ශෝක පණිවිඩය — නාපානේ පේමසිරි නාහිමි
Posted on November 20th, 2020

මහින්ද රාජපක්ෂ  ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය

මහනුවර, හුරීකඩුව ශ්‍රී  විද්‍යාසාගර මහා පිරිවෙනේ අධ්‍යක්ෂ හා විහාරාධිපති, ශාසනසෝභන,                  ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය, සිරි සීලවංශ වංශාලංකාර, ශාසනකීර්ති ශ්‍රී, රාජකීය පණ්ඩිත, විනයාචාර්ය,          විනයවිශාරද, අග්‍ගමහාපණ්ඩිත, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ මහනායක ධුරන්ධර, අතිගෞරවාර්හ නාපාන පේමසිරි මහනායක මහා ස්වාමින්වහන්සේ  අපවත් වූ පුවත සැළවීමෙන් මම බලවත් සේ සංවේගයට පත්වීමි.

ඓතිහාසික මහනුවර දිස්ත්‍රික්කයට අයත් පාතදුම්බර උඩුගම්පහ කෝරළයට අයත් නාපාන ග්‍රාමයේ            ප්‍රභූ දෙපළකට දාව ජනිත වූ මහානායක  මහ ස්වාමීන්වහන්සේ අර්ථ සම්පන්න බුද්ධ පුත්‍රයකු වූහ.

සසර දී රැස් කළ පුණ්‍ය බලය නිසාම සම්බුදු සසුනට ඇතුළත්ව සුපේශල ශික්ෂාකාමී මහා ථෙරනමකගෙන් ඉටුවියයුතු සමාජ හා ශාසනික මෙහෙවර මැනවින් වටහාගත් අප නායක ස්වාමීන්වහන්සේ,                                  ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායට නායකත්වය සැපයීමට තරම් උගත් බුද්ධිමත් හා දක්ෂ වූහ.

කුඩා කල සිටම දිඳුලන භික්ෂු ජීවිතය අර්ථාන්විත කර ගැනීමේ දී, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායට නායකත්වය සැපයූ අපවත් වී වදාළ මහා ථෙරවරුන් වන අතිගෞරවාර්හ දීපේගොඩ චන්දවිමල ස්වාමින් වහන්සේ හා අතිගෞරවාර්හ ඉඳුරුවේ උත්තරානන්ද ස්වාමීන් වහන්සේගේ පා සෙවණේ ලද ශික්ෂණය හා ආභාෂය උත්තුංග කාර්යයන් ඉටු කිරීමට උන්වහන්සේ තිළිණ කරගත් දායාදයන් වූහ.

අසදෘස ක්‍රියාවලියෙන්  ද, ප්‍රසාද වන ගුණ සම්පත්තියෙන් ද, දුටුවන් පහදවන කරුණා ගුණයෙන් ද, ශ්‍රමණ ආකල්පයන්ගෙන්  ද, පිරිපුන් මහනායක ස්වාමීන්වහන්සේ ත්‍යාගශීලී බෝධිසත්ව චරිතයක පිරිපුන් කැඩපතක් වූහ.

ස්වකීය පැවිදි ජීවිතය තුළ ශාසනික ප්‍රතිපදා වෙනුවෙන් නිරන්තර කැපවීමක් කළ මහනායක               ස්වාමීන්වහන්සේ නිකායේ විවිධ තනතුරු වන ප්‍රාදේශික සංඝ සභාවේ ලේකම් හා සභාපති ධූරයන්  ද, කාරක සභාවේ හා විශේෂාධිකාරී මණ්ඩලයේ සභික ධූරයන් ද, ජෙට්ඨානුවිජ්ජක හා උපරිමානුවිජජක ධූරයන් ද ලැබීමට තරම් භාග්‍ය සම්පන්න වූහ.

ඉන් නොනැවතී තම ශාසනික ගමන් මගේ ඉදිරියට පා තැබූ මහනායක ස්වාමීන්වහන්සේ උපසම්පදා විනය කර්මවලදී සඤ්ඤා ලේකම් ධුරය ද, ස්වනිකායේ ජේෂ්ඨ පදවියක් වන අධිකරණ නායක ධුරය ද ලැබූහ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ ප්‍රශස්ත සංඝ සාමග්‍රිය වෙනුවෙන් විශාල කැපවීමක් කළ මහනායක ස්වාමීන්වහන්සේ තම දක්ෂතා නිසාම වර්ෂ දෙදහස් දොළහේ දී නිකායේ උත්තරීතරම පදවිය වන මහනායක ධුරයට ඒකච්ඡන්දයෙන් තේරී පත්වූහ.

උන්වහන්සේ තුළ තිබූ විවිධ කුශලතාවයන් හා දක්ෂතා නිසාම බුරුම රජයෙන් අග්‍ගමහාපණ්ඩිත උපාධි ද පිරිනැමූහ.

කිසිඳු විටෙක විවිධ අභියෝග හමුවේ උන්වහන්සේ ධර්ම විනයාකූල  ප්‍රතිපදාවෙන් බැහැර නොවූ අතර තම අනුගාමිකයන්ට පූර්වාදර්ශයක් සැප වූ උතුම් චරිතයක් වූහ.

එසේම, පසු කාලිකයන්ට ද විවිධ ආදර්ශ සැපයූ නිවැරදි නායකත්ව ලක්ෂණයන් හා සුවිශේෂී ගුණයන් ප්‍රකට කිරීමට සමත් වූහ.

රටේ පොදු ශාසනික, ආගමික හා ජාතික කටයුතුවලදී ද, ත්‍රෛනිකායික  භික්ෂු මහා සංඝයා සමඟ එකමුතුව පොදු තීරණ ඉදිරිපත් කළ අතර, ඒ නිසාම එම සියලු භික්ෂු සංඝයාගේ ගෞරවයට හා ප්‍රසාදයට පත්වූහ.

නිකායාභිවෘද්ධියේ දී ධර්ම විනයානුකූල ලෙස කටයුතු කිරීමට තම වයෝවෘද්ධ භාවය ගැටලුවක් නොවීය.

මාගේ පෞද්ගලික ජීවිතේ දී මෙන්ම දේශපාලන ගමන් මගේ දී ද, ආදර්ශ සම්පන්න හා බුද්ධිමත් ලෙස    ලබා දුන් විවිධ අවවාද අනුශාසනා හා මඟ පෙන්වීම් උන්වහන්සේට කරන උපහාරයක් ලෙස මෙම  සංවේගජනක අවස්ථාවේ දී කෘතඥතා පූර්වකව සිහිපත් කිරීමට කැමැත්තෙමි.

නිකායේ පැරණි සම්ප්‍රදායන්ට ගරු කරමින් හා භික්ෂු දින චර්යාව නිවැරදිව ඉටු කිරීමට සමත් වූ අතර එතුළින්  අප ද ලබාගත් ආදර්ශයන් බොහෝය.

දුප්පබ්බජ්ජං දුරභිරමං – දුරවාස ඝරාදුඛා
දුක්ඛො සමාන සංවාසො – දුක්ඛානුපතිතද්ධගූ
තස්මා න වද්ධගු සියා – දුක්ඛානුපතිතෝසියා

පැවිද්ද දුෂ්කරය. එහි සිත් ඇලවීමත් දුෂ්කරය. ගිහිගෙයි වාසයත් දුක් සහිතය. අසමාන අදහස් ඇත්තවුන් හා එක්වවිසීමත් දුකකි.  සසර ද ඉතා දිගු හෙයින් දුක් සහිත ය. මේ නිසාම දුකෙන් ලුහුබඳිනා ලද්දේ සසර නැමැති අදන් මඟට පිළිපන්නෙකු නොවිය යුතුය. දුකින් ලුහු බඳනා ලද්දකුත් නොවිය යුතුය.

මෙම බුදු වදන තම දිවියට අර්ථවත් ලෙස එක් කරගත් මහනායක ස්වාමීන්වහන්සේ ලැබූ මිනිසත් බව ගෞරවාන්විතව හා අර්ථ සම්පන්න ලෙස අවසන් කිරීමට සමත් වූ මහාථෙරනමක් වූහ.

මහනායක ස්වාමීන්වහන්සේගේ අපවත් වීමෙන් ලද හිඩැස දිගුකලකට පිරවිය නොහැකි බව මාගේ වැටහීම වේ.

පුරා වසර 98 ක් වැනි දිර්ඝ  ආයුෂක් වින්දනය කොට අපවත් වී වදාළ අතිගෞරවාර්හ නාපාන පේමසිරි   මහනායක ස්වාමීන්වහන්සේට තමන් පතන බෝධියකින් උතුම් නිර්වාණාවබෝධය ලැබේවා යි ප්‍රාර්ථනා කරමි.

එසේම, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ සියලු නායක, අනුනායක ප්‍රමුඛ භික්ෂු මහා සංඝයා වහන්සේලාටත්, සියලු ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාටත්, දායක සභාවේ සැමටත්, සියලු ඥාතීන්ටත්, ප්‍රදේශවාසී සැමටත්, රට වැසියන්ටත් මාගේ බලවත් සංවේගය මෙයින් පිරිනමමි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress