ගිනිගත් නගරයේ පිස්තෝල දෙක.
Posted on July 24th, 2020

චන්ද්‍රසිරි විජයවික්‍රම

දොස්තර රුවන් ජයතුංග විසින් ලංකාවෙබ් අඩවියට සිංහලෙන් ලියන ලිපි මා අගය කරන්නේ, සමහර විට, එම අඩවියට මුලින්ම සිංහලෙන් ලිපි ලිවීම ආරම්භකලේ මාද කියා මට සිතෙන නිසාය. ඔහු විසින් ජේවීපී කාරයින් සම්බන්‌ධව වරින් වර ලියන ලිපි මා කියවන්නේ, 1971 දෙසැම්බර් කාලයේදී, ඒවන විට අත්‌අඩංගුවට ගෙන සිටි ජේවීපී කැරළිකරුවන්ගේ ප්‍රකාශණ සටහන් කර ගැනීම පිණිස රජයෙන් පත්කල සිවිල් නිලධාරීන් 200 දෙනාගෙන් කෙනෙක් වශයෙන්, සමහර විට, දැනට ජීව‌ත්‌‌ව සිටින එකම පුද්ගලයා මාද කියා මට සිතෙන නිසාය. එහෙත් ඔහු විසින් ගිනිගත් නගරය යනුවෙන් ජූලි 23 දා ලංකා වෙබ් ‌අඩවියේ පලවූ ලිපියේ සඳහන්‌වූ පහතින් දක්‌වන කියමණ මා අන්ද-මන්ද කලේය. මීට හේතුව එය අසත්‍ය ලිවීමක් නිසාය. එසේ නැත්නම් එක්කෝ ඔහු විසින්, එසේ නැත්නම්, රට ප්‍රභාකරන්ගෙන් බේරාගැනීම සඳහා තුවක්කුවක් අතට නොගැනීම හැර යුද පිටියේදී කල හැකි හැමදේම කල බව කී හාමුදුරුනමක් විසින් බොරුවක් කියන නිසාය. මා විශ්වාස කරන්නේ හාමුදුරුවන්වය.

අනිත් කාරණය නම් ඔහු රංජන් රාමනායක-මංගල සමරවීර පාරේ යමින් හාමුදුරුනමකට <චීවරධාරියෙක්> යයි කීමය. පාස්කු ප්‍රහාරය ගැන දැන් එලිවන තොරතුරු අනුව සිවුරු පොරවාගෙන පන්සල් වලට බෝම්බ ගැසීමට ඒමට සූදානමක් තිබූ නිසා මිණීමරුවෙකුට වුවත් සිවුරක් පොරවා ගත හැකිය. ලංකාවේ අටපිරිකර ආපසු විකිණීමේ බිස්නස් එක කරන්නේ මුස්ලිම් අය නිසා ඔවුන්ගේ ගෙවල් වල ඇඳ ඇතිරිලි වලට දමාගන්නේද සිවුරු බව අප දැක ඇත. මේ නිසා දුශ්ශීල භික්‍ෂුවක් යන වචනය වෙනුවට චීවරධාරියා යන වචනය යෙදීම, අබෞද්‌ධ ක්‍රියාවකි. සෝමාරාම, බුද්‌ධරක්ඛිත, සිවුරු දරාගත් දුශ්ශීල මිනිසුන් විය. රුවන් මොන ආගමේද යනු මම නොදනිමි. ඉරිදා දහම් පාසැලක් පැත්තකින් වත් ගිය අයෙකුට නම් චීවරධාරියා යන වචනය හිතට ආවත් ප්‍රසිද්‌ධියේ ලියන්නට නම් හිතෙන්නේ නැත.

රුවන්ගේ වාක්‍යය

<පර්‌වතයක් මෙන් උසැති, බඩ මහත, පොලිස් නිලධාරියෙකු සෙනඟ සන්සුන් කිරීමට උත්සාහකලේ තම තර්‍ජනාත්මක ස්වරය හා නිල ඇඳුමේ අධිකාරී බලය පෙන්‌වමිනි. අඩෝ අපි මූව වලට දාමු, පිරිසක් පසු පස සිට කෑ ගැසූහ. ඒ සමඟම ගල්මුල් ප්‍රහාරයක් ඇරඹූහ.

පිස්තෝලයක් අතින් ගත චීවරධාරියෙක් ඉදිරියට පැමිණියේය. ඔහු සෙනඟට විධානයක් දෙන්නාක් මෙන් කතාවක් කලේය.>

සිංහල බෞද්‌ධයින්ට තම අදහස් ප්‍රකාශ කල හැකි, ලෝක මට්ටමෙන් ඇති එකම වෙබ් අඩවිය ලංකා වෙබ් අඩවියය. මෙය ඉතාමත් භාරධූර කාර්යයක් බව මට වැටහුනේ, හරිමග යනුවෙන් බ්ලොග් පිටුවක් ආරම්භකර ක්‍රියා කිරීමේදීය. මට මගේ වෙනත් කිසි වැඩක් කරගන්නට නොහැකි තරම් වගකීමක් පැටවුණේ එය කියවන පිරිස වැඩිවීමත් සමඟ කුමණ හෝ වැදගත් දෙයක්, සත්‍ය කරුණු අනුව අළුතෙන් ලිවිය යුතු වීම නිසාය. මේ නිසා මට එය නතර කිරීමට සිදුවිය. තවමත් එය මගේ නමින් අන්තර්‌ජාලයේ පවතී.

මේ නිසා ලංකා වෙබ් නමැති සම්පත භාවිතා කිරීමේදී ඊට ලියන අප විසින් ඉතාමත් සුපරික්‍ෂාකාරී විය යුතුය. අපගේ මත, අදහස් කෙරෙහි බලපාන්නේ අප දන්නා කරුණු ප්‍රමාණය කෙතරම්ද යන්නා හා ඒවායේ ගුණාත්‌මකභාවය උඩය (බොරු තොරතුරු ටොන් ගණන් තිබුණත් ඒවා අපව නොමඟ යවන්නේය). මේ නිසා ඒ කාලයේ <හතේ කල්ලියේ> ප්‍රධානියාවූ, ආර්. ප්‍රේමදාස විසින් කියූ උගත් මෝඩයින්ගේ ගනයට අප පත් නොවිය යුතුය (හතේ කල්ලිය කිව්වේ හත පාස් පිරිසක් රට කණවා යන තරහෙන් රටේ සිටි උගත් පිරිසක් විසිනි). ලංකා වෙබ් අඩවියට ලියන කිසි කෙනෙක් අසත්‍ය හෝ අර්‌ධ සත්‍ය හෝ නොදන්නාදේ නොලිය යුතුය. දන්නා දේ නොසැඟවිය යුතුය.

රුවන්, උස, මහත පොලිස් නිලධාරියා සිය නිල ඇඳුමේ අධිකාරී බලය පෙන්‌වු බව කියයි. ගෆූර් නම් මොහු, මිණී වලවල් ලඟ සිට, ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන්ට වෙඩි තබන්නට ආ බව රුවන් දැන සිටියේ නැද්ද? එසේ නම් ඔහු හාමුදුරුවන් ලඟ පිස්තෝලයක් තිබුණු බව දැන් ගත්තේ කෙසේද? 1983 සොල්දාදුවන් 13 දෙනාගේ ඝාතනය පිළිඹඳව නොසිතූ පරිදි උණුසුම් තත්‌වයක් හටගත්තේ මිණී වලවල් 13 ට අමතරව තව වලවල් කීපයක්ද හාරා සූදානම් කර තිබූ නිසාය. ඒ වලවල් කුමකට දැයි ඇසූ විට ගෆූර් නමැති ඩී. අයි. ජී හෝ සුපිරින්ටැන්ඩන්ට් ඉස්සරහට පැණ සිය පිතෝලය හෝ තුවක්කුව හාමුදුරුවන්ට එල්ල කර මං උඹව මරණවා යයි ඉංග්‍රීසියෙන් තර්‍ජනය කලේය. එවිට හාමුදුරුවන් පිටිපස සිටි පිරිස හාමුදුරුවන්ගේ ඉදිරියට පැන්නේය. ඔවුන් ගෆූර්‌ ට ගල් ගසා ඔහුව මිණී වලකට දාන්න ඇදගෙන ගියත් ඔහුගේ යෝධ ශරීරය නිසා එය කල නොහැකි විය. හාමුදුරුවන් මැදිහත්‌වී ඔහුව මරණයෙන් ගලවා ගන්නා ලදී.

පුදුමයකට මෙන් රුවන්ගේ ලිපිය කියවා කළකිරීමෙන් සිටි මට, පැය දෙක තුනකින්, යූටියුබ් බලද්දී චාපා බණ්ඩාරගේ නිදහස් සංවාද වැඩබීමේ, 11/28/2019 දා ඇල්ලේ ගුණවංශ හිමිඳුන් සමඟ කල සාකච්චාවක් (එපිසෝඩ් 104), නැවත පලකර තිබී දක්නට ලැබුණේය. එහි ලින්ක් එක මේ සමඟ ඇත. පැයකටත් වඩා දිග මේ විඩියෝවේ 40 මිනිත්තුවේ සිට කනත්තේදී වූ සිදුවීම හාමුදුරුවන් විස්තර කරයි. මෙම වීඩියෝව ඓතිහාසික වටිනාකමකින් යුක්ත වන්නේ හාමුදුරුවන් හා ජේ ආර් අතර ඇතිවු විවාදය නිසාය. ජේ ආර් බයෙන් වෙවුලමින් සිටි හැටිත්, ඔහු හාමුදුරුවන් ඉදිරියේ අසරණව බෑගෑපත් වූ හැටිත් ලෝකයා දැනගත යුතුය.

ලංකාව ඒකීය රාජ්‍යයක් යන 6 වෙනි සංශොධනය ජේ ආර් ගෙනාවේ හාමුදුරුවන්ගේ බල කිරීම නිසාය. පවුල් සංවිධාන සංගමය විසින් සිංහල ජාතිය වඳ කිරීමට ගෙවන රුපියල් 1,500, 750 ට අඩු කරවා ගත්තේද ඒ අවස්ථාවේදීමය. විශාල මුදලක් ලැබෙන නිසා දුප්පත් ස්ත්‍රීන් ඊට යෑම මේ නිසා තරමක් දුරට හෝ අඩු විය.

මෙම වීඩියෝව ලංකාවෙබ් වෙබ් අඩවියේ සුරක්‍ෂිතව තැබෙනවා නිසැකය. නැවතත් මෙහිදී සඳහන් කරන්නේ 1983 හමුදා සොල්දාදුවන් 13 මැරීමේ සිද්‌ධිය හා ජේ ආර් ලා ජාතියට කල විනාශය ගැන බොහෝ තොරතුරු මෙම වීඩීයෝවේ ඇති බවය. රුවන් විසින් මෙම වීඩියෝව බලා ලංකා වෙබ් අඩවියට, එහි පාඨකයින්ට සාධාරණය ඉටු කරාවි යයි බලාපොරොත්තු වෙමි. මේ සම්බන්‌ධයෙන් මා මෙසේ ලියන්නේ මීට අදාල සත්‍ය තොරතුරු පාඨකයින්ගේ දැන ගැනීම සඳහා ඉදිරිපත් කිරීමේ වගකීමක් අප හැමටම ඇතැයි මා සිතන නිසාත්, ලංකාවෙබ් වෙබ් අඩවියේ කීර්‌ති නාමයට, දැන හෝ නොදැන එයට ලිපි ලියන අප වැනි අයගෙන් සිදුවිය හැකි හානිය අවම කරගැනීමට සිතට ගැනීමටත්‌‌ය.
https://www.youtube.com/watch?v=ZXhm1LNdKOA

One Response to “ගිනිගත් නගරයේ පිස්තෝල දෙක.”

  1. aloy Says:

    Informative discussion. Thanks to Wije and Chapa.

    They say history repeats. Rajiv died from the hands of his own terrorists. Who will be this time?. This country is somehow protected and will not go down to any power

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress