන් ප‍්‍රතිපාදන ලබා නොදෙන විට අප සංගමයට එම ප‍්‍රතිපාදන ඉල්ලා අරගල කිරීමට සිදුවිය. වර්ථමාන ඔබතුමාගේ ලේකම්වරයා වශයෙන් සේවය කරන ආචාර්ය ජයසුන්දර මැතිතුමා මුදල් අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් සේවය කරන කාල වකවානුව තුළ අප සංගමය ප‍්‍රතිපාදන ඉල්ලා දිගින් දිගටම ලිපි යොමුකර ඇත. එම ලිපිවල පිටපත් ද මේ සමඟ අමුණා ඇත.

ගරු ජනාධිපතිතුමනි, අධ්‍යාපන,සෞඛ්‍ය, තැපෑල, දුම්රිය හා සමානවම ශ‍්‍රී ලංගමයද සේවාවක් කරන ආයතනයක් ලෙස සැබෑ ලෙසම පිළිගෙන එම සේවකයන්ට මාසික වේතනය සඳහා අවශ්‍ය මූල්‍ය ප‍්‍රතිපාදන වන රුපියල්  මිලියන 1250 සැම මාසයකම කිසිදු කප්පාදුවකින් තොරව අඛණ්ඩව ලබාදීමට මැදිහත්වන ලෙස අප සංගමය කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.  ශ‍්‍රී ලංගමයේ ආදායම් තත්වය වැඩිකර ශ‍්‍රී ලංගමය ශක්තිමත් කිරීම සඳහා අප සංගමය විශේෂිත යෝජනා මාලාවක් ඔබතුමාගේ අවධානය සඳහා මේ සමඟ අමුණා ඇත.  ඒ පිළිබඳව ඔබතුමාගේ විශේෂ අවධානය යොමුකරන ලෙසද කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.

ස්තූතියි.

මෙයට – විශ්වාසී,
සේපාල ලියනගේ
ස.ලං.ප‍්‍ර.සේ.සංගමය.

සම්බන්ධීකරණය –  071 5152319
Coordinating – +94 71 5152319


පිටපත්
1.
ගරු අග‍්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා
2.
ගරු ප‍්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා
3.
ජා.වෘ.ම.සභාපති කේ.ඞී. ලාල්කාන්ත සහෝදරයා
4.
ශ‍්‍රී ලංගම ගරු සභාපති කිංස්ලි රණවක මැතිතුමා
5.
ශ‍්‍රී ලංගම ප‍්‍රධාන විධායක නිලධාරී වඩුගේ මැතිතුමා
6.
ශ‍්‍රී ලංගම නි. සා.අ. (මුදල්) මංගල මැතිතුමා
7.
ශ‍්‍රී ලංගම ප‍්‍රධාන මූල්‍ය කළමනාකාර චන්දන මැතිතුමා
8.
ශ‍්‍රී ලංගම සියලූම වෘත්තීය සමිති වෙත

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress