පර්යේෂණ ප්‍රතිපල පුළුල් වාණිජකරණ මට්ටමකට ගෙන ඒමට සහයෝගය ලබා දෙනවා. – රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල
Posted on November 23rd, 2020

ප්‍රවෘත්ති නිවේදනය නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය.

පර්යේෂණ ප්‍රතිපල පුළුල් වාණිජකරණ මට්ටමකට ගෙන ඒමට  සහයෝගය ලබා දෙන බව නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය ප්‍රකාශ කළා ය. එම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් අමාත්‍යවරිය මේ බව පැවසුවා ය.

මෙම නිරීක්ෂණ චාරිකාවේ දී එම ආයතනයේ විද්‍යාඥයින් විසින් ආයතනයේ ගමන්මග පිළිබඳවත්, මේ වන විට සිදුකරමින් පවතින පර්යේෂණ  සහ නිමා කරන ලද පර්යේෂණයන් පිළිබදවත් ගරු අමාත්‍යතුමිය දැනුවත් කළහ, අමාත්‍යතුමිය විසින් මේ කරුණු පිළිබඳව සුවිශේෂී අවධානය යොමු කළ අතර අදාල පර්යේෂණාගාරයන් දීර්ඝ ලෙස නිරීක්ෂණය කළා ය. මෙම ආයතනයේ විද්‍යාඥයින් මහත් පරිශ්‍රමයකින් සිදු කරන ලද අදාල පර්යේෂණයන්ගෙන් නිසි ඵල රටට ලබා ගැනීමට නම් එම නිෂ්පාදන සඳහා වාණිජමය වටිනාකමක් ලබාදීමේ වැදගත්කම පෙන්වා දුන් අමාත්‍යතුමිය ඒ සඳහා ඇති ගැටළු නිරාකරණය කරමින් ඒවා පුළුල් වාණිජකරණ මට්ටමකට ගෙන ඒමට අවශ්‍ය සහයෝගය නොඅඩුව ලබා දෙන බව ද ප්‍රකාශ කළා ය.

මෙහිදී  වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරිය මෙසේ ද, පැවසුවාය.

පර්යේෂණ, නව නිපැයුම් සහ තාක්ෂණ භාවිතයට  වැඩි අවධානයක් යොමු කිරීම රටක ආර්ථික දියුණුවේ හැරවුම් ලක්ෂය යි. ඒ තීරණය ගත් තැන සිට ඒ රටවල් වෙනස්වීමේ, දියුණවීමේ ආරම්භය සනිටුහන් වෙනවා. රටේ ජාතික සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීමේ දී අප අමාත්‍යාංශයේ කාර්යභාරය ඉතා වැදගත්. එම කාර්යභාරය උපරිමව සිදුකිරීමට සියළු ආයතන මනා කළමනාකරණයකින් එකමුතුව කටයුතු කිරීම අවශ්‍යයි. ඒ නිසා ඉදිරි වසරේ දී රටේ ජාතික ආර්ථික සංවර්ධන ඉලක්ක ජය ගැනීමට මෙම පර්යේෂණ ආයතන වල දායකත්වය උපරිමව ලබාගැනීමට කටයුතු කළ යුතු ආකාරය පිළබඳව අවබෝධයක් ලබාගැනීමට විශේෂ අධ්‍යයනයක් අපි සිදු කරගෙන යනවා. මෙම ආයතනයේ අධ්‍යයනය ද අපි අද දින සිට ආරම්භ කරනවා. ”

මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ අතිරේක ලේකම් දීපා ලියනගේ, වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ උප කුලපති, මහාචාර්ය රංජිත් ප්‍රේමලාල්, ජාතික මූලික අධ්‍යයන ආයතනයේ සභාපති, මහාචාර්ය අතුල සුමතිපාල, අධ්‍යක්ෂ, මහාචාර්ය සමන් සේනවීර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මාධ්‍ය ඒකකය

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress