සියලූම සංවර්ධන නිලධාරීන් ඇතුලූ ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා තීරුබදු රහිත යතුරුපැදි ලබා දීමට පියවර ගන්නා මෙන් ඉල්ලමු.
Posted on December 15th, 2020

ජනමාධ්‍ය නිවේදනයයි. සංවර්ධන නිලධාරී සේවා සංගමය

2020. 12. 15

ගරු අග්‍රාමාත්‍ය, මුදල් අමාත්‍ය
මහින්ද රාජපක්ෂ මැතිතුමා
මුදල් අමාත්‍යාංශය,
කොළඹ 01.

ගරු අග්‍රාමාත්‍ය තුමනි,

සියලූම සංවර්ධන නිලධාරීන් ඇතුලූ ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා තීරුබදු රහිත යතුරුපැදි ලබා දීමට පියවර ගන්නා මෙන් ඉල්ලමු.

ක්ෂේත්‍ර නිලධාරීන් සම්බන්ධයෙන් යතුරුපැදි ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා යම් ප්‍රමාණයක තොරතුරු රැස් කිරීමක් සිදු වෙමින් පවතින අතර ඒ සඳහා අනුගමනය කිරීමට සූදානම් වන ක්‍රමවේදය පිළිබඳ පවතින ගැටලූ සම්බන්ධව අවධානය යොමු කරමු.

2013. 07. 02 දින එවකට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ඇතුලූ අමාතා්‍යාංශ බලධාරීන් හා වෘත්තීය සමිති නියෝජිතයින් අතර පැවති සාකච්ඡාවකදී රැකියාලාභී උපාධිධාරී සංගමය ලෙස එම සාකච්ඡාවේදී අප කල ඉල්ලීමකට අනුව සියලූම සංවර්ධන නිලධාරීන් ඇතුලූ ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා තීරුබදු රහිත යතුරුපැදි ලබා දුනි.

එවකට එම ඉල්ලීම ක්‍රියාත්මක කරමින් ක්ෂේත්‍ර නිලධාරීන් වෙනුවෙන් ලබා දුන් සහනය පිලිබඳව කෘතඥ වන අතර එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී සංවර්ධන නිලධාරීන් පිරිසකට එම අවස්ථාව අහිමි වූ බවද සඳහන් කරමු.

2015 පසු ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා තීරුබදු රහිත යතුරුපැදි ලබා දීමේ වැඩපිලිවෙල මහා භාණ්ඩාගාරය විසින් අත්හිටුවන ලදී. එම අවස්ථාවේ සිට අහිමි කල එම සහනය අඛන්ඩව ක්‍රියාත්මක කරන ලෙස අප සංගමය ඉල්ලා සිටියදී රජයට එවැනි වැය බරක් දැරීමට නොහැකි බව සඳහන් කරමින් මහා භාණ්ඩාගාර ලේකම්වරයා අප සංගමයට ලිඛිතව දැනුම්දීමක්ද සිදු කරන ලදී සියලූ ක්ෂේත්‍ර නිලධාරීන් නියෝජනය කරමින් අප සංගමයද වසර කිහිපයක් පුරා ඉල්ලීම් කරමින් පැවති තීරුබදු රහිත යතුරුපැදි ලබා දීමේ වැඩපිලිවෙල සංවර්ධන නිලධාරීන්ට හා සියලූ ක්ෂේත‍්‍ර නිලධාරීන්ට අසාධාරණයක් නොවන පරිදි ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා මෙන්ද විශේෂ අවධානය යොමුකල යුතු ඉල්ලීම් ඇතුලත් කරුණු කිහිපයක්ද පහතින් සඳහන් කරමු.

2. යතුරුපැදි ලබා දීම සඳහා සුදුසුකම් ලබන නිලධාරීන් තෝරා ගැනීමේදී 2014/01/31 දින සිට වසර 05 ක සේවා කාලයක් සපුරා ඇති තනතුර ස්ථිර නිලධාරීන්ගෙන් පමණක් තොරතුරු ලබා ගැනීමක් සිදු කරමින් පවතින අතර එම සීමාකිරීම් මගින් සංවර්ධන නිලධාරීන් විශාල පිරිසකට අසාධාරණයක් සිදු වීම.

3. 2014/01/31 දිනෙන් පසුව 2016 වර්ෂයේ සංවර්ධන නිලධාරීන් 2600 ක පමණ ප්‍රමාණයක් බඳවා ගත් අතර ආසන්න වශයෙන් එම පිරිසට මෙම අවස්ථාව අහිමි වන අතර 2018/08/20 බඳවාගෙන 2020/01/01 දින ස්ථිර කල සංවර්ධන නිලධාරීන්, 2019/08/01 සහ 2019/09/16 දින බඳවාගෙන වසරක අභ්‍යාසලාභී පුහුණු කාලය අවසන් නමුත් මෙතෙක් ස්ථිර නොකල සංවර්ධන නිලධාරීහු පිරිසක් වෙති. 2014/01/31 සිට 2020/01/01 දක්වා වන එම ප්‍රමාණය 19,500 කට ආසන්න වේ.

4. අප සේවාවට අදාලව ඇතැම් සංවර්ධන නිලධාරීන් ඇතුලූ ක්ෂේත්‍ර නිලධාරීන්ට වසර 05 ක සේවා කාලයක් පැවතියද නියමිත කාල සීමාව තුළ කාර්යක්ෂමතා කඩයිම් විභාගය (EB EXAM) නොපැවැත්වීම හේතුවෙන් තනතුර ස්ථිර නොවූ නිලධාරීන්ට අසාධාරණයක් සිදු වීම.

5. දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මෙන්ම සියලූ අමාත්‍යංශ, දෙපාර්තමේන්තු හා ඊට අයත් ආයතනවල සේවයේ නියුතු හා පලාත් රාජ්‍ය සේවයේ සියලූම ක්ෂේත්‍ර නිලධාරීන් ආවරණය වන පරිදි අවස්ථාව ලබා දීම.

6. 2020 රැකියාගත කරන අභ්‍යාසලාභී උපාධිධාරීන්ටද වසරක අභ්‍යාසලාභී පුහුණු කාලය අවසන් වීමෙන් අනතුරුව අදාල හිමිකම ලබා ගැනීමේ අයිතිය පිරිනැමීම.

7. 2014 වර්ෂයේ ලබා දුන් යතුරුපැදි සඳහා වසර 6 ක කාලයක් ඉක්ම ගොස් ඇති අතර ඊට අදාල මුදල් අය කර ගැනීමද අවසන්ව ඇති බැවින් වසර 5 න් පසු ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා යලි තීරු බදු රහිත යතුරුපැදියක් ඉල්ලූම් කිරීමේ හිමිකම හිමිවන පරිදි මුදල් අමාත්‍යාංශ චක්‍රලේඛයක් මගින් එය තහවුරු කිරීම.

සමස්ථ රාජ්‍ය ක්‍රියාවලිය මෙන්ම ආමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලබන ප්‍රතිපත්තිමය කරුණු ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම සඳහා රාජ්‍ය, පලාත් රාජ්‍ය සේවා ක්ෂේත්‍ර නිලධාරීන් සුවිශේෂී කාර්ය භාරයක් ඉටු කරනු ලබයි. රජයේ මාණ්ඩලික හා විධායක ශ්‍රේණි සඳහා තීරුබදු රහිත මෝටර් රථ මිලදී ගැනීමේ හිමිකමක් පවතින අතර ද්විතීක මට්ටමේ රාජ්‍ය, පලාත් රාජ්‍ය ක්ෂේත‍්‍ර නිලධාරීන් සඳහා දැනට එක් වරක් පමණක් තීරුබදු රහිත යතුරුපැදියක් මිලදී ගැනීමේ හැකියාව ලැබී ඇත. දැනට එක් වරක් පමණක් ලබා දී ඇති තීරුබදු රහිත යතුරුපැදි හිමිකම අදාල සේවා කාලය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ඉල්ලූම් කිරීමේ හැකියාව නිල වශයෙන් තහවුරු කිරීම වඩාත් සුදුසු බව යෝජනා කරමු.

ඉහත සඳහන් ඉල්ලීම් ඇතුලූ යෝජනා සලකා බලා සංවර්ධන නිලධාරීන් ඇතුලූ සියලූම ක්ෂේත්‍ර නිලධාරීන්ට අසාධාරණයක් නොවන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන මෙන් අප සංගමය ඉල්ලා සිටිමු.

ස්තූතියි.

මෙයට,
චන්දන සූරියආරච්චි
ප්‍රධාන ලේකම්,
සංවර්ධන නිලධාරී සේවා සංගමය.

පිටපත්:
1. ගරු ජනාධිපති තුමා
2. ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ මැතිතුමා
3. ලේකම් – මුදල් අමාත්‍යාංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress