සීනි තිත්ත කරන මුදල් ලොක්කන්ගේ වැඩකිඩ
Posted on November 14th, 2020

මතුගම සෙනෙවිරුවන්

          රජයේ නියෝගයෙන් පාරිභෝගික අධිකාරිය විසින් සුදු සීනි සඳහා උපරිම සිල්ලර මිලක් හඳුන්වා දී තිබේ.මෙම ගැසට්ටුව නිකුත් කරනුයේ නොවැම්බර් මස 14 වනදා වන විට බදු පනත යටතේ වන නවතම ගැසට්ටුවක් පිටවීමට නියමිත වන වකවානුවකය.පසුගිය ඔක්තෝබර් මස 14 දින සීනි ආනයනය සඳහා වන බද්ද රුපියල් 49 ශත හැත්තෑපහකින් අඩු කරමින් ආණ්ඩුව ගැසට් නිවේදනයක් නිකුත් කරලීමට කටයුතු කළහ.සීනි ආනයනය සඳහා ගැසූ බද්ද අති විශාල ලෙසට අඩු කිරීමට හේතුව දක්වා ඇත්තේ කොරෝනා වසංගත තත්වය තුළ ආර්තික අපහසුතාවයට පත් ජනතාවගේ ආහාර පරිභෝජනයට සහනයක් ලබා දීම පිණිසය යන්නයි.

      ලංකාවේ සීනි පරිභෝජනයෙන් සියයට හැත්තෑවක් ගෘහස්ථ මට්ටමට අයත්ය .කර්මාන්ත සඳහා යොදා ගැනෙනුයේ සියයට තිහක් පමණකි.නිවසක සීනි අවශ්‍ය තාවය උපරිම වශයෙන් මසකට කිලෝ හතරක් ඉක්මවා නොයයි.නමුත් අනෙකුත් ආහාර අවශ්‍යතාවය  ඊට වඩා  දැඩිව පවතී. එවැනි තත්වයක් තුළ විශාල බදු සහනයක් සීනි සඳහා වෙන් කිරීම තුළ බලවත් සැකයක් ජනිත වේ. අඩු කරන ලද බද්දේ සහනය පාරිභෝගික ජනතාවට නොලැබෙන  බව පාරිභෝගික අධිකාරිය විසින් නිකුත් කරන ලද ගැසට්ටුවෙන් තේරුම් ගත හැකිය.රුපියල් 84 සිට 87 දක්වා මිළකට සීනි කිලෝවක් මිළදී ගත හැකි වනුයේ සමූපකාරයෙන් සහ ස.තො.ස. අලෙවි සල් වලින් පමණකි.විවෘත වෙලෙඳ පලේ සීනි කිලෝවක සිල්ලර මිල රුපියල් 135 හෝ 140 අතර මිලකට දෝලනය වේ.යටකී ගැසට්ටුව නිකුත් වූ ඔක්තෝබර 14 වන විට මෙවැනි තීරණයක් ගැනීමට කිසිම හේතුවක් හදිසියේ පැණ නැගී නොතිබුණි. ලෝක වෙළෙඳ පලේ සීනි මෙට්රික් ටොන් එකක මිල රුපියල් 380 සට 445 දක්වා මිලකට වෙනස් වූ බව සැබෑය.එය වර්ෂයක සාමාන්‍ය තත්වයයි. වසංගත තත්වය යටතේද  මෙම මිල වැඩි වීම බලාපොරොත්තු විය යුතු විය.නමුත් ඒ වන විට ලංකාවට සීනි ආනයනය කරනු ලබන ව්‍යාපාරිකයන් සත් දෙනෙකු විසින් සීනි කිලෝවකට රුපියල් 50 ගණනේ බදු ගෙවා සීනි මෙට්රික් ටොන් 90000 ක් පමණ ආනයනය කර තිබුණි.එම තොගය මාස තුනකට සෑහේ යයි කියා ඇත.එසේ නම් මෙවැනි විශාල බදු අඩු කිරීමට යෑමට දුන් උපදෙස කුමක් විය හැකිද.

      කතාව මෙසේය ලංකාවේ සීනි සහ වෙනත් ආහාර ආනයනය කරන්නන් අතර බන්දිත ගුදමක් හිමි එක් සමාගමක් තිබේ. එය සිංගප්පූරුව ප්‍රධාන කොට පවතින ඉන්දියාවේ සීනි කර්මාන්ත හිමි දැවැන්ත අන්‍ය ජාතික සමාගමකි.ඔවුහු ඔක්තෝබර් 14 වන දින පෙරකී ගැසට්ටුව නිකුත් වනවාත් සමගම ක්‍රියාත්මක වී තිබුණි.එනම් මෙට්රික් ටොන් 26000 ක සීනි තොගයක් නැව් ගත කර තබීමයි.එලෙස නැව් ගත කොට තිබීම නිසා එම තොගය අඩු කළ බදු මුදලට මෙරටට ගොඩ බැමට ඔවුනට හැකිය. එසේම මේ වන විට වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියන් සමාගකට පැවරීමේ සූදානමකද රජය නිරත වී තිබුණි.යටකී දැවැන්ත සමාගමද මෙම ගනුදෙනුවට සම්බන්ධ බවට ආරංචි පවතී. සාමාන්‍යයෙන් ලංකාවට පැමිණෙන සීනි නැව් වල පැටවිය හැකි ප්‍රමාණය වූයේ මෙට්රික් ටොන් 13500 කි. නමුත් යටකී නැගෙනහිර පර්යන්තය විවෘත කරලීම නිසා ටොන් විසිහයදාහක් පැටවිය හැකි නැව් මෙරටට පැමිණීමට අවස්ථාව උදාවේ.

    මෙරටට සීනි ආනයනය කරන යටකී ඉන්දියන් සමාගම බදු අඩු කිරීමේ වාසිය ගෙන ඇත්තේ මුදල් ලොක්කන්ගේ පූර්ව දැනුම්දීමකින් බව නිසැකය. මේ නිසා මෙම සමාගම ලැබිය හැකිලාභය විශාල ලෙස ඉහළ යන්නට ඇත. ඒ මගින් මෙම ලොක්කන්ගේ මඩිය පිරවෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ.මෙම සමාගමට සීනි ලොතරැයිය ඇදෙන විට ලංකාවට සීනි ගෙන්වන අනෙකුත් සමාගම් හතට කුමක් සිදු විණිද. ඔවුනට මේ සමාගම මෙන් වාසියක් අත්නොවිණිද.සැබවින්ම ඔවුහුද මේ වාසියෙන් ප්‍රයෝජනය ලබමින් සීනි මෙට්රික් ටොන් 30000 ක් පමණ මේවන විට  ආනයනය කර තිබේ.නමුත් මාස තුනකයට සරිලන ලෙස පෙර ආනයනය කරන ලද සීනි ද ඔවුන් සතුය.මේ අයට සාමාන්‍ය ලාභයක් ලැබීමට නම් වෙළෙඳ පලේ එක් නීතියක් ක්‍රියාත්මක විය යුතුය.නමුත් තත්වය වෙනස් විය. මෙම සීනි මගඩිය පුවත්පත් විසින් වාර්තා කිරීමත් සමගම ආනයන පාලක විසින් නව ගැසට්ටුවක් නිකුත් කරන ලද්දේය.එනම් ආනයන පාලක ගේ අවසරයකින් තොරව සීනි ආනයනය කිරීම නතර කරලමිනි.

    පෙර කී ඉන්දියානු සමාගෙමෙන් සහ අනෙකුත් දේශීය සමාගම් වලින් සීනි තොග සමූපකාරයට සහ ස.තො.ස. ආයතනයට සැපයිය යුතු බවට වෙළෙඳ ඇමති ගේ යෝජනාව විය. එයට සාධාරණ උත්තරයක් නොවීය. එහිදී ඇමතිවරයාගේ තීරණය වූයේ මිල පාලනයක් පැනවීමය. ඉන් කලබලයට පත් ඉන්දියන් සමාගම සීනි මෙට්රික් ටොන් 2000 ක් පමණ රජයේ ආයතන වලට දීමට පොරොන්දු විය. අනෙකුත් දේශීය ව්‍යාපාරික සමාගම්ද මෙට්රික් ටොන් 250 ක් 500 ක් වැනි ප්‍රමාණයන් දීමට එකඟ වී තිබුණී.පසුගිය දිනවල රජයේ ආයතන වලින් මිලදී ගැනීමට හැකි වූයේ එම සීනිය.වෙළෙඳ පළ තුළ එක නීතියක් නොමැති වීමේ වාසිය ගත් මගඩි කරුවන් මෙලෙස කේවල් කරද්දී පාරිභොගිකයන් විශාල වශයෙන් පීඩා වින්ද ආකාරය අපට දැක ගන්නට හැකි විය. දිගු පොලිම් වල( මීටරයක පරතරය සහිත) අව් රැස් කමින් සිටි ඔවුන්ට ඉටුවූ සාධාරණයක් නොවීය.ඒ වෙනුවට විවෘත වෙළෙඳ පලේ සීනි මිල ඉහළ යමින් පැවතුණි.මේ අතර යටකී ඉන්දියානු සමාගම සහ අනෙකුත් ආනයන කරුවන් විසින් ගෙනා සීනි සඳහා රජය බැඳුම්කරයක්ද පණවා තිබේ.මේ නිසා මේ සීනි වරයෙන් පිටකිරීමද තහනම් වී තිබේ.දැන් සුදු සීනි වලට උපරිම සිල්ලර මිලක් පනවන්නට රජය උත්සාහ දරයි. එය සාර්ථක වේවිද.

       බදුපනත අනුව බදු අඩු කොට ගැසට්ටුවක් නිකුත් කළ විට මාසයක් ඉකුත්වන තෙක් එම ගැසට්ටුව වෙනස් කර නිකුත් කරන්නට නොහැකිය.ඔක්තෝබර් 14 නිකුත් කළ ගැසට්ටුව යලි වෙනස් කරනු ලබනුයේ නොවැම්බර් 14 දිනය. ආරංචියේ හැටියට සීනි වල ආනයන බද්ද යලි රුපියල් 40 දක්වා ඉහළ දමන්නට නියමිතය.ලංකාවේ දැනට සිදුවන සීනි නිෂ්පාදනය අතරින් මෙට්රික් ටොන් 12000 ක ප්‍රමාණයක් ද වෙළෙඳ පලේ පවතින අවස්ථාවක රජය ඉතා කල්පනාකාරීව මේ ප්‍රශ්ණයට විසදුම් සෙවිය යුතුය.රජයට විශාල බදු පාඩුවක් අත් කරගමින් කළ කැපවීම පාරිභෝගිකයාට යෑමට තිබෙන එකම මග දැනට වැඩි මිලට ආනයනය කරන ලද සීනි වෙළෙඳ පළට නිකුත් කිරීම තාවකාලිකව නවත්වා අඩුමිලට ආනයනය කරන ලද සීනි නිකුත් කරලීමට ඉඩ පහසුකම් සැලසීමයි.ඒ සඳහා අඩු කරන ලද බද්ද යම් කාලයක් තව පවත්වා ගෙන යා හැකිය. සැබවින්ම   වෙළෙඳ පළ හැසිරීම බලෙන් පාලනය කළ නොහැකිය. එසේම විදේශ සමාගම් මත යැපෙමින් නිළධාරීන් සහ දේශපාලකයන් මේ මගඩි වලින් වාසි ගැනීමේ ක්‍රමවේදය පාලනය කිරීම අත්‍යවශ්‍ය වේ.ජනපතිවරයා නොමග යවා සීනි වලින් විශාල අතයට මුදලක් ලබා ගැනීමට කවුරු හෝ උත්සාහ දරා තිබෙන බැවින් මේ තත්වය වෙනස් කරලීම රජයේ යුතුකමයි. අනෙක නම් ජනපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ වැඩ කටයුත් සඳහා කරන අනවශ්‍ය මැදිහත් වීමයි. ඒ නිසා ඇතිවී තිබෙන කඹ ඇදිල්ලේ තරම මේ සීනි මගඩියෙන් තේරුම් ගත හැකිය.

මතුගම සෙනෙවිරුවන්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress