බෞද්ධ ජනරජ ප්‍රවාදය – 11 වැනි කොටස – කෝරළ විසඳුම
Posted on March 22nd, 2021

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

සමගිව රැස් වී, සමගිව කටයුතු කර. සමගිව විසිර යෑම සඳහා ජනතාවගේ නියෝජිතයන් හට අවස්ථාවක් සළසාදීම බෞද්ධ ප්‍රජාතන්ත්‍රවාදයෙහි මූලික ම කාර්යයක් වෙයි. එසේ ම, නියෝජිත පාලනය ජනතාවගෙන් ඈත් වූ එකක් විය යුතු ද නොවේ. මෙම අවශ්‍යතාව බිම් මට්ටමේ දී සපුරාගැනීම උදෙසා ගම් සභා සහ නාගරික සභා ක්‍රමය උපයෝගී කරගත හැකි බව අපි හඳුනා ගත්තෙමු. එම ක්‍රමයෙන් නිර්දේශිත බිම් මට්ටමේ නිර්පාක්‍ෂික නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයෙන් ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලිය හැකි බව ද ඔවුන්ගේ මූලික ප්‍රශ්න විසඳිය හැකි බව ද පැහැදිළි ය.

බිම් මට්ටමේ දී සපුරාගත නොහැකි අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් සහ එම මට්ටමේ දී විසඳාගත නොහැකි ගැටලු විසඳා ගැනීම වෙනුවෙන් ද්විතීයික මට්ටමේ පාලන ආයතන ඇති කළ යුතු වෙයි. බිම් මට්ටමේ පාලන ආයතන නියාමනය ද එවැනි ද්විතීයික පාලන ආයතනවලින් සිදු කළ හැකි ය. මෙම අවශ්‍යතා වෙනුවෙන් හඳුන්වා දිය හැකි ප්‍රශස්ත ම ක්‍රමය වනුයේ කෝරළ පාලනය යි. (වර්තමානයේ ක්‍රියාත්මක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ” මෙම ප්‍රවාදය තුළ කෝරළ” ලෙසින් හැඳින්වෙයි).

මෙලෙස ද්විතීයික මට්ටමේ පාලනය සඳහා පිහිටුවනු ලබන ජනතා නියෝජන ආයතනය කෝරළ සභාව” ලෙසින් හැඳින්වෙයි. කෝරළයකට අයත් ගම් සභා විසින් පත් කර එවනු ලබන්නෝ මෙම ද්විතීයික මට්ටමේ පාලන ආයතනය නියෝජනය කරති. සෑම ගම් සභාවක් (සහ නාගරික සභාවක්) විසින් ම කෝරළ සභාව සඳහා නියෝජිතයකු පත් කර එවිය යුතු වේ.

මෙ ලෙසින් පත් කර එවනු ලබන නියෝජිතයන් නිර්පාක්‍ෂික බව අපි දනිමු. කෙසේ වුව ද, බාහුපාක්‍ෂික ක්‍රමයේ සිට නිර්පාක්‍ෂික ක්‍රමයකට සංක්‍රමණය වීම එක් වර ම සිදු කළ යුතු නොවේ. තව ද, ජනතාවට දේශපාලනිකව සංවිධානගත වීම සඳහා පක්‍ෂ ක්‍රමය තුළින් ලැබෙන අවකාශය ද වැදගත් වේ. සීමාන්තික පිළියම්වලට යොමු නොවී මධ්‍යස්ථ විසඳුම් හදුනාගැනීම ද බෞද්ධ පිළිවෙතට අනුකූල වෙයි. එහෙයින් බහුපාක්‍ෂික ක්‍රමය මුළුමනින් ම අත නොහැර නිර්පාක්‍ෂික ක්‍රමය මත පදනම් වූ ජනතා නියෝජන ක්‍රමයක් කෝරළ සභාව සඳහා හඳුන්වා දිය හැකිය.

කෝරළ සභාවක් සඳහා පත් වී එන ගම් සභා (සහ නාගරික සභා) නියෝජිතයන් නිර්පාක්‍ෂික වුව ද එහි ප්‍රධාන විධායක සභිකයා පක්‍ෂ ක්‍රමය අනුව ජනතාවගේ ඡන්දයෙන් තෝරාගත හැකි ය. මෙම තෝරාගැනීම සඳහා වන නිලවරණය ජනරජයේ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පවත්වනු ලබන ජනාධිපතිවරණය සමඟ ම පැවැත්විය හැකි ය. (ජනතාවගේ විධායක බලය ක්‍රියාත්මක කරනු ලබන ජනාධිපතිවරයා පිළිබඳව ඉදිරි ලිපියකින් විස්තර කෙරෙයි). ඒ අනුව නිර්පාක්‍ෂික ක්‍රමය අනුව පත් කර එවනු ලබන සභිකයන්ගෙන් සහ පක්‍ෂ ක්‍රමය අනුව තෝරාගන්නා විධායක සභිකයකුගෙන් කෝරළ සභාව සැකැසෙයි.

කෝරළ සභාවක් විසින් තම පාලනය මෙහෙයවිය යුත්තේ උත්තරීතර අනුශාසක සභාව” විසින් නිර්දේශිත ප්‍රතිපත්ති සහ උපදේශනවලට අනුකූලව ය. තව ද, ජාතික ව්‍යවස්ථාදායක සභාව (මෙම ආයතනය පිළිබඳව ඉදිරියේ දී විස්තර කෙරෙයි) විසින් සම්පාදනය කරනු ලබන නීති, අණ පනත් සහ ව්‍යවස්ථා අනුව තම පාලනය මෙහෙයවීමට ද කෝරළ සභාවක් බැඳී සිටියි.

තම බල ප්‍රදේශය තුළ ශාසනික කටයුතු, කෝරළ පරිපාලනය, ද්විතීයික අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, කෘෂිකර්මය, ප්‍රාදේශීය කර්මාන්ත, ප්‍රාදේශීය වෙළෙඳාම, ප්‍රාදේශීය මහාමාර්ග, ප්‍රවාහනය, ක්‍රීඩා, ප්‍රාදේශීය අපදා කළමනාකරණය, පුනරුත්ථාපන කටයුතු සහ අනෙකුත් ප්‍රාදේශීය අවශ්‍යතා සපුරා ගැනීම සහ ඒ ආශ්‍රිත පාලනය මෙහෙයවීම කෝරළ සභාවේ වගකීම වෙයි. මේ අනුව ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීම සහ ප්‍රාථමික ගැටලු විසඳා ගැනීම ගම් සභා (සහ නාගරික සභා) මට්ටමේ දී ද, ද්විතීයික අවශ්‍යතා සපුරා ගැනීම සහ ගැටලු විසඳා ගැනීම් කෝරළ සභා මට්ටමේ දී ද සිදුවෙයි.

සෑම කෝරළයක ම පරිපාලන නගරයක් පැවැතිය යුතු අතර ජනතා අවශ්‍යතා සපුරාලන කෝරළ මට්ටමේ සියලු ආයතන එහි ස්ථාපිත කළ යුතු වේ. ප්‍රවාහන පහසුකම් සහ අනෙකුත් අවශ්‍යතා සළකා මෙ ලෙස එක් නගරයක දී අදාළ සියලු කටයුතු මෙහෙයවන විට එය ජනතාවගේ පහසුවට හේතුවක් වෙයි. එ මෙන් ම, මෙම කාර්යයන් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපැයීමට ද සම්පත් නාස්තිය වළක්වා ගැනීමට ද එය උපකාරී වෙයි.

ද්විතීයික මහජන අවශ්‍යතා සපුරාදීම සහ අදාළ ගැටලු විසඳාදීම කෝරළ සභාවේ සහ එම මට්ටමෙන් පිහිටුවනු ලබන සියලු රාජ්‍ය ආයතනවල වගකීම වෙයි. එම මට්ටමේ දී සපුරාලිය නොහැකි අවශ්‍යා සහ එම මට්ටමේ දී විසඳිය නොහැකි ගැටලු සඳහා පමණක් එයින් ඉහළ මට්ටම්වල ආයතන ස්ථාපනය කළ යුතු වෙයි. නිසි පරිදි ද්විතීයික අවශ්‍යතාවක් ඉටු නොවීම නිසා ජනතාව ඉහළ මට්ටමේ ආයතනවලට යන්නේ නම් ඒ සඳහා වගවීමේ ක්‍රියාදාමයක් ද කෝරළ මට්ටමට හඳුන්වා දිය යුතු වෙයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress