මන්නාරම තම්බපවනී සුළං විදුලි බලාගාර උද්‍යානය අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් විවෘත වෙයි
Posted on December 8th, 2020

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

මෙරට ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 103.5 ක ධාරිතාවක් එක් කෙරෙන මන්නාරම තම්බපවනී ශ්‍රී ලංකාවේ පළමු සුළං විදුලි බලාගාර උද්‍යානය අද 2020.12.08 දින ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් විවෘත විය.

Sri Lanka’s largest wind power plant joins national grid

සර්ව ආගමික නායකයින්ගේ ආශිර්වාද ලබා ගත් අග්‍රාමාත්‍යතුමා සමරු ඵලකය නිරාවරණය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ පළමු සුළං විදුලි බලාගාරය – තම්බපවනී ජනතා අයිතියට පත් කරමින් සුළං කුලුනු ක්‍රියාත්මක කරවූයේය.

මන්නාරම සිට නඩුකුඩා දක්වා කිලෝමීටර් 30ක් අධි බලැති විදුලියෙන් සම්බන්ධ කෙරෙන සම්ප්‍රේෂණ පද්ධතියකින් සමන්විත මෙම විදුලි බලාගාරය තුළින් නඩුකුඩා සිට අනුරාධපුරය දක්වා උතුරු හා නැගෙනහිර පළාත් ඇතුළුව සමස්ත විදුලිබල පද්ධතියට මෙගාවොට් 103.5 ක ධාරිතාවක් එක් කිරීමට නියමිතව ඇත.

මන්නාරම වෙරළ තීරයේ කිලෝ මීටර් 13 දුරට, හෙක්ටර්යාර් 150 ක භූමියක මෙම බලාගාරය ස්ථාපිත කර තිබේ. වසරකට විදුලි ඒකක මිලියන 400 ක් නිෂ්පාදනය කිරීමට ද මේ මඟින් අපේක්ෂිතය.

පවුල් දෙලක්ෂයකට වැඩි පිරිසකට විදුලිය සැපයෙන මෙම තම්බපවනී සුළං විදුලි බලාගාරය මෙතක් ඉදිවූ විශාලතම පුනර්ජනනීය විදුලි බලාගාරය වේ.

මන්නාරම තම්බපවනී සුළං විදුලි බලාගාරය ජනතා අයිතියට පත්නරමින් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය,

මෙරට ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 103.5 ක ධාරිතාවක් එක් කෙරෙන ශ්‍රී ලංකාවේ විශාලතම සුළං විදුලි බලාගාරය විවෘත කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳව මම ඉතාමත් සතුටු වෙනවා.  

මිත්‍රවරුනි, දේශපාලඥයෙකුට විතරක් නෙමෙයි ඔනෑම මනුස්සයෙකුට ජීවිතයේ තියෙන්න පුළුවන් සතුටක් තමයි යමක් පටන් අරගෙන අවසන් කිරීම.

අද මම මන්නාරම් දූපතට ආවේ 2014 දි මුල් පියවර තබපු මේ ව්‍යාපෘතිය රටට කැප කිරීම සඳහා, අන්න ඒ සතුට උපරිමයෙන් දරාගෙනයි.

ඒ වගේම මන්නාරමට එනකොට මම දැක්කා මේ අවට සියලු පාරවල් කාපට් කරනවා. ඩලස් ඇමතිතුමා කිව්වා විදුලි බල මණ්ඩලයේ මෙම ව්‍යාපෘතියෙන් තමයි කිලෝමීටර් විස්සක් අවට පාරවල් කාපට් කරන්නෙ කියලා,

මිත්‍රවරුනි, මට මතක් වෙනවා 2008 දි තරම් ඈතදි, මඩු දේවස්ථානයට යන පාර හදලා, මඩු මංගල්‍යය වෙනුවෙන් රටේ නායකයා විධියට මම එන්න හදනකොට, මට කිව්වේ, මෙහෙට එන්න නම් එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් අවසර ගන්න ඕන කියලයි.

මිත්‍රවරුනි, රටේ නායකයාට මඩු පල්ලියට එන්නත් ත්‍රස්තවාදීන්ගෙන් අවසර ගන්න ඕන යුගයක් තිබුණෙ. මම එදා බොහොම පැහැදිලිව කිව්වා මේ රටේ සෑම පුරවැසියෙකුටම උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් නිදහසේ යන්න පුළුවන් යුගයක් නිර්මාණය කරනවා කියලා,

අද මේ තම්බපවනී බලාගාරය ඒ නිදහසේ ප්‍රතිඵලයක් නේදැයි මා ඔබගෙන් විමසනවා.

එදා 1890 දි මෙරට මුල්ම විදුලි බල්බය දැල්වූ දා පටන් විදුලිය සියලු දෙනාට සිහිනයක්. එහිදී ලොකුම අභියෝගය වුණේ ගමට විදුලිය ගෙනයාම. ඉංජිනේරු ඩී.ජේ විමලසුරේන්ද්‍ර මහතා ඇතුළු විද්වතුන්ගේ ධෛර්ය සහ දායකත්වය මත ඒ අභියෝග ජය ගැනීමට හැකිවුණා.

මිත්‍රවරුනි, විදුලි බලය ලබාදීමට යම් කාලයක් ගතවූ බව ඔබ දන්නවා. නමුත් ඇතැම් පාලන සමයන්හි දී දුර දිග නොබලා කළ ක්‍රියාකාරකම් රටේ විදුලිබල ක්ෂේත්‍රයේ දියුණුවට බාධාවන් එක් කළා. කැරළි කෝලහාල මෙන්ම යුද්ධය පැවැති සමයන්හි විදුලිබල පද්ධතියට සිදු වූ හානිය සුළු පටු නැහැ. ඒ නිසා පසුකාලීනවත් රටේ විශාල විදුලි අර්බුධ පැන නැගුණා. එහි ඇතැම් ප්‍රතිවිපාකවලට අදටත් අපි මුහුණ දෙනවා.

ඒ බව දන්න නිසා, අනෙකුත් තීන්දු වගේම, විදුලි බලය පිළිබඳව අපි හැමවිටම ක්‍රියාත්මක වුණේ සැලසුම් එක්ක. අපේ රජයන් බලයට පත්වූ සෑම විටම, මෙරට විදුලිබල ඉල්ලුමට අවශ්‍යය සැපයුම ලබාදීමට මූලික අවධානය යොමු කළා.

අපේ පාලන කාලයේදී උමා ඔය, ඉහළ කොත්මලේ, මොරගහකන්ද වැනි ජල විදුලි බලාගාර හැදුවා. ඒ වගේම තමයි කිසිම අවස්ථාවක අපි විදුලිය කප්පාදු කළේ නැහැ.

ඒ නිසා කිසිදා විදුලිය නොදුටු ඈත පිටිසර ගම්මාන සංවර්ධන මාවතට ගෙනඑමින් විදුලිය ලබා දෙන්න අපට හැකිවුණා. දැයේ අනාගතය භාරගන්න දුවා දරුවන් කුප්පි ලාම්පු එළියෙන් පොත පත බලන යුගය නිමා කළ යුතු බව අද මෙන්ම එදත් අපි තරයේ විශ්වාස කළා.

වර්ෂ 2005 දී අපි බලයට පත් වන විට ශ්‍රී ලංකාවේ මුළු ජනගහණයෙන් 65 % කට පමණයි විදුලිය තිබුණේ. වර්ෂ 2015 වන විට මුළු ජනගහණයෙන් 98% ක ප්‍රතිශතයකට විදුලිය දෙන්න අපට හැකි වුණා.

මේ නිසා නගරයේ මෙන්ම ගමේ නිවසකත් විදුලි බල්බයක් දැල්වෙන පරිවර්තනීය යුගයක් අපි නිර්මාණය කළා.

ඉදි කිරීම් අවසන් කර ගන්න බැරිව තිබුණ නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ කටයුතු අපි පසුගිය කාලය තුළ ඉටු කළා. ඒ මඟින් මෙගා වොට් 900ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් වුණා.

අපි 2015 වන විටත් සැලසුම් සකස් කරලයි තිබුණේ 2020 වෙනකොට ගල්අගුරු බලාගාර ඉදි කිරීමට වගේම පුනර්ජනනීය විදුලිය ව්‍යාප්ත කිරීමට. නමුත් 2015 බලයට පත්වුණු ආණ්ඩුවට, ජනතාවට අඛණ්ඩව විදුලිය සැපයීම ගැන විධිමත් වැඩපිළිවෙළක් තිබුණේ නැහැ.

ඒ හේතුව නිසා අපිට ඉදිරියේදී විදුලිබල හිඟයකට මුහුණ දෙන්න සිදු වෙන්න ඉඩ තියෙනවා.  එම අභියෝගයට මුහුණ දෙන්න අපි දැනටමත් විදුලිබලාගාර ඉදිකරමින් පවතිනවා.

කෙරවලපිටිය LNG බලාගාරය තුළින් මෙගාවොට් 300ක ධාරිතාවයක් ද, නොරොච්චෝලේ තවත් ගල් අගුරු බලාගාරයක් ඉදිකිරීම තුළින් මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කරන්න සියලු කටයුතු සූදානම් කර අවසන්.

අපේ අරමුණ වෙන්නේ අධික වියදමක් දැරීමට සිදුවන තාප විදුලි බලාගාර ක්‍රමයෙන් අඩු කරමින් පුනර්ජනනීය විදුලිබලය ප්‍රචලිත කිරීම.

අපි 2013 දි තමයි පුනර්ජනනීය විදුලි බලය ප්‍රචලිත කරන්න කටයුතු කළේ. අපි එදා ඉදන් සුළං බලය වගේම සූර්ය බලය යොදගෙන විදුලි බලාගාර ඉදි කරන්න සැලසුම් සකස් කළා.

අපෙන් පසුව එන ආණ්ඩුත් ඒ වැඩපිළිවෙළ අඛණ්ඩව පවත්වාගෙන යාවි යැයි අපි එදා කල්පනා කළා. නමුත් එය එසේ සිදු වු‍යේ නැහැ. හොද දේ හොද විදියට දකින්නත් වැරදි දේ වැරදි විදියට දකින්නත් බැරිවුණ නිසා ඔවුන් වෙනසකට කළේ අපෙන් පළිගත්න එක විතරයි.

අධ්‍යාපනයෙන් රටේ මානව සම්පත හදලා, රැකියා උත්පාදනය කරලා, පාරක් තොටක් හැදිලා, කර්මාන්ත ශාලාවක් පටන්ගෙන, එක විදුලි බල්බයක් හරි අලුතින් දැල්වෙනවිට ජනතා අපේක්ෂාවන්  දැල්වෙනවා. අපි රජයක් විදිහට මේ බව සෑම විටම තේරුම් ගත්තා.

ඒ විතරක් නෙමෙයි ඕනෑම පුද්ගලයෙක් ත්‍රස්තවාදී  උවඳුරු නැති ආරක්ෂිත රටක ජීවත්වෙන්න කැමතියි. දරුවන්ගේ අනාගතය සුරක්ෂිතවනවාට කැමතියි. ඒ ගැන කල්පනා කරපු ජනතාව අපට පහුගිය මැතිවරණයෙදි ඉහළම ජනවරම ලබා දුන්නා.

ඒ නිසා ඔබ දන්නවා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියෙන් ඒ ජනතා අපේක්ෂාව ඉටු කරන්න අපි ලෑස්තියි.

විදුලි බලය ගත්තත්, සෞභාග්‍යයේ දැක්මට අනුව විදුලි පාරිභෝගිකයා අනාගතයේදී විදුලිබල නිෂ්පාදකයකු ලෙස පරිවර්තනය කෙරෙනවා.

මිත්‍රවරුනි, අද මේ යථාර්ථයක් වෙලා තියෙන්නෙත්, එදා අපේ රජයක් යටතේ 2014 දි මූලික සැළසුම් සකස් කළ ව්‍යාපෘතියක්. ඒ නිසා සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියට අනුවත් මෙම සුළං විදුලි බලාගාරය එක් සංධිස්ථානයක්. අද ලෝකයම පුනර්ජනනීය බලශක්තිය ගැන කතා කරනවා. නමුත් එ් සෑම රටකටම ස්වභාවික ප්‍රභවයන්ගෙන් විදුලිය ලබා ගන්න තරම් වාසනාවක් නැහැ. ඒ අතින් අපේ රට කොතරම් වාසනාවන්ත ද ?

සුළං බලය පමණක් නෙමෙයි, සූර්ය බලයත් යොදාගෙන අපට විදුලිය නිපදවිය හැකියි.

මේ සෑම පුනර්ජනනීය බලශක්තියක්ම ඔස්සේ ජාතික විදුලිබල පද්ධතියට සියයට 80% ක විදුලි ධාරිතාවක්  එක් කර ගැනීම අපේ අපෙක්ෂාවයි.

මෙතෙක් පෞද්ගලික අංශයට කුඩාවට හෝ සුළං බලයෙන් විදුලිය ජනන කිරීමේ හැකියාවක්  තිබුණා. නමුත් ලංකා විදුලිබල මණ්ඩලයට ඒ හැකියාව තිබුණේ නැහැ. මොකද, මෙතෙක් සුළං විදුලි බලාගාර  තිබෙුණේ පෞද්ගලික අංශය සතුව. ඒ නිසා මන්නාරමේ විවෘත වන මෙම සුළං විදුලි බලාගාරය, ලංකා විදුලි බල මණ්ඩලයට අයත් පළමු සුළං විදුලි බලාගාරය ලෙස ඉතිහාසගත වෙනවා.

අපේ මිත්‍ර ඩලස් අලප්පෙරුම ඇමතිතුමා, ඉතා කෙටි කලක් තුළ මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට අවශ්‍ය නායකත්ව ලබා දුන්නා. රාජ්‍ය අමාත්‍ය දුම්න්ද දිසානායක ඇමතිතුමා, ඒ වගේම අමාත්‍යංශ, රාජ්‍ය අමාත්‍යංශ ලේකම්තුමන්ලා ඇතුළු මේ ව්‍යාපෘතියට සම්බන්ධ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන්, නිලධාරීන්, සෙසු සේවකයන් විශාල පරිශ්‍රමයක් ඒ වෙනුවෙන් දරා තිබෙනවා.

මෙම ව්‍යාපෘති ඉලක්කයෙන් සියයට 30ක ධාරිතාවක් අද මේ මොහොතේ පටන්ම ජාතික විදුලි බල පද්ධතියට එක්වෙනවා. ඉදිරියේදී මෙහි සියයට සියයක මුළු ධාරිතාවම විදුලිබල පද්ධතියට එක් කිරීමට අපි කටයුතු කරනවා. 

තවත් මාස කිහිපයකින් මෙම ව්‍යාපෘතියෙ සමස්ත ඉලක්කය සපුරනවිට ඉතා අඩු වියදමකින් විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමේ  හැකියාව ඇතිවෙනවා.

ඒ තුළින් සැමට විදුලිය ලබා දීමේ අපගේ ඉලක්කය සපුරා ගැනීමට මෙන්ම වාර්ෂිකව ඉහළ යන විදුලි ඉල්ලුමේ අර්බුදය විසදා ගැනීමටත් හැකිවෙනවා.

දේශගුණික විපර්යාස අවම කිරීමේ විසඳුමක් විදියටත්, අද පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව අවධානය යොමුවෙනවා. මෙවැනි ව්‍යාපෘතියකින් සිදුවන පරිසර හානියක් නැති තරම්.

මිත්‍රවරුනි, මන්නාරම කියන්නේ නිරිත දිග වගේම ඊසාන දින මෝසම් දෙකේදිම හොදට සුළං ලැබෙන ප්‍රදේශයක්. ඒ වගේම සංක්‍රමණික පක්ෂීන් විශාල සංඛ්‍යාවක් මේ හරහා තමයි ලංකාවට පැමිණෙන්නේ. ඒ සත්තුන්ටත් හිරිහැරයක් නොවන පරිද්දෙන් මේ සුළං පෙති එකවර නවතා දැමෙන රේඩාර් පද්ධතියකුත් අපි සවිකර තිබෙනවා.

ජනතාව විදිහට, ඔබට සතුටුවිය හැකි රටේ දියුණුවට බලපාන මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමයි අපේ ඉලක්කය. ඒ නිසා පසුගිය කාලයේ අපට විවිධ අවලාද නගමින් සිටි අයට අපි මතක් කරන්න කැමතියි, අපේ ක්‍රමය පළිගැනීම නෙමෙයි රටට වැඩ කිරීම කියලා.

ඒ නිසා විශාලම සුළං විදුලි බලාගාරය රටට එක්වන අද දිනයේ රජයක් විදිහට ඒ ගැන සතුටු වෙනවා. මම දැක්කා විරුද්ධ පක්ෂයේ ඇතමෙක් අර ළගදි ආපු සුළි කුණාටුව රටට එන්නත් කලින් ඒ ගැන අනාවැකි කිව්වා. ඒ අය බලා උන්නෙ ජනතාවට විපත්තියක් වෙලා ආණ්ඩුවට බනින්න මාතෘකාවක් හදාගන්නෙ කොහොමද කියලා. මේ වගේ පටු දේශපාලන අරමුණු දැන්වත් මේ රටින් ඉවත්විය යුතුයි කියලයි ජනතාව කල්පනා කරන්නෙ. මට මතකයි මම විදුලිය දෙන්න ප්‍රමුඛත්වය දෙනකොට විරුද්ධ පක්ෂයේ දේශපාලඥයන් එදා අහුවා විදුලිය කන්නද කියලා. මම කිව්වා, ඔව් විදුලිය දීලා, කර්මාන්ත ශාලා හැදිලා රැකියා උත්පාදනය වුණාම විදුලියෙන් කන්න ලැබෙනවා කියලා.

කොවිඩ්-19 තත්ත්වය නිසා මුළු ලෝකයම අද ආර්ථික පසුබෑමකට ලක්වෙලා. නමුත් අපේ රටේ ජනතාව එම පීඩාවෙන් මුදා ගැනීමට අවශ්‍යය සෑම පියවරක්ම අපි අරගෙන තිබෙනවා. ඒ වගේම එක්ව ජය ගැනීමේ දේශීය ආර්ථිකය නගා සිටුවීමේ ක්‍රියාවලියට අප මුලපුරා තිබෙනවා. ආනයන සීමා කරමින් දේශීය නිෂ්පාදකයා ගැන බලාපොරාත්තු දල්වා තිබෙනවා. ජාතික විදුලි බල පද්ධතියට අද දින එක්වන මෙම  සුළං විදුලියත් ඒ සඳහා ශක්තියක්.

මිත්‍රවරුනි, සෞභාගයේ දැක්මට අනුව 2030 වන විට අපේ රටේ සමස්ත විදුලියෙන් සියයට 70% හෝ 80% ක් පුනර්ජනනීය බලශක්තිය මත රදා පැවතිය යුතුයි.

විදුලිබල ක්ෂේත්‍රයේ සිදුවන එම දැවැන්ත පරිවර්තනයට, ශ්‍රී ලංකාවේ විශාලතම සුළං විදුලි බලාගාරය ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් බව සිහිපත් කරන්න කැමතියි! ඔබ සැමට සෞභාග්‍යමත් හෙටක් ! තෙරුවන් සරණයි! යැයි පැවසීය.

මෙම අවස්ථාව සඳහා අමාත්‍යවරුන් වන ඩලස් අලහප්පෙරුම, ඩග්ලස් දේවානන්දා, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෆාදර් මස්තාන්, යදාමිණී ගුණවර්ධන  හා උතුරු පළාත් ආණ්ඩුකාරිනි පී. එස්. එම්. චාර්ල්ස්, විදුලිබල අමාත්‍යංශයේ ලේකම් වසන්තා පෙරේරා, විදුලිබල මණ්ඩලයේ සභාපති  ඉංජිනේරු විජිත හේරත් මහත්ම මහත්මීන් ඇතුළු රජයේ උසස් නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

One Response to “මන්නාරම තම්බපවනී සුළං විදුලි බලාගාර උද්‍යානය අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් විවෘත වෙයි”

  1. aloy Says:

    No doubt this is the work of yahapalanaya not yet fully completed. However it is good to see that every one is happy about this new development which CEB engineers fought tooth and nail to stop. They say the cost of generated electricity is only Rs. 8 per unit. This may be without the addition of their huge o erheads that is responsible for the CEB losses.
    My point is whethe cost per mega watt ( $ 1.4 million) compares well with other type of plants such as coal. Also how it compares with similar plants constructed in India across the Palk Strait. Then only we can praise the efforts of our handlers of these projects.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress