සමෘද්ධිලාභින් ව්‍යවසායකයින් ලෙස නගා සිටුවන්න – ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා
Posted on March 15th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

සමෘද්ධිලාභින් ණය සහ ආධාර මත පමණක් ජීවත්වන පිරිසක් බවට පත්නොකර ව්‍යවසායකයින් ලෙස ස්වයංව නැගීසිටිමේ හැකියාව ඇති පිරිසක් බවට පත්කිරීමේ ක්‍රමවේදයක් අවශ්‍ය බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද  2021.03.15 දින පෙරවරුවේ දී පැවසීය.

සමෘද්ධි,ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මුල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සංවර්ධන වැඩසටහන් පිළිබඳව මුදල් අමාත්‍යංශයේ  රන්දොර  ශ්‍රවණාගාරයේ පැවති විශේෂ සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව පෙන්වා දුන්නේය.

රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මෙම විශේෂ හමුවේ අරමුණ සහ ඉදිරි සංවර්ධන වැඩසටහන් පිළිබඳව පැහැදිලි කළේය.

සමෘද්ධි සහනාධාර ලබන එහෙත් මේ වන විට සහනාධාර අවශ්‍ය නොවන පිරිස් ඉවත් කිරීම සඳහා මෙතෙක් ක්‍රමවත් වැඩපිළිවෙලක් නොමැති බැවින් එවැනි සමෘද්ධිලාභින්  සිය කැමැත්තෙන් ඉවත්ව යෑමේ දී 4%ක සහන පොලී අනුපාතය යටතේ රුපියල් ලක්ෂ 5ක ණයක් ලබා දීම ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට මෙහිදී තීරණය විය.

දිවයින පුරා පවුල් 1762655 සමෘද්ධි සහනාධාරය ලබන අතර ඒ වෙනුවෙන් රජය වාර්ෂිකව රුපියල් මිලියන 53000ක් වැය කරයි. මෙයට අමතරව සමෘද්ධි කාන්තා ව්‍යවසායකයින් 25000 ක් සවිබල ගැන්වීමේ වැඩසටහන ග්‍රාම සේවා වසම් 14000 තුළ ක්‍රියාත්මක වේ.

නිෂ්පාදන ගම්මාන 500 ක් වසර අවසන් වන විට රට පුරා ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන යටතේ ගම්මාන 50 ක කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.

අබාධිත පිරිස් හඳුනාගනිමින් ඔවුන් ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම හා තැලිසීමියා රෝගයෙන් පෙලෙන ජනතාවට යම් සහනයක් ලබා දෙන්නැයි අග්‍රාමාත්‍යතුමා මෙහිදී අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජනාධිපති කාර්යය සාධක බලකාය මගින් සියලු අමාත්‍යංශ හා ඒකාබද්ධව සමෘද්ධිලාභින් සහ පොරොත්තු ලේඛන වල සිටින අඩු ආදායම්ලාභින් සවිබල ගැන්වීමට අවශ්‍ය කටයුතු විධිමත් කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

සමෘද්ධි,ගෘහ ආර්ථික,ක්ෂුද්‍ර මුල‍්‍ය , ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, භාණ්ඩාගාර ලේකම් එස්.ආර් ආටිගල, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්  නීල් බණ්ඩාර හපුහින්න, අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ අධ්‍යක්ෂ කසුන් මාදුවගේ, සම්බන්ධීකරණ ලේකම් දුමීර ධර්මවර්ධන මහත්වරු හා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේනතුවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ආර්.පී.බී තිලකසිරි මහතා ඇතුළු  නිලධාරීන්  පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress