ලංකාවේ හිත හොඳ ගෑණු හා කතෝලික කාදිනල්තුමා- 1 කොටස
Posted on December 8th, 2020

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B.,Ph.D.

බුදුදහම රැකීම රටේ හැමදෙනාගේම වගකීමක්– මැල්කම් රංජිත් කාදිනල්තුමා

පුතේ අන්තිම සිංහලයා ඉන්නකන් උඹලා බඩගින්නේ ඉන්නේ නෑ– කේරළයෙන් ලංකාවට පැමිණි මොහිදීන් බෙග්, මිය යෑමට කලින් පුතාට කියපු දේ

හිත හොඳ ගෑණු සංකල්පය

සිංහල බෞද්‌ධයින්ට, සිංහල බෞද්‌ධයින් යයි පිරිත් නූල් බැඳගෙන ඉන්නා පක්‍ෂ දේශපාලක කළු සුද්දන් විසින් සැළකුවේ හරියට බොහෝ පිරිමි හිතහොඳ ගෑණුන්ට සළකන ආකාරයට නොවේද යන අදහස රටේ ඉස්මතු‌වූයේ, 2012 මැයි මස සිට බොදු බල සේනාව ගෙනගිය <අරගලය> නිසාය. සිංහල බෞද්‌ධයාට නායකයෙක් නැත යන ඥානසාර හිමියන්ගේ කතාව, දේශපාලකයින්ට කොඩි උස්සාගෙන ගොස් අපිට ඉතුරුවුනේ කොඩි පොලු පමණයි යන ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ කතාවට වඩා බරපතල එකක් විය. ඒ නිසා ඥානසාර හිමියන්ගේ මස් රාත්තලම ඉල්ලන බොහෝ පිරිසක් මතුවිය.

අළුත්ගම (හෝ පසුව දිගන) සිද්‌‌ධිය ගැන කොමිෂමක් පත්කරන්නට <සිංහල> ආණ්ඩු භය, මේ හිත හොඳ ගෑණී කතාව නිසාය. ඊට හේතුව, එවිට, මදුෂ් මාකදුරව මරා හොරකම් වසා ගත්තා මෙන් බොදු බල සේනාවට දොස් පවරා තම කිලිටි අත් සෝදාගන්නට දේශපාලකයින්ට ඉඩක් නොලැබෙන නිසාය. ලංකාවේ මෑත ඉතිහාසය එක පැත්තකින් පන්සලත්, අනිත් පැත්තෙන් පාලක සුද්දන්/කළුසුද්දන් අතරත් ඇතිවූ නොනවතින දේශපාලන ගැටුමක් නොවේද කියා සිතෙන්නේ යහපාලනකාරයින්, මංගල සමරවීර, රංජන් රාමනායක වැනි අසාමාන්‍ය (විකෘති) මිනිස් පරාණ හරහා, හාමුදුරුවරුන්ට හා බුද්‌ධ ශාසනයට වටකරගෙන කල පහරදීමට හේතු සොයා යාමේදීය.

සිංහල බෞද්‌ධයින් රවටා චන්දය ලබාගෙන, කොළපාට පක්‍ෂය හා විශේෂයෙන් නිල්පාට පක්‍ෂය, මාරුවෙන් මාරුවට කරගෙන ගිය, මුස්ලිම් හා දමිළ ජනයාට අසාධාරණ ලෙස වාසි ලබා දීමේ කැත ව්‍යාපාරය රටේ විනාශයට මග පාදා ඇති බව දැන් 2020 වනවිට මනාව ඔප්පුවී ඇත. 2003 දෙසැම්බර් මස සෝම හාමුදුරුවන්ගේ අවාසනාවන්ත වියෝවෙන් පසු, 2004 දී ජාතික හෙළ උරුමයක් ආවත්, 2012 මැයි මස බිහිවූ බොදු බල සේනාවට පාලක කළුසුද්දන් කල අපහාස, නිග්‍රහ හා බොරු චෝදනා පත්‍ර, 2019 පාස්කු ප්‍රහාරයෙන් වාෂ්පවී ගියේය. තවදුරටත් තමන් රැවටීමට ඉඩ නොදිය යුතුය යන මනසක් සිංහල බෞද්‌ධයා තුල පලපැදියන් විය.

ගෝඨාභය-සරත් වීරසේකර

මේනිසා, දේශපාලක කපටියෙක් නොවන, නිලධාරී නායකයෙක්, 1921-24 කාලයෙන් පසුව ප්‍රථම වරට ලංකාවට ලබාගන්නට හාමුදුරුවරුන් විසින් මූලිකව ගත් උත්සාහය සාර්‌ථවූයේ 2019 දී ගෝඨාභය ජනාධිපතිවීමත් සමඟය. 2020 පාර්ලිමේන්තු චන්දයෙන් එය 99% ක්ම තහවුරු විය (හරියටම තුනෙන් දෙකක් නොලැබීම). ලංකාවේ සිංහල බෞද්‌ධයින් රැවටීමේ සෙල්ලම තවදුරටත් සිදුනොවේයයි සිතෙන්නේ ජනාධිපති විසින් පවත්‌වන මාසික හාමුදුරුවරුන්ගේ උපදේශක සභාව නිසා නොව, නොබෝදා, මහජන ආරක්‍ෂක ඇමති ලෙස රෙයාර් අද්මිරාල් සරත් වීරසේකර මහතාව පත්කිරීම නිසාය. නවගුණවැල ගණිමින්, මෛත්‍රී භාවනාව කරමින් සිටිය හැකිනම් අගනේය. එහෙත්, ශාරියා, ඊළම්, ක්‍රිස්තියානි මූලධ‌ර්‌ම වාදය, ලෝක වෙළද සංවිධානය, ජිනීවා මානව හිමිකම් නාඩගම, ලිබරල් අන්තවාදය, නීතියේ බොරු ආධිපත්‍යය, ඇමෙරිකන් මිලේනියම් මර උඟුල, ඉන්‌දියාවට-චීනයට රට විකිණීම යන මේ ආක්‍රමණ ඉදිරියේ, මියන්මාරයේ විරතු හිමියන් කී ආකාරයේ මිලිටන්ට් බුඩිසම් (ගාන්‌ධි හා මාටින් ලූතර් කිං අනුගමනය කල) මග මිස ලංකාවේ බෞද්‌ධයින්ට වෙන මඟක් නැත. නියංකාලයේ වතුර සොයා යද්දී, මැහැලියකගේ ලිබ්බොක්කේ අතරමංවූ බෝධිසත්‌ව නාගයා, තමා ගැරඬියෙක් නොවන බව ඔප්පුකලා සේය.

අමීර් අලි-දයාන් ජයතිලක

මෙවැනි පසුබිමකදී කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියේ දෙසැම්බර් 6 දා පලවූ ලිපිදෙකක් දැක මට ඇතිවූයේ සතුටකි. මෙවැනි ලිපි අපට කියවීමට ලබාදීම ගැන, නිතරම සිංහල බෞද්‌ධ විරෝධී ලිපි පලකරණ, එහෙත් සිංහල බෞද්‌ධයින්ගේ ලිපි පල නොකරණ, කලම්බු ටෙලිග්‍රාෆ් අයිතිකරු ලන්ඩනයේ වසන උවිඳු කුරුකුලසූරියට අප ස්තුති කලයුතුය ඉස්ලාම් ජනව‌ර්‌ගයට සිදුවන වෙනස්කම් ගැන ලියන, එහෙත් ශාරියා-ඉස්ලාම්කරණය නොපෙනෙන, ඕස්ට්‍රේලියාවේ ජීවත්‌වන අමීර් අලි නම් ප්‍රොපෙසර් එක අයෙකි. මාක්ස්වාදී, ක්‍රිස්තියානී, හා මේ වන විට සජිත් ප්‍රේමදාසගේ නිල නොලත් කතා ලියා දෙන්නා වී සිටින, 13-ඒ ප්ලස් පියාවන, දයාන් ජයතිලක අනිත් පරාණයය. මීටම සම්බන්‌ධ, මාක්ස්වාදී, ක්‍රිස්තියානි පෙඩරල් හා ද්‍රවිඩ, කුමාර් ඩේවිඩ් ලා වැනි අයට හිත හොඳ ගෑණී සංකල්පය හෝ ගංගොඩවිල සෝම හිමියන්, හෝ ඔවුන් හා තානාපති මිෂෙල් එකට එකතුව දුන් යහපාලන දිරච්ච ලණුව ගිල පසුව පශ්චාත්තාපවූ මාදුළුවාවේ හිමියන්ගේ දුක හෝ තේරෙන්නේ නැතුවා නොවේ. එහෙත් ඔවුන් කඳුළු සලන්නේ සරත් වීරසේකර වැනි ඇමති කෙනෙක් බිහිවූ ආකාරය ගැනය.

කාදිනල්තුමා හිත හොඳ ගෑණියෙක් නොවීම

සමඟියක් නැති හාමුදුරුවරුන්, මහානායක හිමිවරුන් මෙන්, කාදිනල්තුමාවද රැවටීමට දේශපාලකයින්ට ඉඩක් නොමැති බව පාස්කු ප්‍රහාරයේ විමර්‌ශනය යන දිසාව ගැන එතුමා කල ප්‍රකාශයෙන් එලිවිය. ශාරියා නීතියට ලංකාවේ ඉඩක් නැත යන එතුමාගේ මතයෙන් කලබල චී සිටින අයෙක් නම් ඕස්ට්‍රේලියාවේ සිට කෙඳිරිගාන අමීර් අලිය. අනිත් අතට රට කැබලි කිරීමේ ව්‍යාපාරයට කැපවී සිටින, 13-ඒ ප්ලස් පියාවන දයාන් ජයතිලක, රට දැන් දැඩි සත්කාර ඒකකයේ සිටිනා බවත්, 2024 දී සජිත් ජනාධිපති කිරීම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමේ අවස්ථාව බවත් ලියමින් සිටී. අලිගේ ලිපිය පැස්බරා වැල්ලේ හිස සඟවා ගත වැනි පාපෝච්චාරණයකි. දයාන්ගේ දිග හෑල්ල, සිංහල දේශපාලකයින්, සිංහල බෞද්‌ධයින්ට (හා දැන් සිංහල කතෝලිකයින්ට) හිත හොඳ ගෑණුන් සේ සැළකූ කාසියේ අනිත් පැත්ත එලි කරන්නේය.

මේ දෙන්නාගේ කතා සිංහල පාඨකයින්ට ඉදිරිපත් කරන්නේ, ඒ මඟින් <එක රටක්-එක නීතීයක්> යන වචන හැකි ඉක්මණින්ම ක්‍රියාවට නොනැගීමේ භයානකකම පෙනී යන නිසාය. මේ දෙන්නාගෙන් විමසිය යුත්තේ, ඔවුන්, 2019 අගෝස්තු මලික් ජයතිලක වාර්‌තාව හා/හෝ 2002 චන්ද්‍රිකාගේ බුද්‌ධ ශාසන කොමිෂමේ නිර්දේශ කියවා තිබෙනවාද යන්නය. අනිත් අතට මාසිකව ජනාධිපති හමුවන හාමුදුරුවරු යහපාලනකාරයින්ම ගෙනා මලික් නිර්දේශ ක්‍රියාත්මක කරණ ලෙස ගෝඨාභය-සරත් වීරසේකර දෙන්නාට උපදෙස් දිය යුතුය.

සරත් වීරසේකර උණ
සරත් වීරසේකර උණ තදින්ම සැදී ඇත්තේ දයාන්ටය. 2006 බෝම්බ ප්‍රහාරයේ සිටම ගෝඨාභය ඉවත්කිරීමේ ව්‍යාපාරයක් තිබුණත්, ඒ සඳහා ගැසූ උපක්‍රමයක්ම අසාර්‌ථකවුවත්, දයාන්ගේ ඉලක්කය 2024 චන්දයය. මේ සඳහා ඔහු කරන්නේ <ප්‍රජා-(නාස්ලණු)තන්ත්‍රවාදය රැකගැනීමේ සටනකි. හිට්ලර් කෙනෙක් වෙලා හරි රට බේරාගන්නැයි අනූනායක හාමුදුරුනමක් කල දේශනාවේ වැරදි කොණ අල්ලාගෙන දඟලන කල්ලියේ න්‍යායාචාරියා දයාන්‌ය. හිට්ලර්ගේ පොත් එකතුකරමින් සැබැවින්ම හිට්ලර් කෙනෙක් ලෙස ක්‍රියාකලේ ප්‍රේමදාස නොවේනම්, ඔහුව මැරූවිට මිනිස්සු පාරේ රතින්ඤා පත්තු කරමින්, කිරිබත් උයාවිද? එහෙත්, ඉම්තියාස් බකීර් මාකර් හා දයාන් ප්‍රේමදාසට වඳින්නේ ඔහු <මහජනයාගේ> ජනාධිපති කියාය. මේ නිසා ගෝඨා-සරත් බලවේගයක් සඳහා සිංහල බෞද්‌ධයින් තල්ලු කලේ කවුද යනුවෙන්, පාපෝච්චාරණයකටත් වඩා බ්ලේම් ගේම් එකක් දයාන් විසින්කර ඇත:

(1) දයාන් ජයතිලකගේ සූත්‍ර

<ඩිෆීටින් ද ජී.ආර්. රෙජීම් රික්වයර්ස් <පීපලයිසින්> ද ඔපොසිසන්>

දයාන්ගේ දේශපාලනය ආරම්භවූයේ, වර්‍ධරාජා පෙරුමාල්ගේ ආණ්ඩුවේ ඇමතිවරයෙක්ව සිට, පසුව ඔහුත් සමඟ ඉන්දියාවට පලා යාමෙන්‌ය. කවුදෝ මැදිහත්‌ව (මට නම මතක නැත) ඔහුව ප්‍රේමදාස ලඟට ගෙන ගොස් සමාව ලබාගත් පසු, මේ මර්වින් සිල්වාගේ පැටියා ප්‍රේමදාසගේ දුක්ගන්නා රාල කෙනෙක් විය. කොබ්බෑකඩුව මරණයේදී කනත්තට ගොස්, තිසරණීගේ සාරියෙන් විලිවසා ගන්නට වූයේ ඒ නිසාය. පසු කලෙක මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිව රැවටීමට සමත්‌වූ දයාන් ජිනීවා ගොස් 13-ඒ ප්ල්ස් පොරොන්‌දුවී ඔහුව අමාරුවේ දැම්මේය. අන්තිමේදී තානාපතිකමේ ඉඳන්ම මහින්දගේ ආණ්ඩුවට පටහැනි ලිපි ලිවීම නිසා හදිසියේම ගෙදර ඒමට දයාන්ට සිදුවිය. ඉන්පසු ඔහු මතුවන්නේ මහින්ද සුළගේ පොතේ ගුරෙක් ලෙසය.

පසුව ගෝඨාභයගේ වියත් මඟට හොට දමන්නට ගියත් සෙස්සෝ ඔහුව ඉන් ඉවත් කලේය. සිරිසේන ජනාධිපති ඔහුව රුසියාවට යැව්වේ ඉන් පසුවය. දැන් ඔහුගේ වචන අපට ඇසෙන්නේ සජිත්ගේ කතා හරහාය. කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියට ඔහුත්, කුමාර් ඩේවිඩ්ව්වත් නැතිවම බැරිය. සිය <ප්‍රතිපත්ති> මාරු කිරීම වනාහි දයාන්ට සිය පියාගේ වාසගම අතහැරීම වැනිම සුළු කාරියකි. එහෙත් 13-ඒ ප්ල්ස් (පොලිස්/ඉඩම් බලතල ප්‍රදානය) පියා වශයෙන් හා රටේ සිංහල බෞද්‌ධ පදනම බිඳ දැමීමේ ප්ලෑනේදී චන්ද්‍රිකා-රෝසි මෙන් දයාන් කළු ගලක් වැනිය. පාස්කරලිංගම්ලා, අර්ජුන මහේන්ද්‍රන් ලා හුරතල් කල රනිල්ට, දයාන්ව අරහංවූයේ ඇයිද යන්න, සමහරවිට, රනිල් ලියන පොතේ තිබිය හැකිය.

ලංකාවේ හැරල්ඩ් ලැස්කි සේ ඔහුගේ මාක්ස්වාදී කාලෝ ෆොන්සේකා මාමා විසින් වරක් හැඳින්‌වූ දයාන් සමඟ මට පුද්ගලික තරහක් නැත. ඔහු දක්‍ෂ, හැකියාවක් ඇති පංචස්කන්‌ධයකි. මිලින්ද මොරගොඩව මෙන්, විදේශ සේවාවක් සඳහා නිසි අධීක්‍ෂණය යටතේ ඔහුගෙන් රටට සේවයක් ලබාගත හැකිය. එවිට රට කැබලි කිරීමේ ව්‍යපෘතියෙන් ඔහු ගැලවෙනවා නිසැකය. සර් ජෝන්ගේ බෑණාවූ වික්‍රමභාහුට රනිල් ගේ පක්‍ෂයෙන් චන්දය ඉල්ලන්න පුළුවන් නම් දයාන්ට සිංහල බෞද්‌ධ හතුරා මිතුරෙක් සේ පෙනීයන්නට හොඳටම ඉඩතිබේ.

දෙවන කොටස – දයාන්ගේ නිගමණ 1-10

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress