ශෝක පණිවිඩය
Posted on March 4th, 2021

මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය

හාතාගල රජමහා විහාරය ඇතුලු විහාරගණයන්හි අධිපති, ශ්‍රී සුමංගල විද්‍යායතන පිරිවෙනේ කෘත්‍යාධිකාරි නිල්වලා ආනන්ද විද්‍යාලයේ කළමනාකාර, රුහුණු මාගම්පත්තුව ඇතුලු ගිරුවාගම් දොළොස්දහස් රට ප්‍රධාන සංඝනායක, ගෞරවාර්හ පල්ලේගම ශ්‍රී ජිනරතන නායක ස්වාමීන්වහන්සේ, අපවත් වු පුවත ඇසීමෙන්, මම බලවත් සංවේගයට පත්විමි.

වසර 67 ක තම ජීවන ගමන්මග තුළ වසර 54 ක් සම්බුදු සසුනේ උතුම් භික්ෂුවක ලෙස ගතකළ ජීවිතය අනුස්මරණය කිරීමට කැමැත්තෙමි.

හක්මන ලාල්පේ ශ්‍රී ගුණානන්ද පිරිවෙනින් භික්ෂුවකට අවශ්‍ය ත්‍රිපිටක ධර්මය හා විවිධ භාෂාවන් උගත් අතර, පසුව උන්වහන්සේ තම ප්‍රදේශවාසීන්ගේ ජනජීවිතය නඟා සිටුවීම සඳහා අපමණ සේවාවක් සිදුකළහ.

ශ්‍රී සුමංගල විද්‍යායතන පිරිවෙන ආරම්භ කිරීමේ දී මහත් කැපවීමෙන් කටයුතු කළ අතර, එය අද ප්‍රදේශයේ ගිහි පැවිදි ශිෂ්‍ය පිරිසට අධ්‍යාපනය ලබාදෙන ප්‍රමුඛ ආයතනයක් බවට පත්ව තිබීම සතුටට කරුණකි.

නිල්වලා ආනන්ද විද්‍යාලය රජයේ ආධාර ලබන පාසලක් බවට පත්කළ අතර, ඒ තුළින් සමාජයට විශාල  ශිෂ්‍ය ප්‍රජාවක් බිහිකිරීමට හැකිවිය.

ප්‍රදේශයේ ජනතාව අතර, පවතින ප්‍රධාන ගැටලු අතර කෘෂිකර්මය සඳහා අවශ්‍ය වැව් අමුණු රජය සමග ඒකාබද්ධව සංවර්ධනය කිරීම, ජල විදුලිය නොමැති දිළිඳු ජනතාවට හා ගම් සඳහා අවශ්‍ය එම පහසුකම් ලබාදීම, මංමාවත් පිළිසකර කොට සංවර්ධනය කිරීම වැනි කාර්යයන් සඳහා ප්‍රමුඛවූයේ උන්වහන්සේය.

ප්‍රදේශයේ මහසඟරුවනට අවශ්‍ය නායකත්වය ලබාදුන් අතර, ඒ සැමගේ ගෞරවාදරයට උන්වහන්සේ නිරන්තරයෙන් පාත්‍රවූහ.

සමාජයට අවශ්‍ය ගිහි පැවිදි විශාල ශිෂ්‍ය පිරිසක් තම ආයතන හරහා   බිහිකළ   අතර, තම   ජ්‍යෙෂ්ඨ   ශිෂ්‍ය බස්නාහිර පළාත් පිරිවෙන් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ශාස්ත්‍රපති ගෞරවාර්හ පල්ලේගම වංගීස     ස්වාමීන් වහන්සේ ඉන් ප්‍රධාන වේ.

විශේෂයෙන් මාගේ දේශපාලන ගමන්මග තුළ කළ්‍යාණ මිත්‍රයෙකු වශයෙන් කටයුතු කළ උන්වහන්සේ මාවෙත ලබාදුන් අවවාද අනුශාසනා බොහෝ ය. ශ්‍රී රෝහණ ජනරංජන ගෞරව නාමය ලබාදීමේ දී නායක ස්වාමීන්වහන්සේ  පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ අතර, මා වෙත දක්වන ලද විවිධ සහය හා උපකාර මෙම සංවේග ජනක අවස්ථාවේ දී, කෘතවේදීව සිහිපත් කිරීමට කැමැත්තෙමි.

නායක ස්වාමීන් වහන්සේගේ අපවත්වීම  දකුණු පළාතට පමණක් නොව මුලු රටටම සිදුවු බලවත් පාඩුවකි.

පුරා වසර 67 ක් ආයුවළදා අපවත් වී වදාළ ගෞරවාර්හ පල්ලේගම ශ්‍රී ජිනරතන නායක ස්වාමීන්වහන්සේට උතුම් නිවන්සුව අත්වේවා’ යි ප්‍රාර්ථනා කරන අතර, උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය ගෞරවාර්හ පල්ලේගම වංගීස ස්වාමීන් වහන්සේ ඇතුලු ශිෂ්‍ය හා සහෝදර පිරිසටත්,විහාරස්ථ දායක සභාවටත්, ප්‍රදේශවාසි සැමටත්, සියලු ඥාතීන් ඇතුලු පවුලේ සැමටත් මාගේ බලවත් සංවේගය පිරිනමමි.

මහින්ද රාජපක්ෂ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ

අග්‍රාමාත්‍ය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress