අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සිසු දරු යාත්‍රා දියත්වෙයි
Posted on March 18th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

කලුතර දිස්ත්‍රික්කයේ 2021 වසරේ පළමු වසරට ඇතුළත් වූ දරුවන් සඳහා පාසල් උපකරණ කට්ටල බෙදා දීමේ  සිසු දරු යාත්‍රා ව්‍යාපෘතිය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ  ප්‍රධානත්වයෙන් අද 2021.03.18 දින අරලියගහ මන්දිරයේ දී ආරම්භ විය.

මව්බිමේ අනාගත සිසු දරු දැරියන්ගේ නැණ පහන් අවදි කිරීමේ අරමුණ පෙරදැරි කරගනිමින් වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ සමාජ සත්කාරයක් ලෙස සිසු දරු යාත්‍රා වැඩසටහන ක්‍රියාවට නැංවෙයි.

පළමු අදියර යටතේ ළමුන් 106 දෙනෙකුටත් සමස්ත ව්‍යාපෘතිය යටතේ කලුතර දිස්ත්‍රික්කයේ පාසල්  දරුවන් 20,000කටත් මෙම පාසල් උපකරණ කට්ටල ප්‍රදානය කිරීමට නියමිතය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැමිණ සිටි පිරිස අමතා මෙසේ පැවසීය.

මම ඉතාම සන්තෝෂ වෙනවා කුඩා දරුවන් දිරිමත් කරන මෙම උත්සවයට සම්බන්ධ වෙන්න ලැබීම ගැන, අපි දරුවන් වෙනුවෙන් කැපවුණු ආණ්ඩුවක් අපි රටේ අනාගතයට හොඳ දරුවන් නිර්මාණය කළ යුතුයි, අධ්‍යාපනය වගේම ගුණධර්ම ලබා දීම ගැනත් අවධානය යොමු කළ යුතුයි.

එසේ නොවුනොත් අපේ දරුවන් සමාජයේ මොන තත්ත්වයකට පත්වෙනවද කියන්න බැහැ. දරුවන් ගැන අවබෝධයෙන් කටයුතු කරන්න අවශ්‍යයි. පැය විසි හතරම පොතපතේ සිටින එක නෙවෙයි දරුවන්ට සෙල්ලම් කරන්න නිදහස විඳින්නත් අවස්ථාවක් දෙන්න.

සෑම අංශයකින්ම දරුවන් ශක්තිමත් කරන්න. විශේෂයෙන් ක්‍රීඩාවකට දරුවන් හුරු කළ යුතුයි.

ක්‍රීඩාවෙන් ජය පරාජය විඳ දරාගැනීමට දරුවන් හුරු වෙනවා.එසේ නොවුනොත් සමාජයට ආවම ජය පරාජය දරාගන්න බැරුව විනාශවෙලා යනවා.

දරුවන් වෙනුවෙන් රෝහිත ඇමතිතුමා ආරම්භ කළ මේ වැඩපිළිවෙල දිවයින පුරා අනෙකුත් දිස්ත්‍රික්වලත්  ක්‍රියාත්මක කරනවා නම් වටිනවා යැයි අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කළේය.

අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා

දරුවන් 20,000ක් මේ වසරෙදි කලුතර දිස්ත්‍රික්කයෙන් පළමු වසරට ඇතුළත් වෙනවා.

දේශපාලනඥයින් විදිහට වාසි තැන් වලින් එහාට ගිහිල්ලා ජාති ආගම් බේදයකින් තොරව අපි මේ ව්‍යාපෘතිය සිදු කරනවා.

මේ රටේ බිහිවුණු නායකයින්ගෙන් දරුවන්ට හොඳම දේ දුන්න නායකයා තමයි අගමැතිතුමා.

නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ, රෝහිත රාජපක්ෂ යන දරුවන් තුන්දෙනාම අගමැතිතුමාට අපි දන්න කාලේ ඉඳලා කථා කළේ තාත්තේ කියලා. නමුත් මේ රටේ දරුවෝ ඔබතුමාට කථා කළේ අප්පච්චී කියලා.

2015 මහින්ද මහත්තයා පරාජය වෙලා යනකොට දරුවන් වෙනුවෙන් මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර 1000ක් හදලා ගියේ. නමුත් පසුව පැමිණි ආණ්ඩුව මුලින්ම කළේ මහින්දෝදය නම ගලවලා දමපු එක. පසුව ඒ විද්‍යාගාරවලට අවශ්‍ය උපකරණ ලබා නොදී වහලා දැම්මා.

අපේ රජය ආවම අපිට අගමැතිතුමාත් ජනාධිපතිතුමාත් උපදෙස් දුන්නේ කවුරු වැඩ පටන් ගත්තත් දරුවන් වෙනුවෙන් ආරම්භ කළ සියලු ඉදිකිරිම් කඩිනමින් අවසන් කරන්න කියලා.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා

අපේ රජය අධ්‍යාපන ක්ෂේත්‍රයේ හිතාගන්න බැරි ජයග්‍රහණ ලබා ගත්තා.  කොවිඩ් වසංගතය ලෝකයම වෙලාගෙන අපිට වඩා ධනවත් රටවල් පවා පාසල් වහලා තිබුනේ. නමුත් හරි කළමනාකරණය සහ සැලසුම් නිසා අපිට හැකිවුණා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව ඉදිරියට කරගෙන යන්න.

රජය ඒ සම්බන්ධව ඒ සමාර්ථ ත්‍රිත්වය ලබාගෙන තියනවා කියන එක අතිෂෝක්තියකින් තොරව කියන්න පුලුවන්.

සතියකට කලින් සාමාන්‍ය පෙළ විභාගය අවසන් කළා. දරුවන් හයලක්ෂ විසිදෙදහසක් විභාග මධ්‍යස්ථානය 5413කදි විභාගයට පෙනී සිටියා.

විභාගය ආරම්භ වෙනකොට කොවිඩ් වැලඳුණු දරුවන් 38ක් හිටියා.

නිරෝධායනය වන දරුවන් 322ක් හිටියා.විශේෂ විභාග මධ්‍යස්ථාන 40ක් අපි සංවිධානය කළා.

විභාගය අවසන් වන විට කොවිඩ් ආසාධිතයින් හිටියේ 62ක් පමණයි.

ජුනි මාසේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එනවා. ජූලි මාසේ උසස් පෙළ ආරම්භ කරනවා. උසස් පෙළ විභාගය තියන්න එපා කියලා බොහෝ දෙනෙක් කිව්වා. නමුත් තුන්ලක්ෂ හැටදෙදහසක් උසස් පෙළ විභාගයට පෙනී සිටියා. අප්‍රේල් ප්‍රතිඵල නිකුත් වෙනවා. 2021සැප්තැම්බර් ඒ දරුවන්ට විශ්වවිද්‍යාලයට යන්න පුලුවන්.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන මහාචාර්ය  ජී.එල්.පීරිස්, අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන,  රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව එදිරිමාන්න, මර්ජාන් ෆලිල්, හිටපු ඌව පළාත් අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, ප්‍රාදේශිය සභා සභාපතිවරුන්, ජපාන නියෝජ්‍ය තනාපති කිතමුරා තොෂිනිරෝ, වරාය හා නාවික අමාත්‍යංශයේ ලේකම් යූ.ඩී.සී. ජයලාල්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල සී කේ පෙරේරා, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජනරාල් (විශ්‍රාමික) දයා රත්නායක මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන්, දෙමාපියන් සහ පාසල් දූ දරුවන් රැසක් එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress