පිළියන්දල සිදුවීම මගින් සනාථවන “#කොවිඩ් මර්ධන වැඩසටහනේ” නායකත්වය පිළිබද ගැටළුව.
Posted on May 5th, 2021

මාධ්‍ය නිවේදනයයි. සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය.

මේ වන විට ශ්‍රී ලංකික ජනතාව මුහණ පා සිටින බරපතල සෞඛ්‍ය අවධානම පිළිබදව කිසිදු තැකීමක් නැති දේශපාලඥයන් සහ නිළධාරීන් නිසා සාමාන්‍ය මහජනතාවට ජීවිතයෙන් සමුගැනීමට සිදුවිය හැකි සිදුවීමක් පිලියන්දල ප්‍රදේශයේ වාර්තා වී ති‌බේ. කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඉහල යාම නිසා එම ප්‍රදේශය භාරව කටයුතු කරන කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය සමන්තිකා විජේසුන්දර විසින් ප්‍රදේශයේ පවතින දැඩි අනාරක්ෂිත බව සලකා පිලියන්දල පොලිස්බල ප්‍රදේශය හුදකලා කරන ලෙස කරන ලද ලිඛිත ඉල්ලීමට අනුව හුදකලා කලද පසුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා ඇතුළු කිසිදු සෞඛ්‍ය බළධාරියෙකුගේ විමසීමකින් තොරව අවම වශයෙන් දැනුවත්භාවයකින් හෝ තොරව පැය කිහිපයක් ඇතුලත එම හුදකලාභාවය ඉවත් කර තිබේ.

පෞද්ගලික රූපවාහිනි නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් අදහස් පල කල යුධහමුදාපති ශවේන්ද්‍ර සිල්වා පිලියන්දල හුදකලා කිරීමට ගත් තීරණයත් සමඟ විවිධ පාර්ශව වලින් මට දුරකතන ඇමතුම් රාශියක් ආවා. මේ අය ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාටත් මේ ගැන දැනුම් දී ඇති බව මට පසුව දැනගන්න ලැබුනා. ඉතින් ඒ ඉල්ලිම් ප්‍රභල” නිසා පිලියන්දල හුදකලා කිරීමට ගත් තීරණය වෙනස් කරන්න සිද්ධ වුනා.” යනුවෙන් පවසයි. එම අදහස තවදුරටත් සනාථ කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසා ඇත්‌තේ තමන් ඒ හුදකලා බාවය ඉවත් කිරීම  පිළිබදව නොදැන සිටි බවයි. එම හුදකලා කිරීම පිලියන්දල ප්‍රද්ශයෙන් ඉවත් කරන ලෙස තමන් ඉල්ලීමක්” කල බව අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කර තිබේ.

මෙම කරුණු අනුව පෙනී යන්නේ දේශපාලඥයන් මෙන්ම සෞඛ්‍ය පිළිබදව අවබෝධයක් නැති නිළධාරීන් කටයුතු කරන්නේ මහජනතාවට සබෑ ලෙස බලපාන සෞඛ්‍යමය හේතූන් පිළීබදව විශ්ලේෂණය කර විද්‍යාත්මක පදනමක් මත නොවන බවයි. කොවිඩ් වසංගතයෙන් අපේ මාතෘ භූමිය බේරා ගැනීමට නම් මෙවන් අදූරදර්ශී දේශපාලඥයන් සහ අනවබෝධයකින් කටයුතු කරන නිළධාරීන් වෙනුවට සැබෑ උවමනාවෙන් කටයුතු කරන මේ පිළිබදව විශේෂඥ දැනුමක් සහිත පිරිසක් වෙත නායකත්වය භාරදිය යුතු බවත් ජනතාවගේ ජීවිත උගසට ගනිමින් කටයුතු කරන මෙවන් උද්ධච්ච දේශපාලඥයන් සහ නිළධාරීන්හට නිසි දඩුවම් ලබා දිය යුතු බවත් අවධාරණය කරන අප සංගමය ආදාල සිදුවීම පිළිබදව දැඩි අප්‍රසාදය පලකර  සිටිමු. එබැවින් කොවිඩ් තුරන් කිරීම” වෙනුවෙන් ආණ්ඩුව ස්ථිර ලෙසම තීන්දුවක් ගතයුතු බවත් තනි තනි පුද්ගලයන්ට හෝ පුද්ගල කණ්ඩායම් වලට තම හිතුමනාපයට කටයුතු කිරීමට අවස්ථාව නොදී විධිමත් විද්‍යාත්මක විනිවිද පෙනෙන සුළු වැඩපිළිවෙලක් සකස්කර ජන ජීවිතය යථා තත්වයට පත්කිරීමට වගකීමෙන් කටයුතු කරන ලෙසත් ඉල්ලමු.

ස්තූතියි.

මෙයට,
 
වෛද්‍ය ජයන්ත බණ්ඩාර
ප්‍රධාන ලේකම්,
සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress