මාවැල්ල ධීවර නැංගුරම්පොළ ඉදිකිරීම ඇරඹෙයි
Posted on December 6th, 2020

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

මාවැල්ල ධීවර  නැංගුරම්පොළෙහි ඉදිකිරීම් කටයුතු ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ  ප්‍රධානත්වයෙන්  අද 2020.12.06 දින ආරම්භ විය.

යෝජිත නැංගුරම්පොළ තුළ මීටර් 260 කින් යුතු ප්‍රධාන දියකඩනය, අක්වෙරළ දියකඩන දෙකක් හා නාවුක ගමනාගමනය පහසු කරවීම පිණිස පිවිසුම් ඇළක් ද ඉදි කිරීමට නියමිතය.

පිටත එන්ජිම සහිත ෆයිබර් යාත්‍රා 350 ක් සඳහා පහසුකම් සපයා දීම මෙන්ම යාත්‍රා සඳහා ආරක්ෂාකාරී යාත්‍රා පිවිසුමක් ලබාදීම තුළින් ධීවර කාර්මිකයාට මෙන්ම, පවුල්වල පිරිස් සඳහා වඩා සුරක්ෂිත වෘත්තීය මට්ටමක් මේ තුළින් ලබාදීමට අපේක්ෂිතය. එමෙන්ම මෙහි බහුදින ධීවර යාත්‍රා සඳහා ද ධීවර කටයුතු වල නියැළීමට අවශ්‍ය පහසුකම් සපයා දී තිබේ.

යෝජිත මාවැල්ල ධීවර නැංගුරම්පොළ ඉදි කිරීම තුළින් 1500 ක පමණ පිරිසකට ජීවනෝපාය සැලසෙන අතර ඒ  තුළින් ධීවර ප්‍රජාවගේ ධීවර කටයුතු වඩා ඵලදායී වනු ඇත.

මාස 15 වැනි කෙටි කාලයක් තුළ මෙහි ඉදි කිරීම් අවසන් කිරීමට නියමිත අතර ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 380.07 කි.

මෙම අවස්ථාව සඳහා අමාත්‍යවරුන්වන ඩග්ලස් දේවානන්දා, නාමල් රාජපක්ෂ, මහින්ද අමරවීර, ජී.එල්.පීරිස්, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.වී.චානක, කංචන විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උපුල් ගලප්පත්ති, දිලිප් වෙදආරච්චි, අජිත් රාජපක්ෂ, දකුණු පළාත් සභා සභාපති සෝමවංශ කෝදාගොඩ, දකුණු පළාත් සභා හිටපු ධීවර අමාත්‍ය ඩී.වී.උපුල්, ධීවර අමාත්‍යංශ ලේකම් ආර්.එම්.අයි.රත්නායක, රාජ්‍ය අමාත්‍යංශ ලේකම් ජයන්ත චන්ද්‍රසෝම මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress