ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමකදී රාජ්‍ය ඇමති දුමින්දත් පොලීසියට දුන් උපදෙස..
Posted on April 2nd, 2021

තිසර සමල් – අනුරාධපුර 

පොලීසිය ඉන්නේ දඩ ගහන්න නෙමෙයි,පොලීසිය ඉන්න ඕන සමාජය යහපත් කරන වැඩේ කරන්න.ඒ නිසා අපි වෙනදටත් වඩා මහජනතාවත් සමඟ සම්බන්ධ වෙලා කරන වැඩ කළ යුතුයි.ඒකෙන් මම කියන්නේ නෑ හොරු අල්ලන්න එපා, කුඩු අල්ලන්න එපා,කසිප්පු අල්ලන්න එපා කියන එක නෙමෙයි,ඒ ටිකට දඩ ගහනවාට අමතරව,ඔවුන් යහපත් මාර්ගයට ගන්න වැඩේ තමයි අපි කරන්න ඕනකම තියෙන්නේ යැයි රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය. සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන සංවර්ධන රාජ්‍ය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ සභාපතීත්වයෙන් මෙම කමිටු රැස්වීම තිරප්පනය ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍යය අමාත්‍යයතුමන්,

අපි ආණ්ඩුවක් විදිහට තීන්දුවක් අරගෙන තියෙනවා, වෙනදා අපි එක පුද්ගලයෙක් වෙනුවෙන් විදුලිය ලබා දෙන්න වැය කලේ උපරිමය ලක්ෂ තුන හමාරයි,ලක්ෂ තුන හමාරකට වඩා වියදමක් යනවා නම් වැඩිපුර යන වියදම පාරිභෝගිකයා විසින් දැරිය යුතුයි.හැබැයි අපි ප්‍රථිපත්තිමය තීන්දුවක් ගත්තා සැමට විදුලිය ව්‍යාපෘතිය යටතේ 2021 වර්ෂය සියලු දෙනාටම 100% ක් විදුලිය ලබා දී අවසන් කරන වසර විදිහට.ඒ අනුව අපේ ප්‍රථිපත්තිය වෙලා තියෙන්නේ මුදල පදනම්ව නෙමෙයි,සෑම නිවසක්ම, විදුලිය අවශ්‍යතාව තියෙන සෑම කෙනෙකුගේම නිවස හෝ සේවා ස්ථානය හෝ අදාළ ස්ථානයේ ඉදිරිපිට තියෙන විදුලි කණුවේ විදුලිය තියෙන්න ඕන,මේක තමයි අපේ ප්‍රථිපත්තිය දැන්. විදුලිය ගන්නවාද නැද්ද කියන එක එයායේ වැඩක්,ඒ නිසා අපි ලක්ෂ 3 ½ ක් යනවාද, ලක්ෂ 05 ක් යනවාද, ලක්ෂ 10 ක් යනවාද, ට්‍රාන්ස්ෆෝමර් දාන්න වෙනවාද කියලා නෙමෙයි අපි බලන්නේ, විදුලිය කියන එක සියලු දෙනාටම තියෙන්න ඕන පහසුකමක් විදිහට තමයි මේ ආණ්ඩුවේ අපි සලකන්නේ,ඒ නිසා විදුලිය නොමැති සියලු දෙනාගේම අයදුම්පත් අරගෙන අපිට ඒවා භාර දෙන්න, ඒ වගේම අපි සිංහල-හින්දු අලුත් අවුරුද්දට කලින්, මීටර 50 ට අඩු විදුලිය දීර්ඝ කිරීම් ටික කරලා, ඒ අයට අපි විදුලිය ලබා දෙන්න කටයුතු කරනවා.ඒ වගේම මේ වැඩසටහන යටතේ අපි සමෘද්ධිලාභීන් හා සමෘද්ධි පොරොත්තු ලේඛනයේ ඉන්න සියලු දෙනා වෙනුවෙන්, නොමිලේ විදුලිය ලබා දෙනවා,විදුලි බල මණ්ඩලයෙන් සම්බන්ධ කිරීමේ ගාස්තු ලෙස රුපියල්  20 000 ක් පමණ අය කරනවා සාමාන්‍යයෙන්, හැබැයි ඒ 20 000 ක මුදල අය නොකර, ඒ මුදල ආණ්ඩුවෙන් දරලා, සමෘද්ධිලාභීන්ට හා සමෘද්ධි පොරොත්තු ලේඛනයේ සිටින පිරිසට නොමිලේ විදුලිය ලබා දෙනවා.සමෘද්ධි ව්‍යාපාරය හරහා  වයරින් කර ගන්න අවශ්‍ය උදව්ව ලබා දීමේ වැඩසටහනකුත් ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව මේ වර්ෂය තුළ විදුලිය 100% ක් ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා.

ඒ වගේම අපි කීප විටක්ම තොරතුරු ගත්තා, විදුලිය ධාරිතාව සම්බන්ධයෙන් ගැටලු තිබෙනවා නම්, පාරවල් වල තියෙන කණු ඉවත් කර ගන්න තියෙනවා නම්,වතු හරහා යන වයර් අයින් කර ගන්න තියෙනවා නම්, විදුලි බල මණ්ඩලය සම්බන්ධ ගැටලු සියල්ලම අපිට ලබා දෙන්න,එම ප්‍රශ්න-ගැටලු ටිකත් මේ වර්ෂය ඇතුළත අපි විසදලා දෙනවා.

එහිදී ප්‍රදේශයේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් අදහස් දැක්වූ තිරප්පනය පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ආර්.එම්.අයි බණ්ඩාර මහතා කියා සිටියේ,

රථ වාහන පාලන රාජකාරීයේදී, බීමත්ව රිය පැදවීම වැනි නඩු තතුළින් පමණක් මේ වර්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ කෝටි 22 කට අධික මුදලක් දඩලෙස අය කර ගෙන තියෙනවා යනුවෙනි.

ඊට පිළිතුරු දුන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා,

පොලීසිය සම්බන්ධයෙන් ගත්තම ආරක්ෂාව සම්බන්ධයෙන් පමණක් නෙමෙයි,මහජන හිතකාමී පොලීසියක් විය යුතුයි.දඩ ගහනවා කියන එක ගත්තම පොලීසිය ඉන්නේ දඩ ගහන්න නෙමෙයි,පොලීසිය ඉන්න ඕන සමාජය යහපත් කරන වැඩේ කරන්න.ඒ නිසා අපි වෙනදටත් වඩා මහජනතාවත් සමඟ සම්බන්ධ වෙලා කරන වැඩ කළ යුතුයි.ඒකෙන් මම කියන්නේ නෑ හොරු අල්ලන්න එපා, කුඩු අල්ලන්න එපා,කසිප්පු අල්ලන්න එපා කියන එක නෙමෙයි,ඒ ටිකට දඩ ගහනවාට අමතරව,ඔවුන් යහපත් මාර්ගයට ගන්න වැඩේ තමයි අපි කරන්න ඕනකම තියෙන්නේ යැයි පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වමින් නිළධාරීන්ට උපදෙස් දුන් රාජ්‍යය අමාත්‍යයතුමන්,

ඒ වගේම හදිස්සියේ අමාත්‍යංශ වලින් සංවර්ධන යෝජනා ඉල්ලීම් කරනවා,ඒ සෑම යෝජනාවක්ම ඉල්ලනකොට ග්‍රාමීය කමිටුවත් එක්ක සාකච්ජා කරලා අවසන් තීන්දුව ගන්න.ඒක පුරුද්දක් කර ගන්න.මොකක් හරි යෝජනාවක් ගන්න ගමට ආවොත් ඒක කමිටුවත් සමගින් සාකච්ජා කරන්න.මොකද හැමදේම ක්‍රමවේදයකටනේ අපි යන්න යන්නේ,ජාතික කමිටු හදලා, අනු කමිටු හදලා,දිස්ත්‍රික් කමිටු හදලා, ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු හදලා, ප්‍රාදේශීයව අනු කමිටු හදලා අපි බලාපොරොත්තු වෙන්නේ කාගෙන් යෝජනාවක් ගත්තත් ඒක සාකච්ජා කරලා ගන්න හරිම යෝජනාව විදිහට අපි දකින්නේ.හැබැයි අපිට තේරෙනවා අපි ක්‍රමවේදය හදාගෙන ආවාට,දැන් ක්‍රීඩා බඩු බෙදන එකක් ගත්තොත් අර තාම පුරුදු වෙලා ඉන්නේ ක්‍රීඩා නිළධාරීතුමා තමන් ගාව තියෙන ලැයිස්තුවට තමයි, නැත්නම් ගමෙන් තමන්ගෙන් ඉල්ලීමක් කරපු එක තමයි එයා එවන්නේ.එහෙම නොකර ඒ සම්බන්ධයෙන් ග්‍රාමීය කමිටුවත් සමඟ සාකච්ජා කරන්න, එහෙම සාකච්ජා කරලා ප්‍රමුඛතාවය අනුව තමයි ලැයිස්තුව එවන්න ඕනකම තියෙන්නේ.

ඒ වගේම මම දැක්කා වසමකින් නිවසක් හදන වැඩසටහනේදී,වසම් කීපයකම යෝජනා ඇවිල්ලා නෑ,ඇයි කියලා ඇහුවම මන්ත්‍රීතුමත් උඩ බලනවා, නිළධාරීන් කියනවා අපිට දීලා නෑ කියලා,රජයේ නිළධාරීන් ලෙස ඔබතුමන්ලාට යම් යම් නිර්ණායක මත තමයි මේක තෝරන්න දීලා තියෙන්නේ,ඒ නිර්නායක අනුව තමයි දේශපාලන අධිකාරියයි,ඔබතුමන්ලයි හැමෝම ප්‍රථිලාභීයා තෝරන්න ඕනකම තියෙන්නේ. කොට්ඨාශයෙන් මේ යෝජනාව ගන්නවා නම් අපිට නිළධාරීන් ඕන නෑනේ, අපිට කැමති කෙනෙක් තෝරන්න පුළුවන්.ඒ නිසා රජයේ නිළධාරිනුයි, දේශපාලන අධිකාරියයි සහ මේ නීතී රීතී හා චක්‍ර ලේඛණ වලට අදාල විදිහට තමයි මේ ටික තෝරන්න ඕනකම තියෙන්නේ.කාටවත් ඇගිල්ල දික් කරන්න එපා මේක මන්ත්‍රීතුමා දුන්නා,මේක නිළධාරියා දුන්නා කියලා, මේක නෙමෙයි අපිට අවශ්‍යය කරන්නේ, හරිම කෙනා තෝරා ගැනීමයි අවශ්‍යය වෙන්නේ,ඒ නිසා මම කියන්නේ එන සෑම යෝජනාවක්ම ග්‍රාමීය කමිටුව සමඟ සාකච්ජා කරන්න, ඊට අමතරව අපි හිතමු වැව් ටික හදන්න ඕන කියලා, අපි ආයේ පාරක් ගමෙන් ගිහින් වැව් ලැයිස්තු ගන්න බෑ,අපි දැන් ගම සමඟ පිළිසඳරක් හරහා සියලුම යෝජනා ටික ප්‍රමුඛතාවක් ලෙස හදලා තියෙනවා.ඒ නිසා මේ ටික වෙනම කාණ්ඩ ගත කරන්න.එවිට සංවර්ධන කටයුතු ඒ ප්‍රමුඛතා ලැයිස්තු අනුව කළ හැකි වෙනවා. පහුගිය කාළයේ අපි එක එක විදිහට වැඩ කරපු නිසා ක්‍රමය පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා ඇති,නමුත් ආයේ පාරක් අපි හරි පාරට ආවම වැඩ ටික කරන්න පුලුවන් යැයි පැවසීය.

මෙම අවස්ථාවට, මිහින්තලය ආසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක සරත් ඉලංගසිංහ,තිරප්පනය ප්‍රාදේශීය සභා සභාපති රොෂාන් ඉලංගසිංහ යන මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයින්,තිරප්පනය ප්‍රාදේශීය ලේකම්තුමිය සජිදාභාණු මහත්මිය ඇතුළු රාජ්‍යය නිළධාරීන් සහභාගී වූහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress