රැකව ධීවර නැංගුරම්පොළ ඉදිකිරීම අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙයි
Posted on December 6th, 2020

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

රැකව ධීවර නැංගුරම්පොළ ඉදිකිරීම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද 2020.12.06 දින ආරම්භ විය.

කළමැටිය ධීවර වරායේ ගින්නෙන් සිදු වූ හානි ප්‍රතිපූර්ණයට කළමැටිය ධීවරයින් 26 දෙනෙකු සඳහා, එක් ධීවරයෙකුට රුපියල් ලක්ෂ හත හමාර බැගින්  වටිනා ධීවර යාත්‍රාවක් සහ ධීවර ආම්පන්න බෙදාදීම ද අග්‍රාමාත්‍යතුමා අතින් මෙහිදී සිදු විය.

රැකව තොටුපොළ ආශ්‍රිතව පවුල් 300 ක් පමණ ධීවර කර්මාන්තයේ නිරත වන අතර, ඉදි කිරීමට යෝජිත රැකව ධීවර නැංගුරම්පොළ තුළින් ධීවර ප්‍රජාවගේ ධීවර කටයුතු සඳහා එය වඩා ඵලදායී වනු ඇත.

තංගල්ල හා හම්බන්තොට ධීවර වරාය අතර පිහිටා ඇති මෙම යෝජිත ධීවර නැංගුරම්පොළ තුළ මීටර් 300 කින් යුතු ප්‍රධාන දියකඩනය, මීටර් 75 කින් යුතු වැලිකඩනය හා නාවුක ගමනාගමනය පහසු කරවීම පිණිස පිවිසුම් ඇළක් ඉදි කිරීමට  යෝජිතය.

පිටත එන්ජිම සහිත ෆයිබර් යාත්‍රා 350 ක් සඳහා පහසුකම් සපයා දීම මෙන්ම යාත්‍රා සඳහා ආරක්ෂාකාරී යාත්‍රා පිවිසුමක් ලබාදීම තුළින් ධීවර කාර්මිකයාට මෙන්ම, පවුල්වල පිරිස් සඳහා වඩා සුරක්ෂිත වෘත්තීය මට්ටමක් මේ තුළින් ලබාදීමට අපේක්ෂිතය.

රැකව ධීවර නැංගුරම්පොළ ඉදි කිරීම තුළින් 1500 කට අධික පිරිසකට ජීවනෝපායන් සැලසෙන අතර බහුදින යාත්‍රා 70ක් පමණ ධීවර කටයුතුවල නියැළෙනු ඇත.

අවුරුද්දක් වැනි කෙටි කාලයක් තුළ මෙහි ඉදි කිරීම් අවසන් කිරීමට නියමිත අතර ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 379.53 කි.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමා,

මේ ධීවර වරාය අපේ ඔලුවල එදා 70 මන්ත්‍රී කෙනෙක් වෙන්න කලින් ඉදලම තිබුණා. මගේ මැතිවරණ ඉතිහාසයේ මුල්ම සාකච්ඡාව පටන් ගත්තේ රැකව ඉදලා. රැකවෙන් තමයි අපි සාකච්ඡා කරලා මුලින්ම දේශපාලන කටයුතුවලට එළියට බැස්සේ. ඒ නිසා රැකවත් එක්ක අපිට තියෙන්නේ ඒ සම්බන්ධතාවය.

විශේෂයෙන්ම මම සන්තෝෂ වෙනවා අද. මොන පක්ෂෙන් ආවත්, ආණ්ඩු කළත්  හැම දේශපාලන නායකයාගේම හිත්වල තිබුණා, හැම දේශපාලන නායකයාටම ඕනි වෙලා තිබ්බා මේ ධීවර වරායන් හදන්න. නමුත් එය ක්‍රියාත්මක කරන්න පුළුවන්කම ලැබුණේ අපට. හුගක් අය මොනවා කිව්වත් රට පුරාම අද වෙනකොට ධීවර වරායන් 22ක් තියෙනවා. අපි ධීවර කර්මාන්තය දියුණු කරා. ඒ ගැන අපි විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. කම්කරු ඇමතිව ඉදලා ධීවර ඇමති වුනාම  සංවර්ධනය කරන්න අමාත්‍යංශයක් භාර අරගෙන ධීවර ජනතාවගේ අවශ්‍යතාවයන් ලබා දෙන්න අපි ඒ කාලේ ඉදන්ම පියවර ගත්තා. අපිට ඒ සදහා  පුළුවන්කම ලැබුණා. රට වටේට මුහුද තියෙනවා. අපි තවමත් පිටරටින් මාළු ගේනවා. අපේ මුහුදෙ තියෙන මාළු ටික වෙන රටවල් අරගෙන යනවා. මේක නැවැත්වීමට අපි පියවර ගන්නවා. ධීවර අමාත්‍යතුමා ඇතුළු සියලු දෙනා එකතු වෙලා එය නවත්වන්න පියවර ගන්නවා. අපි අපේ මුහුද ආරක්ෂා කරගෙන ධීවර කර්මාන්තය වඩා දියුණු කරලා ජනතාවට අවශ්‍ය මාළු ටික සපයනවා විතරක් නෙමෙයි අපිට විදේශ මුදල් ලබා ගැනීම සඳහා පිටරට යැවීමත් කරන්න පුළුවන්. දැනටමත් අපිට විදේශ ආදායම් ප්‍රමාණයක් ලැබෙනවා ධීවර කර්මාන්තයෙන්. අපි මේ කර්මාන්තය දියුණු කරන්න පළාත දියුණු කරන්න අපේ වගකීමක් ලෙස සලකා කටයුතු කරනවා. මේ ආණ්ඩුව පිහිටුවාට පස්සේ ධීවර කර්මාන්තය විතරක් නෙමෙයි අනෙකුත් කර්මාන්තත් දියුණු කිරීම සඳහා පියවර අරගත්තා. විශේෂයෙන්ම යටිතල පහසුකම් දියුණු කරලා ලංකාවෙම යටිතල පහසුකම් ලබාදෙන්න අපි කටයුතු කළා. මේ සියල්ල විශේෂ අවධානයක් මේ රටේ ජනාධිපතිවරයා යොමු කරලා තියෙනවා. ඒ නිසා අපි ඇමතිවරු වශයෙන්  ජනතාවගේ ඒ අවශ්‍යතාවයක් ඉටු කරන්න කැපවෙලා ඉන්නවා. 

තමුන්නාන්සේලා දන්නවා ඔබේ රාජ්‍ය ඇමතිවරයා අපි බලාපොරොත්තු වන අපේ  ක්‍රියාත්මක කරන්න තියෙන ප්‍රතිපත්ති ගැන තමුන්නාන්සේලාට ප්‍රකාශයක් කළා. අපි අනිවාර්යෙන්ම ධීවර කර්මාන්තය දියුණු කරන්න, ධීවර කටයුතු පහසු කරන්න, ධීවර නිවාස වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. මට මතකයි ඉස්සර අපි යනකොට පොල් අතු පැළ වල තමයි ධීවරයෝ හිටියේ. අපි ආරම්භ කළා පොල් අතු පැළවල් සියල්ල අයින් කරන්න. ඒ අනුව අපි උළු වහළවල් ලබා දෙන්න පොරොන්දු උනා. ධීවර ජනතාවට තට්ටු නිවාස වැඩපිළිවෙළක් අපි ආරම්භ කළා. මොරටුව, අම්බලන්ගොඩ, වැලිගම, සීනිමෝදර තට්ටු නිවාස ආරම්භ කරලා අපි නිවාස ලබා දුන්නා. ඉස්සෙල්ලා ප්‍රශ්නයක් ආවා දැල් ටික තියා ගන්නේ කොහෙද කියලා. ආම්පාන්න තියා ගන්නෙ කොහොමද කියලා. දැන් ඊටත් වඩා හොදට උතුරේ ජනතාව අවුරුදු 30ක යුද්ධයකින් බැට කෑව. ඒ ධීවර ජනතාව ගේ අවශ්‍යතාවය ගැන හිතලා ඩග්ලස් දේවානන්ද මහතාත්, දකුණ බලාගන්න කාංචන විජේසේකර මහතාත් පත් කළා යැයි පැවසීය.

මෙම අවස්ථාව සඳහා අමාත්‍යවරුන්වන ඩග්ලස් දේවානන්දා, නාමල් රාජපක්ෂ, මහින්ද අමරවීර, ජී.එල්.පීරිස්, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.වී.චානක, කංචන විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උපුල් ගලප්පත්ති, දිලිප් වෙදආරච්චි, අජිත් රාජපක්ෂ, දකුණු පළාත් සභා සභාපති සෝමවංශ කෝදාගොඩ, දකුණු පළාත් සභා හිටපු ධීවර අමාත්‍ය ඩී.වී.උපුල්, ධීවර අමාත්‍යංශ ලේකම් ආර්.එම්.අයි.රත්නායක, රාජ්‍ය අමාත්‍යංශ ලේකම් ජයන්ත චන්ද්‍රසෝම මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress