අප්‍රේල් විරු සැමරුම
Posted on April 4th, 2021

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.

මුදාහල මුත් ජිවිතේ
උපන්නේ ජනතා හදේ
ඔබෙන් නැගි හඩ රණ බිමේ
විජය ගීතය වේ අපේ.

“අධිරාජ්‍යවාදයට විනාශය- ජනතාවට විමුක්තිය”

ඔබ හැම එදා එක්වුණේ, අධිරාජ්‍යවාදයට විනාශය-ජනතාවට විමුක්තිය; යන සටන් පාඨය යටතේයි. ජාතික හා ජාත්‍යන්තර ‍දේශපාලන තලයේදීදී, මෙයට වඩා අගනා සටන් පාඨයක් ඇත්තේම නැත. සතුරා, වර්ෂ 1505 සිට විවිධ වෙස්ගෙන, ශත වර්ෂ 5 ක් පුරා මෙරට ජනතාව පෙලන ලදී. ඒ අධිරාජ්‍යවාදීන්ව මේ මාතෘභූමියෙන් පන්නා දැමීම යනු, මෙරට ජනතාව  මත ඇති ගැටළු වලින් හරි අඩක් නිවැරදිව විසදා ගැනීමට මග පාදා ගැනීමයි.

‍මෙම කාර්යය කියුබාව තුල සිදුවෙද්දී, කියුබාව සමග එක පෙලට සිටගත් ඔබ; එම කාර්යය, වියට්නාමය, ලාවෝසය, හා කාම්බෝජය තුල සිදුවෙද්දී එම විප්ලවීය සහෝදරයන් හා අත්වැල් බැද ගැනීමේ මාවත කුමක්දැයි සොයා සමාජ සමීක්ෂණයක නිරත වූවෝය. ඒ කාලය තුලදී ඔබට මහා විප්ලව වාදීන් ගනනාවක්ම හමුවිය. ඉන් එක් අයෙක් වූයේ, මෑත කාලයේ මිහිපිට බිහිවූ අසහාය විප්ලවවාදියකු වූ චේ ගුවේරා සහෝදරයාය. ඔහු විසින්  ලෝකවාසී විප්ලව වාදී තරුණ පරපුරට කල ආයාචනය ඉතා සිත්ගන්නා සුළු විය. ඔහු මිය ගොස් සිටියද, ඔබ ඉතා ආදරයෙන් ඔහුව වැලද ගත්හ.

ලෝකය පුරා සිටි මුලුමහත් විප්ලව වාදී පරපුරට අත්විදින්නටවූ සියලූම දෑ ඔබ විසින් අත්වින්ද බව අපි දනිමු. ඇස්, ඉස්, මස් ලේ දන් දුන් ඔබ, සිර ගෙවල් තුල ගාල් කර දැමූවිට, එදා ඔබට හඩගා කථාකලේ, ඔබව සමාජයෙන් වෙන්කිරීම සදහා ගොඩනංවා තිබූ මහා පවුරයි.
එම පවුරු මත ඉහලින්ම වූයේ
“අධිරාජ්‍යවාදයට විනාශය- ජනතාවට විමුක්තිය” යන්නයි.
 එය ලොවටම දිව්‍ය මන්තරයක් මෙන් වූවකි.

ඔබට සදාකාලික සතුරන්ද, සදාකාලික මිතුරන්ද සිටියහ. අධිරාජ්‍යවාදය, උන් හා බැදුන සියලු සකලවිද ඥාති පරපුර, ඔබගේ සදාකාලික සතුරන්ය. අධිරාජ්‍යවාදයෙන් බැටකන හා එයට බැටදෙන අය ඔබගේ සදාකාලික මිතුරන්ය යන සතුරු මිතුරු මායිම මනාව වටහා ගෙන සිටියහ.

1971දී මියගිය ඔබ අද අප සමරන්නෙමු. ඒ ඔබ දිවි දී වසර, 50ක් ගතවීම නිමිත්තෙමි. නමුත් එදා මරා දැමූ ඔබ සදාකාලිකව මරනින්දකට වැටී අනේ මම මැරුණායයි සිතමින් නොසිටින වග අප මනාව හදුනන්නෙමු. ඔබේ ආත්මීය කාර්යභාරය අඛණ්ඩව මේ මාතෘ භූමිය වෙනුවෙන් සුපැහැදිලිවම ඉටු කරන බව දන්නා අප, ඔබ සැබෑ ලෙසම අධිරාජ්‍යවාදී හමුදා බල ඇණියක්වූ කොටි සංවිධානයට එරෙහිව ගෙනගිය අරගලයේදීද මහා කාර්යයක් කල බව දන්නෙමු. උපත, මේ දේශයට මහත්වූ භක්තියකින් ආදරය කිරීම හා මේ දේශය වෙනුවෙන් සටන්කිරීම සිය ආත්මීය කාර්යභාරය කරගත් ඔබට අද අපගේ ප්‍රණාමය පුදකරන්නේ, මීට වසර 50කට පෙරදී අධිරාජ්‍යවාදීන්ගේ මහා කුමන්ත්‍රණයක් හේතුවෙන් ඝාතනයට ලක්වූ, මේ රටට ආදරය කල තරුණ විරු පරපුරක් පමණක් ලෙස සලකා නම් නොවේ. මේ බිමේ විමුක්තිය උදෙසා ඉතිහාසය පුරාම සටන් වැදෙමින් මියැදෙමින් යලි ඉපදෙමින් සිය ආත්මීය කාර්යභාරය මේ මාතෘ භූමියේ විමුක්තියම කොටගත් තුන් කාලයේදීම, මේ මාතෘ භූමිය පුරාම සිය ආත්මීය කාර්ය ඉටුකරමින් ගමන් ගන්නා විරු පරපුරක් ලෙසය.
අප ඔබව, සදාතනිකව ගෞරවයෙන් සමරන්නෙමු.


Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress